Pages

Monday, March 3, 2014

බේරේ වැව් දියමත පාවෙන සිහින වෙළෙඳපොළ

පිටකොටුව බැස්‌ටියන් මාවත කළඑළි බැස්‌සේය. මාවත දිගේ හොර රහසේ ගලා ගිය කුණු බේරේ වැව සුපැහැදිලි විසල් පොකුණක්‌ බවට පත්ව තිබේ. වැව් ඉහත්තෑවටත් දුම්රිය මාර්ගයටත් මැදිව වල් වැදී තිබුණු දිගැටි බිම් තීරුවේ කඩ සාප්පු සංකීර්ණයක්‌ ඉදි වෙමින් තිබේ. එමෙන්ම එම කඩ සාප්පු සංකීර්ණය අරලිය ගස්‌ යායකින් සුවඳවත් කරන්නේය. 


බේරේ වැවට ඉහළින් පිටකොටුව පෞද්ගලික බස්‌ නැවතුම්පළට මුහුණලා අනවසරයෙන් ඉදිකර තිබූ ඉඳුල් ගලා ගිය පෙට්‌ටි කඩ පෙළ තිබූ බිම් කඩ අද පාට පාට ගල් ඇතූරු පදික මං තීරුවකි. ඒ මගෙහි තැනින් තැන හරිතවන් ගහ කොළ සරුවට දලුලමින් තිබේ. වැව් දිය මත ද ලී දඬුවලින් අලංකාරවත් විසල් ගොඩනැඟිල්ලක්‌ ඉදිවෙමින් තිබේ. වැව වටේ මිනිසුන්ට ඇවිද යැමට ලී දඬුවලින්ම තැනූ පාලමකි. එමෙන්ම වැව වටා ඉහළට එසවුණු උස්‌ විදුලි කණු අග පිපුණු විදුලි බුබුළු පිටකොටුවේ අඳුර මකන්නට පෙරුම් පුරමින් සිටියි. වෙනස්‌ වී තිබෙන බැස්‌ටියන් මාවත නෙත් සිත් වසඟයට පත් කරන මනස්‌කාන්ත පරිසරයක්‌ බවට පත් වී හමාරය. හරිම ලස්‌සනය. පියකරුය. මනහරය.

"මොකක්‌ද දන්නේ නැහැ මෙතැන හදන්න යන්නේ..."

"පහුගිය කාලේ කඩපු කඩවලට කඩ ටිකක්‌ හදලා දෙනවා ඇති..."

"කොහොම වුණත් වැඩේ නම් ලස්‌සනයි. ඉස්‌සර මේ හරියෙන් යනකොට කාපුවා කටින් එන්න එනවා. ඉඳුල් ගඳේ බැහැ. අමුතුම පිළීගඳක්‌නේ තිබුණේ. දැන් බලන්නකෝ... මේ බේරේ වැව ද කියලත් හිතෙනවා" 

දැන් බැස්‌ටියන් මාවතේ යන එන විට එවැනි දෙබස්‌ නිරන්තරයෙන්ම කනට වැටෙන්නේය. පෙරදා නාස්‌ පුඩු අත්ලෙන් තද කරගෙන මාවත දිගේ ඇවිඳ ගිය මිනිස්‌සු අද බේරෙන් හමන සුළං පහස ගත පුරා විඳගන්නාහ. හැඩ වෙන පරිසරය රිසි සේ දෑසින් විදින්නාහ. එහෙත් තවමත් මේ ඉඳිවෙමින් තිබෙන ගොඩනැඟිලි සංකීර්ණය ගැන මිනිසුන්ට පැහැදිලි චිත්‍රයක්‌ නැත. එහෙයින්ම ඒ අපැහැදිලිs චිත්‍රය වර්ණ ගැන්වීමේ අදහසින් පසුගිය දිනක අපි වෙනස්‌ වන බැස්‌ටියන් මාවතට ගියෙමු.

'වෙනස්‌ වන කොළඹ' නගර සැලැස්‌මට අනුව පිටකොටුව බැස්‌ටියන් මාවතේ බේරේ වැව කේන්ද්‍ර කරගෙන ඉදිවෙමින් තිබෙන්නේ පාවෙන වෙළෙඳපොළකි. (Fකද්එසබට ප්රනැඑ) මෙම පාවෙන වෙළෙඳපොළ ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කළේ පසුගිය වසරේ මාර්තුවේදීය. නාගරික සංවර්ධන සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදේශකත්වයෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කළ මෙම පාවෙන වෙළෙඳපළ ව්‍යාපාරයට ශ්‍රම දායකත්වය ලබාදී ඇත්තේ යුද හමුදාව සහ නාවික හමුදාව විසිනි. එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා, අධ්‍යක්‍ෂ ජනරාල් නිහාල් ප්‍රනාන්දු සහ බ්‍රිගේඩියර් සමන්ත ජයසුන්දර යන මහත්වරුන්ගේ උපදේශකත්වය මත මෙම ව්‍යාපෘතියේ සියලු සැලසුම් භාර නිලධාරිනිය වූයේ වරලත් වාස්‌තු විද්‍යාඥ තුෂාරී කාරියවසම් මහත්මියයි.

මෙම පාවෙන වෙළෙඳපොළ කාඩ කාමර අනූ දෙකකින් සමන්විතය. දැනටමත් එම කඩ කාමර අනූ දෙකේ වැඩ සම්පූර්ණයෙන්ම අවසන් වී හමාරය. එමෙන්ම වැව් දිය මත ඉදිවෙන සුපිරි භෝජනාගාරයේ වැඩ ද දැන් හමාරය. ටෙක්‌නිකල් හන්දිය දෙසට වැව කෙළවරේ මධ්‍යස්‌ථාන හතරකින් සමන්විත ආපනශාලා සංකීර්ණයේ වැඩ කටයුතුද දැන් නිමා වෙමින් තිබේ. ඊට යාබදව වාහන නැවතුම්පළ දෙකක්‌ද ස්‌ථාපනය වී තිබේ. වැඩේ නම් පංකාදුය. හරිම පිළිවෙළය. එහෙයින්ම මෙම පාවෙන වෙළෙඳපළ ව්‍යාපෘති භාර ගෘහ නිර්මාණ ශිල්පිනී වරලත් වාස්‌තු විද්‍යාඥ තුෂාරි කාරියවසම් මහත්මිය හමු වී මෙම අනගි නිර්මාණය ගැන අපි කතාබස්‌ කළෙමු.

"කොළඹ සංවර්ධන සැලැස්‌මට අනුව පිටකොටුව වාණිජ මූලස්‌ථානයක්‌ බවට පත් කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඒ සැලසුමට සමගාමීව තමයි මේ පාවෙන වෙළෙඳපොළ නිර්මාණ කෙරෙන්නේ. තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව, වියට්‌නාම වගේ රටවල දියුණු ලෙස මෙම පාවෙන වෙළෙඳපළ ව්‍යාපාර කරගෙන යනවා. ඒ ඒ රටවලට ආවේණික භාණ්‌ඩ තමයි එම වෙළෙඳපොළ තුළ විකිණෙන්නේ. ඒ වගේම මිනිස්‌සුන්ට ඒ වෙළෙඳපොළ තුළ සවාරි යන්න බෝට්‌ටු සේවාවන්ද ඇති කරලා තියෙනවා. ඒක තමයි මේ පාවෙන වෙළෙඳපොළ තුළ තියෙන විශේෂත්වය. සංචාරක කර්මාන්තයත් එක්‌ක ඉස්‌සරහට යන රටකට අනිවාර්යෙන්ම මෙවැනි ව්‍යාපාර අවශ්‍යයි. අපේ රටත් සංචාරක කර්මාන්තයත් එක්‌ක ඉස්‌සරහට යන රටක්‌. ඒ නිසා අනිවාර්යෙන්ම මේ වගේ ව්‍යාපාර තියෙන්නේ ඕනා... පාවෙන වෙළෙඳපළ හැඩ කරන ගෘහ නිර්මාණ ශිල්පිනී තුෂාරි කාරියවසම් මහත්මිය එසේ කීවාය.

කිසිදු පාවිච්චියට නොගෙන කෑලේට අතහැර දැමූ ඉඩම් කොළඹ නගරයේ විශාල ලෙස දක්‌නට තිබේ. එමෙන්ම පුංචි බිම් කැබැල්ලක විශාල පිරිසක්‌ අපිළිවෙළට එක ගොඩේ ජීවත් වෙන ස්‌ථාන ද බොහෝ වෙති. නගරයේ තැනින් තැන අනවසර පෙට්‌ටි කඩ ද එමටය. කොළඹ අවලස්‌සන වී තිබෙන්නේ මෙවැනි ගුබ්බෑයම් නිසාය. එමෙන්ම පිටකොටුව බොහෝ විදීවලට පදික මංතීරු නැත. වාහන ධාවනයටත්, මගීන්ට ගමන් කිරීමටත් ඇත්තේ එකම මාර්ගයකි. එහෙයින් මාර්ග අවහිර වී නිරන්තරයෙන්ම වාහන තදබදයන් ඇති වන්නේය. මාර්ග අනතුරු බහුල වන්නේය. අනතුරු අවම ලස්‌සන නගරයක්‌ කිරීමට නම් පවතින අවිධිමත් ක්‍රමය වෙනස්‌ කළ යුතුය. එමෙන්ම කොළඹ නගරයේ පැරැණි ගොඩනැඟිලිවලින් අපටම ආවේණික ක්‍රමවේදයන් විදහා පාන්නේය. ඒ ගොඩනැඟිලි ස්‌ථානගත වීම සහ පාලනය ද මනා කළමනාකාරිත්වයකින් සිදුව ඇති බව පෙනේ. ක්‍රමයෙන් කොළඹ ජනාකීර්ණවීමත් සමග එම පැරැණි ගොඩනැඟිලි වල් වැදී කොළඹ සම්පූර්ණයෙන් අපවිත්‍ර නගරයක්‌ විය. 'වෙනස්‌ කොළඹ' මෙහෙයුමේ ප්‍රධාන ඉලක්‌කය වී ඇත්තේ කොළඹ අති සුන්දර හරිත නගරයක්‌ කරන ගමන්ම යට ගිය අපේකම යළිත් වරක්‌ ඉස්‌මතු කර පෙන්වීමටය. මෙහෙයුම සංකීර්ණය. අලුතින් නගරයක්‌ නිර්මාණය කරනවාට වඩා තියෙන නගරයක්‌ නව සැලසුමකට යටත් කර සංවර්ධනය කිරීම තරමක්‌ අසීරු කාර්යකි. එමෙන්ම එම අසීරු කටයුත්ත මල් ඵල ගැන්වීමට නම් රටේ සෑම පුරවැසියකුගේම කැපවීම අත්‍යවශ්‍යයි. මුලදී මිනිසුන්ට එය අමිහිරි අත්දැකීමක්‌ විය හැකිය. එහෙත් අවසානය අතිශය මිහිරිය. අමිහිරි ගඟ තරණය කරමින් මිහිර සොයා යැමේ මෙහෙයුම නාගරික සංවර්ධන අධිකාරිය දැනටමත් ආරම්භ කර අවසානය.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රථමයෙන් කොළඹ පාවිච්චියට නොගෙන කැලේට අතහැර දැමූ ඉඩම් හඳුනාගත්තේය. අනවසර ඉදිකිරීම් සහ පැල්පත් නිවාස හඳුනාගනිමින් ක්‍රමවත් අයුරින් එම නිවාසවල පදිංචිකරුවන්ට වෙනත් ස්‌ථානවලින් නිවාස ලබාදෙමින් එම ඉඩම් සංවර්ධන මෙහෙයුමට දායක කර ගනිමින් සිටින්නේය. බැස්‌ටියන් මාවතේ බේරේ වැවත් දුම්රිය මාර්ගයත් අතර තිබූ භූමිය ද කැලේට අතරහැර දමා තිබුණු බිමකි.

"මුලින්ම අපි මේ භූමිය හඳුනාගෙන ඊට ගැළපෙන විදිහට සැලසුම් සකස්‌ කළා. බේරේ වැව් ඉවුරයි දුම්රිය මාර්ගයයි අතර මීටර් එකොළහක ඉඩක්‌ තමයි තිබුණේ. දෙපැත්තට ගල් බැමි දෙකක්‌ බැඳලා ඒ ඉඩ ටිකක්‌ වැඩි කර ගත්තා. වැවට අපද්‍රව්‍ය යන මාර්ග වසා දැමුවා. ඊට පස්‌සේ තමයි ඉදිකිරීම් සැලසුම් කළේ. අපේ සංස්‌කෘතිය, සොබාදහමට ගැළපෙන විදිහට තමයි මෙතැන හැම නිර්මාණයක්‌ම කළේ. වැව මැද රෙස්‌ට්‌ටුරන්ට්‌ එක යකඩ සහ ලීවලින් නිර්මාණය කරලා තියෙන්නේ. පාලම්, පදික මං තීරු සියල්ලම ලීවලින්.

වැඩිපුරම මේ වෙළෙඳපොළේ අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ දේශීය නිෂ්පාදන. කඩ කාමර අනූ දෙකක්‌ තියෙනවා. ඒ අතරින් කඩකාමර විස්‌සක්‌ විවෘත වෙළෙඳසල්. ඒ කඩ කාමර විස්‌සෙන් 10 ක වෙළෙඳාම් කරන්නේ පලතුරු, කිරි, පැණි, හකුරු වගේ දේශීය ආහාරපාන. වීදුරුවලින් ආවරණය කරපු ගෘහස්‌ථ කඩකමාරවල සපත්තු, බෑග්, රෙදි, සංගීත භාණ්‌ඩ අලෙවි කරන්න සැලසුම් කරලා තියෙනවා. තුෂාරි මහත්මිය ඉදිරි සැලසුම් ගැන ද එසේ විස්‌තර කළාය.

අදටත් පිටකොටුවේ හිතේ හැටියට පිරිසිදුව කෑම වේලක්‌ කන්නට තැනක්‌ නැත. පාවෙන වෙළෙඳපොළේ දියමත භෝජනාගාරය විවෘත වූවාට පසු ඒ අඩුපාඩුව ද සම්පූර්ණ වන්නේය. සැමට සාධාරණ මිලකට අපේ ආරේට පිරිසිදු කෑම වේලක රස බැලීමට අවස්‌ථාව උදා වන්නේය. එමෙන්ම මෙම වෙළෙඳපොළ භූමිය තුළ දේශීයත්වය පිළිබිඹු වන මූර්ති ඇතුළත් සංස්‌කෘතික උද්‍යානයක්‌ද නිර්මාණය කෙරෙන්නේය. වෙළෙඳපොළ තුළ ඇති සෑම වෙඳෙසලකටම ගොඩබිමින් වගේම දිය මතින් ගමන් කිරීමට හැකි පරිදි පදික මංතීරු සේම නාවික හමුදාවෙන් ක්‍රියාත්මක බෝට්‌ටු සවාරියක්‌ ද ස්‌ථාපනය කර තිබේ. වෙළෙඳපොළට සමගාමීව 'කොළඹ ගෙදර' පහත මහලේ පහසුකම් සේවා මධ්‍යස්‌ථාන දෙකක්‌ ද ස්‌ථාපනය වෙමින් පවතී. එමෙන්ම කොටුව දුම්රිය මාර්ගයේ සිට පහසුවෙන් වෙළෙඳපොළට ගමන් කිරීමට පිවිසුම් මාර්ගයක්‌ද ඉදිකර තිබේ. වැව් දිය මත වතුර මල්වලින් මවන විසිතුරු රටා විඳින්නට මෙන්ම මිනිසුන්ට නිදහසේ ගිමන් නිවීමට වෙළෙඳපොළ තුළ තැනින් තැන නිදහස්‌ බංකු තනා තිබේ. වැව් දිය පිරිසිදුව තබාගැනීම සඳහා එරියටස්‌ යන්ත්‍ර සවි කරමින් ජලය තව තවත් පිරිසිදු කරගෙන යන්නේය. දැන් බේරෙ ගඳ නැත සුවඳය.

සියල්ල සූදානම්ය. මෙරට ප්‍රථම පාවෙන වෙළෙඳපොළ ජනතා අයිතියට පැවරීමට ඇත්තේ තව නොබෝ දිනකි. අපේ කමැති වෙළෙඳපොළක සිට අපේ ආරේට පිළියෙල වූ කෑම වේලක රස බැලීමේ බලාපොරොත්තුවෙන් අපි නරතවීමු.

තරංග රත්නවීර, සුජාතා ජයරත්න, ඡායාරූප - කමල් බෝගොඩ
http://www.divaina.com/2014/03/02/feature05.html

0 comments: