Pages

Tuesday, March 18, 2014

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවීම

ශ්‍රී ලංකාවට ජාතික ඖෂධ ප්‍රතිපත්තියක්‌ හඳුන්වා දීම යනු අතිශය දුෂ්කර වූද ඊටත් වඩා අන්තරාදායක වූද කාර්යයක්‌ බව කවුරුත් දනිති. ජාතික ඖෂධ ප්‍රතිපත්තියක්‌ වෙනුවෙන් හඬ නැඟූ විශිෂ්ට වෛද්‍යවරයකු වූ මහාචාර්ය සේනක බිබිලේ මහත්මාණන් සදාකාලිකව නිහඬ කරන ලද්දේත් ඖෂධ මාෆියාවේ රුදුරු බලවේග විසින් බව නොදන්නා අයෙක්‌ සිටිත්ද?

දසක හතරකට නො අඩු ඉතිහාසයක්‌ සමග ඖෂධ මාෆියා කල්ලිය විසින්ම යටපත් කරන ලද ඒ උතුම් ඖෂධ ප්‍රතිපත්තිය සකසා ජනාධිපතිවරයාට භාර දීමට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකි වීම ජනතාවගේ භාග්‍යයක්‌ වන්නේ ද ඒ පසුබිම තුළය.

ජනාධිපතිවරයා අතට පත් කරන ලද ඒ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සිය කැබිනට්‌ මණ්‌ඩලයෙන් අනුමත කරවා පනතක්‌ ලෙස නීතිගත කිරීම නුදුරු අනාගතයේදී සිදු වනු ඇතැයි ද අපි විශ්වාස කරමු. එහෙත් එය කෙබඳු අභියෝගයක්‌ විය හැකිද යන්න පිළිබඳව අපට මෙන්ම රටට ද නිසි වැටහීමක්‌ තිබේ.

ධනවාදී පාරිභෝගික අර්ථ ක්‍රමයක ශාපය විසින් කුණපයක්‌ බවට පත් කරන ලද මේ සමාජය තුළ තවමත් ඔඩු දුවමින් ඇත්තේ දූෂණය, වංචාව, අල්ලස, අපරාධ හා නොයෙක්‌ අපයෝජනයන් බව ද අපි දනිමු. බල්ලො මරා හරි සල්ලි හම්බු කිරීම පරමාර්ථය කර ගත් සිත් පිත් නැති සමාජයක ඒ වෙනුවෙන් මිනිස්‌ ජීවිත කෙතරම් නොවටනා දේවල් බවට පත්ව තිබේද?

මේ දුෂ්ට නග්න චින්තනයත් සමඟ වැඩුණු ඖෂධ මාෆියාව විසින් අසරණ ගිලනුන් පමණක්‌ නොව මරණ මංචකයේ වැතිර සිටින අසරණයන් ද බිලිගන්නා ලද ආකාරය අමුතුවෙන් කිව යුතු නැත. එහි ආදීනව දැක්‌වෙන සවිස්‌තර ලිපියක්‌ අද අප පත්‍රයෙහි ම පළ වේ.

මේ රටේ ක්‍රියාත්මක වන ඖෂධ මාෆියාවේ විලාසය කෙබඳු ද යත් ඒ වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තිය සැකසීමට දුෂ්කර ක්‍රියා කළ සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නොයෙක්‌ තන්හි කරන ලද අනතුරුදායක අනාවරණයන් වලින්ම පැහැදිලි වී තිබේ. මේ ඖෂධ ප්‍රතිපත්තිය නීති කෙටුම්පත් අංශවලදී අතුරුදන් වීම තුළින් තහවුරු කරන්නේ ඖෂධ මාෆියාවේ රකුසු මුහුණුවර මිස අනෙකක්‌ නොවේ.

ඖෂධ මාෆියාව යනු ජාත්‍යන්තරව ක්‍රියාත්මක වන හිසක්‌ සොයා ගත නොහැකි විෂඝෝර සර්පයකු වැන්න. ඒ සර්ප දරණ තුළ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සෑම තරාතිරමකම පිරිස්‌ සිටිති. සුප්‍රකට මෙන්ම කුප්‍රකට ඖෂධ සමාගම්, ඒවා සමඟ පෑහී සිටින නියෝජිතයන් හා එක්‌ව සිත් පිත් නොමැති ලෙස ජනතාව ගසා කන ආකාරය සියලුම මාධ්‍ය මගින් හෙළි කරනු ලැබ තිබේ.

මේ ඖෂධ ජාවාරම නීච වෙළෙඳ අරමුණු උදෙසා ක්‍රියාත්මක කරන ගහලයෝ විවිධ අයුරින් සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය තුළ සිය අණසක පතුරුවමින් සිටිති. සත්තකින්ම මෙම ඖෂධ මාෆියාව හා බැඳුණු සමාගම් කිසිසේත්ම අවි ආයුධ වෙළෙඳ සමාගම්වලට නොදෙවැනි බවද කියති.

පසුගිය දිනක අප "දිවයින" පත්‍රයෙහිම අපූර්ව පුවතක්‌ පළ විය. ඒ සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ පවිටු නිලමැස්‌සෙක්‌ විසින් ඖෂධ සමාගමක්‌ බියගන්වා රුපියල් මිලියන ගණනක අල්ලසක්‌ ලබා ගැනීමේ සිද්ධියකි. කිසිදු හිරිකිතයකින් මෙන්ම ලැඡ්ජා බියකින් ද තොරව එබඳු අශීලාචාර මෙහෙයුමක්‌ කිරීමට තරම් බලයක්‌ ඒ නරුමයාට ලැබුණේ කෙසේද? ඉන් පෙනෙන්නේ ඖෂධ මාෆියාවේ තරම නොවේද?

මේ ඖෂධ මාෆියාවට සෘජුව හෝ වක්‍රව දායක වන්නා වූද දිරිදෙන්නා වූද වෛද්‍යවරු ද සිටිති. ඔවුන් බොහෝ දෙනකු තුළ ඇත්තේ මුදල් සඳහා ගිජු වූ සිත් පිත් නැති අමන විලාසයකි. පෞද්ගලික සුඛ විහරණය සඳහා විසිහතර පැයම මුදල් පසුපසම හඹා යන එබඳු වෛද්‍යවරු බොහෝ විට ඖෂධ සමාගම්වල සැඟවුණු නියෝජිතයෝ බවට ද පත්ව සිටිති. ඖෂධ නාමය වෙනුවට වෙළෙඳ නාමය භාවිත කිරීම මේ දුස්‌ පිළිවෙතට, ආශිර්වාදයක්‌ වී තිබේ.

අද මේ රට තුළ ජීවත්වීම සඳහා අරගල කරන පිළිවෙත් දෙකක්‌ අපි දකිමු. ඒ නිදහස්‌ සෞඛ්‍ය හා නිදහස්‌ අධ්‍යාපනයයි. ජනතාව උදෙසා සුරැකිය යුතු ඒ වරප්‍රසාද ජනතාවගෙන් උදුරා ගැනීමට ගෙන යන නීච හා සාහසික මෙහෙයුම් අද බලවත්ව නැඟෙයි. ඒ සියල්ලට ගෙල දීමට සිදුව ඇත්තේ ඉතා යහපත් සිතුම් පැතුම් ඇති ඇමැතිවරුන්ටය. බොහෝ විට මතුපිටට පෙනෙන්නේ එකී ඇමැතිවරුන් ය. එසේම ඇමැති ධුරය ස්‌වාර්ථය සඳහා රටට ද්‍රෝහීව උපයෝගී කර ගන්නා අය ද සිටිති.

මේ නිසා අද මේ රට තුළ යහපත් දෙයක්‌ ක්‍රියාත්මක කිරීම ඉතා අසීරු වී තිබේ. එය ජීවිතය උකසට තබා කරන සූදුවක්‌ බවට පත්ව තිබේ. මෛත්‍රීපාල සිරිසේන වැනි පොදු ජනතාව අතරින් මතු වූ චරිතයකට ඖෂධ මාෆියාවේ ජගත් බලවේග තනිව පරාජය කළ නොහැකි බවද කිව යුතු ය. ඒ සඳහා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා මෙන්ම ඔහුගේ ආණ්‌ඩුව ද තිරසරව එක හඬින් නැඟී සිටිය යුතු ය.

මේ රජය මුළු ලොවම විස්‌මයට පත් කරමින් ප්‍රභාකරන් ප්‍රමුඛ එල්. ටී. ටී. ය මේ රට තුළ පරාජය කර ඉතිහාසයට එක්‌ වී සිටියි. මේ ඖෂධ ප්‍රතිපත්තිය විජයග්‍රහණය කිරීම ද එපරිද්දෙන්ම ඉතිහාසයට එක්‌වන කරුණක්‌ බව ද අපි ලියා තබමු.

http://www.divaina.com/2014/03/16/editorial.html

Pic Source

සබැඳි ලිපි -
[

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය මාෆියාකරුවන් නිර්වින්දනය කරයිද?http://denethharinna.blogspot.com/2014/03/blog-post_5761.htmlකිසිදු රජයකට ක්‍රියාත්මක කිරීමට නොහැකිවූ මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය වෙනුවෙන් ඖෂධ පනත ක්‍රියාත්මක කරනවා - සෞඛ්‍ය ඇමැතිhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_8866.html
]

0 comments: