Pages

Sunday, March 23, 2014

ඔබේ ඡන්දයට අරුතක්‌ හා අගයක්‌

බස්‌නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණවලට හරියටම තිබෙන්නේ තව දින හයක්‌ වැනි කාලයකි. මේ වන විට මැතිවරණ සටනේ ප්‍රතිඵල ලෙස මිනිස්‌ ඝාතන එකක්‌ ද කලකෝලහල, ප්‍රචණ්‌ඩ ක්‍රියා, දේපළ අලාභහානි ගණනාවක්‌ ද සිදු වී තිබේ. මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන ප්‍රකාශ කරන පරිදි ඔවුන්ට ලැබී තිබෙන පැමිණිලි සංඛ්‍යාවම 750 කට වැඩි ය.

දේශපාලන ප්‍රචණ්‌ඩත්වය, මනුෂ්‍ය ඝාතනය, මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම දැන් මේ රටේ දේශපාලනයේ සාමාන්‍ය දෙයක්‌ බවට පත්ව තිබේ. මැතිවරණ කොමසාරිස්‌වරයාට මෙන්ම මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානවලට මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම, නිවේදන නිකුත් කිරීම හා පැමිණිලි එකතු කර ගැනීම හැර කළ හැකි අන් දෙයක්‌ ද නැත.

මැතිවරණයට ඉදිරිපත් වන අය පිළිබඳ කෙරෙන වර්ණනා ඔවුන්ගේ පෝස්‌ටර්, කටවුට්‌, ආදර්ශ පාඨ, වෛවාරණ ඡායාරූප ආදිය දෙස බලන විට පෙනී යන්නේ ජනතා සේවයට පරෝපකාරයට, පීඩිතයන්ගේ දුක්‌ තැවුල් නැති කිරීමට පහළ වී සිටින බෝසත්වරුන් පිරිසක්‌ ඡන්දයට ඉදිරිපත්ව සිටින බව ය. ඔවුන්ගේ අනුගාමිකයෝ දොරින් දොර යමින් මනාපය යදින වෙලාව අවේලාව නොබලා නන්නාඳුනන අයගේ මළ ගෙවල්වල යන්නෝ ද නොයෙක්‌ තෑගි පාර්සල් බෙදා දෙන්නෝ ද සුලභව සිටිති.

වෙනදා ආරක්‍ෂක වැටවල් බැඳ වාත වේගයෙන් ඉගිල ගිය ඇත්තෝ ද උඩුමහලෙන් පහත මහලයට නොබසින ධනපතියෝ ද, සඳලුතලේ සිටවත් වීදියේ සරණ පීඩිතයෙක්‌ දෙස නොබලන කුලවමියෝ ද, ඒ සියලු අභිමාන, උජාරුකම් අමතක කර ජනතාව අතරට පැමිණ මෙත් සිත් ද බැති සිත් ද වඩති. උන් සමග සාද තෙපුල් දොඩති.

නගරවල ද ගම් දනව්වල ද නිල්, කොළ, රතු, කහ යනාදී විවිධ වර්ණයෙන් කළ සැරසිලි ය. ශබ්ද විකාශන යන්ත්‍ර ඔස්‌සේ ගලා යන්නේ නොයෙක්‌ ආකාරයේ පොරොන්දු, පුරාඡේරු, අපහාස උපහාස, නර්මාලාප ගංගායි. වා ගැබ දූෂණය කරමින් නැගෙන වාචාල කතා ද පරුෂ වචන ද පාවෙයි. ගී ගයන්නෝ ද කවි කියන්නෝ ද තම තම නැණ පමණින් විකට ජවනිකා මවති. එහෙත් මේ අය අතරින් කී දෙනෙක්‌ අපේ ඉතිහාසය දනිත්ද? භාෂා සංස්‌කෘතික අවබෝධයකින් යුතුවෙත්ද? සුභාෂිතයෙන් හෝ ලෝවැඩ සඟරාවෙන් හෝ කවියක්‌ නොව කවි පද දෙකක්‌ කිව හැකි අය කී දෙනෙක්‌ සිටිත් ද?

මෙකී සමාජ දේශපාලන සංස්‌කෘතික අවබෝධය සහිත කීප දෙනෙක්‌ හෝ නොවෙතියි අපි නොකියමු. එහෙත් වැඩිපුර සිටින්නේ කවරහුද? සැබැවින්ම ඔවුහු ජනතා සේවයට පවත්නා අප්‍රමාණ ඇල්ම නිසාම මේ මැතිවරණයට ඉදිරිපත්ව සිටිත්ද, ධනය විසුරුවමින් පඬුරු පාක්‌කුඩම් පුදමින් ඔවුන් අපේක්‍ෂා කරන්නේ මොන දහම් ගැටයකින් හෝ මේ පළාත් සභාවකට රිංගා ගැනීම නොවේ ද? 

මේ අද වන විට මේ රටේ මුල් බැස ගත් සුප්‍රකට දේශපාලන සංස්‌කෘතිය නොවේද? මේ ඡන්ද ක්‍රමය පට්‌ටා ගසන කිසිවෙක්‌ මෙය වෙනස්‌ කිරීමට ක්‍රියා කරත්ද? හිටපු ජනාධිපතිනියක වූ චන්ද්‍රිකා කුමාරතුංග මෙම ව්‍යවස්‌ථාව හැඳින්වූයේ බහුබූත ව්‍යවස්‌ථාවක්‌ ලෙස ය. එහෙත් ඇය එය වෙනස්‌ කිරීමට ගත් පියවර කුමක්‌ද? මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව ද මේ ක්‍රමය වෙනස්‌ කිරීම වෙනුවට එයම නඩත්තු කර මනාප ක්‍රමය විවේචනය කරමින් නොසිටීද?

තතු මෙසේ හෙයින් මේ රටේ මැතිවරණ යනු බොහෝ විට දේශපාලන සැණකෙළියකින් පසු එළැඹෙන සංක්‍රාන්ති සමයක්‌ වැන්න. එයින් දිනන ඇතැම් අය නිල, බල මෙන්ම යස ඉසුරු ද වර්ධනය කර නොගනිත් ද? සුවසේ කල් නොගෙවත් ද? බොහෝ දෙනෙක්‌ සිය මැතිවරණ සමයේදී පැළඳගත් බෝසත් වෙස්‌ මුහුණු ගලවා සැබෑ ලෙස පෙනී නොසිටිත්ද? ජනතාව දෙස ඇස්‌ පුංචි කර නොබලත් ද? ඔවුන්ට සවන් දීම වධයක්‌ සේ නොසලකත් ද? මැතිවරණ සමයේ හැරුණු ඔවුන්ගේ විසල් මාළිගාවල දොර වැසී ගේට්‌ටුවලට රැකවලුන් නොයොදවත් ද? සියල්ල එසේම කරති.

මේ සාමාන්‍ය තතුවලට වෙනස්‌ව ජනතාව දෙස බලන ස්‌වල්ප දෙනෙක්‌ ද සිටිති. ඔවුහු සැබැවින්ම මේ රටට ආදරය කරන්නෝ ය. ගොවියන්ට, කම්කරුවන්ට, පොදු ජනයාට යහපත් දෙයක්‌ කිරීමට ඔවුහු වෙර දරති. ගසා කෑම, දූෂණය, වරිග පෝෂණය යනාදියෙන් ද ඔවුහු ඈත් වෙති. එහෙත් ජනතාව විඳින, ජන ජීවිතවලට ලැබෙන සහනය, සැනසිල්ල කොතරම් සීමිතද?

මැතිවරණවලින් කවුරුන් ජයග්‍රහණය කළත් බොහෝ විට කරනු ලබන්නේ මහජනතාවට පීඩා කරමින් වුව ද බලයේ එල්ලී සිටීම ය. එයින් බලයේ සිටින අය ගැන කලකිරෙන ජනයා විපක්‍ෂයේ ප්‍රබල පක්‍ෂය දෙසට හැරෙති. බලයේ සිටින අය බිම හෙළා හුරේ දමා විපක්‍ෂය උඩ දමති. සැබැවින්ම ජනතාව හැමදාමත් මේ දුෂ්ට චක්‍රයේ කැරකෙමින් තැවෙති.

මේ හැර කිසිවෙක්‌ තමන්ට විඳින්ට සිදු වන සන්තෑසිය ගැන හෝ මැතිවරණයක අර්ථය කුමක්‌ ද යන්න හෝ සලකා බලත් ද? නැත. මැතිවරණය පිළිබඳ කලකට පෙර ලෙනින් විසින් කරන ලද අගනා විග්‍රහයක්‌ ද ඇත. ඔහුට අනුව මැතිවරණය යනු මහජනතාවට තමන්ට පීඩා කළ ධනපති පන්තිය එලවා දමා ඒ පන්තියටම අයත් තවත් ධනපති පන්තියක්‌ නිදහසේ තෝරා ගැනීමට තිබෙන අයිතියක්‌ පමණි.

මේ සියලු තතු විමසා බලන ලෙසත් ඒ අනුව බුද්ධිමත්ව නිවැරැදි තීරණයක්‌ ගන්නා ලෙසත් ඡන්ද දායකයන් වන පොදුජනතාවගෙන් අපට ඉල්ලා සිටිය හැකි ය. සැබැවින්ම මේ රටට ආදරය කරන්නා වූ ද ජනතාවගේ සිතුම් පැතුම් හඳුනා ගැනීමේ සියුම් සංවේදී ගුණයෙන් යුතුව සිය දේශපාලන ගමන් මඟ සකසා ගන්නා වූ ද බුද්ධිමත්, අව්‍යාජ පිරිස්‌ ජනතා නියෝජිතයන් ලෙස තෝරා ගැනීම ඡන්දදායකයාගේ වගකීම වේ. තමන්ට ලැබෙන කප්පමට, බත්ගෙඩියට, වරදානයට රටක ජාතියක ඉරණම උකස්‌ කළ යුතු නැත. තම මනාපයෙන් බලයට පත් වූ අපේක්‍ෂකයා ගැන හෘදය සාක්‍ෂියට එකඟව සතුටු විය හැකි නම් ඔබ බුද්ධිමත් ඡන්ද දායකයකු මෙන්ම ඔබගේ ජාතික වගකීම ඉටුකළ අයෙක්‌ ද වෙති.

http://www.divaina.com/2014/03/23/editorial.html

Pic Source

0 comments: