Pages

Thursday, October 3, 2013

චීන - ශ්‍රී ලංකා නිදහස්‌ වෙළෙඳ ගිවිසුම රටට හිතකරද?

ශ්‍රී ලංකාව හා චීනය අතර නිදහස්‌ වෙළෙඳ ගිවිසුමක්‌ (Free Trade Agreement/ FTA) ඇතිකර ගැනීමට දෙරටේ රාජ්‍ය නායකයන් මේ වනවිට එකඟත්වයට පැමිණ තිබේ. දැන් ඒ සඳහා දෙරට අතර සාකච්ඡා ද ආරම්භ වී ඇති අතර, එම සාකච්ඡාවලින් පසු එම ගිවිසුම ලබන වසරේ (2014) දී අත්සන් කළ හැකි වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. ලෝකයේ ආර්ථික බලවතෙක්‌ වන චීනය සමඟ ඇති කරගනු ලබන මෙම නිදහස්‌ වෙළෙඳ ගිවිසුම, අපේ ආර්ථිකයට කවර බලපෑමක්‌ ඇති කරනු ඇතිද? එවැනි ගිවිසුමක ඇති වාසි අවාසි මොනවාද? මේ ගැන දැන් අපගේ ආර්ථික හා වෙළෙඳ අංශවල ද අවධානයට ලක්‌ව තිබේ. 

චීනය හා ශ්‍රී ලංකාව අතර බොහෝ අතීතයේ සිටම වෙළෙඳ සම්න්ධතා ඇති වී තිබේ. වර්ෂ 1952 දී අත්සන් කළ රබර් - සහල් ගිවිසුම මේ සඳහා ප්‍රකට උදාහරණයකි. එමගින් දෙරටටම වාසි සැලසුණි. ඇත්ත වශයෙන්ම යම් රටවල් දෙකක්‌ අතර නිදහස්‌ වෙළෙඳ ගිවිසුමක්‌ අත්සන් කරන්නේ වෙළෙ¹මට ඇති බාධා ඉවත් කරගෙන, දෙරටටම වාසි සලසා ගැනීමටය. එහෙත් මෙම වාසිය හරියටම එක සමාන ලෙස දෙරටට ම ලැබෙනු ඇතැයි කිව හැකි නොවේ. කවරක්‌ නමුත් මීට පෙර අත්සන් කළ නිදහස්‌ වෙළෙඳ ගිවිසුම්වලට වඩා සුබදායී ප්‍රතිඵල, චීන - ශ්‍රී ලංකා නිදහස්‌ වෙළෙඳ ගිවිසුමෙන් ඇති කර ගත හැකි වනු ඇතැයි යන අපේක්‍ෂාවක්‌ ද අපට තිබේ. මේ පසුබිම තුළ අපි ලබන වසරේ (2014) දී අත්සන් කිරීමට නියමිත චීන - ශ්‍රී ලංකා නිදහස්‌ වෙළෙඳ ගිවිසුමේ බලපෑම් පිළිබඳ අපි මේ ලිපියෙන් සාකච්ඡා කරමු.

යෝජිත චීන - ශ්‍රී ලංකා නිදහස්‌ වෙළෙඳ ගිවිසුම ගැන සාකච්ඡා කිරීමට පෙර චීන ආර්ථිකය පිළිබඳ අපි සැකවින් සාකච්ඡා කරමු. මුළු නිෂ්පාදිතයේ වටිනාකම අනුව, ඇමරිකා එක්‌සත් ජනපදයට පසු ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය චීනයයි. එසේම චීනය ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ප්‍රධානම ආර්ථිකය ද වේ. පසුගිය වසර 30 තුළ චීනය සියයට 10 ඉක්‌මවූ සාමාන්‍ය ආර්ථික වර්ධනයක්‌ වාර්තා කර තිබේ. එසේම චීනය ලෝකයේ විශාලතම භාණ්‌ඩ අපනයකරුවා මෙන්ම ආනයනකරුවා ද වේ. චීනය ලෝකයේ විශාලතම නිෂ්පාදන ආර්ථිකය ද වේ.

මේ අනුව ලෝක ආර්ථිකය තුළ ප්‍රබල භූමිකාවක්‌ නිරූපණය කරන චීනය, ලෝක ආර්ථිකය තුළ තවත් බලවත් වෙමින් ද සිටී. ඒ නිසා චීන ආර්ථිකයට ලෝක ආර්ථිකය තුළ ඇති වැදගත්කම හා සිදු කළ හැකි බලපෑම ද වර්ධනය වෙමින් තිබේ. වර්ෂ 2049 වනවිට පූර්ණ සංවර්ධිත රාජ්‍යයක්‌ බවට පත්වීම චීනයේ අපේක්‍ෂාවයි. මෙවැනි ප්‍රබල ආර්ථික සාධක මෙන්ම "විශ්වාසවන්ත හොඳ මිතුරෙක්‌" යන දේශපාලන සාධකය ද චීනය සමග අපේ ආර්ථික හා වෙළෙඳ සබඳතා තර කර ගැනීමේදී අපට ප්‍රබල ලෙස බලපානු ඇත.

මීට පෙර අපි ඉන්දියාව සමගත් පාකිස්‌තානය සමගත් නිදහස්‌ වෙළෙඳ ගිවිසුම් අත්සන් කර තිබේ. ඒවායේ ක්‍රියාකාරීත්වය අනුව ඒවායින් අපට වඩා එම රටවලට වැඩි වාසි අත් වූ බවට චෝදනාවක්‌ තිබේ. විශේෂයෙන් ඉන්දියාව විසින් නිදහස්‌ වෙළෙඳ ගිවිසුමෙන් අපට තීරුබදු සහන ලබා දුන්නත්. ඉන්දියාව තුළ පවතින තීරු බදු නොවන බාධක බොහොමයක්‌ නිසා එම වාසි ප්‍රායෝගිකව අපට සලසා ගැනීමේ දුෂ්කරතාවක්‌ ද පවතී. එම වෙළෙඳ ගිවිසුම්වලට දෙරට අතර පවත්වන සාකච්ඡාවලදී පවා ඔවුන් තම රටට වැඩි වාසි සලසා ගැනීමට යත්න දරන බව ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ සාකච්ඡාවලට සහභාගි වන රාජ්‍ය නිලධාරියෙක්‌ මේ ලියුම්කරුට කීවේය.

මෙවන් පසුබිමක්‌ තුළ අපට චිනය සමග නිදහස්‌ වෙළෙඳ ගිවිසුමක්‌ ඇති කර ගැනීමෙන් වඩා වාසිදායක ප්‍රතිඵල ඇති කර ගත හැකිවනු ඇතැයි යන සුබදායි හැඟීමක්‌ අපේ ආර්ථික හා වෙළෙඳ අංශවල බොහෝ දෙනෙක්‌ තුළ ඇතිව තිබේ. චීනය මේ වනවිට අපට ඉතා මිත්‍රශීලී රාජ්‍යයකි. විශ්වාසවන්ත මිතුරෙකි. ඒ නිසා නිදහස්‌ වෙළෙඳ ගිවිසුමකදී ද තම රටට පමණක්‌ වැඩි වාසි සලසා ගැනීමේ මසුරු සිතකින්ම චීනය කටයුතු කරනු ඇතැයි සිතිය නොහැකිය. දැනටමත් අපේ ආර්ථික සංවර්ධන ගමනට, යටිතල පහසුකම් සංවර්ධනයට සහ දියත් වෙමින් පවතින තවත් මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති බොහොමයකට චීනය විශාල දායකත්වයක්‌ ලබා දෙමින් ද සිටී.

අපේ රට පසුගිය කාලවලදී මුහුණ දුන් මානව හිමිකම් ප්‍රශ්නවලදී බටහිර රටවල් අපට බොහෝ සතුරුකම් කළේය. "ලොකු අයියා" කිව්වත් අසල්වාසී ඉන්දියාවද අහක බැලුවේය. එහිදී අපට ප්‍රබල ශක්‌තියක්‌ වූයේ චීනය සහ රුසියාවයි. චීනය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික හා වෙළෙඳ සම්බන්ධතා තවත් ශක්‌තිමත් කර ගැනීම සඳහා යොමුවීමට, මේ මිත්‍රශිලීත්වය ද ප්‍රබල හේතුවක්‌ වනු ඇතැයි කිව හැකිය.

අනෙක්‌ අතට අපේa අපනයන වර්ධනය කර ගැනීමට චීනය හොඳ වෙළෙඳපොළක්‌ වීමට ඉඩ තිබේ. පසුගිය කාලය තුළ අපගේ අපනයන ආදායම පහත වැටුණි. 2012 වසරේදී අපගේ අපනයන ආදායම සියයට 7.4 කින් අඩු විය. මේ වසරේ (2013) පළමු මාස හතේ අපනයන ආදායමද ගිය වසරේ (2012) පළමු මාස හතට සාපේක්‍ෂව සියයට 2.7 කින් පහත වැටී තිබේ. එසේම අපගේ අපනයන වෙළෙඳපොළ සාම්ප්‍රදායික බටහිර රටවල් කිහිපයක්‌ මත පමණක්‌ සංකේන්ද්‍රණය වී තිබීම අහිතකරය. එම රටවල් මුහුණ දී සිටින ආර්ථික පසුබෑම හමුවේ අපගේ භාණ්‌ඩ සඳහා පවතින අපනයන ඉල්ලුම අඩුවීමද අපගේ අපනයන ආදායම් වර්ධනය කර ගැනීමේදී අප මුහුණදී සිටින ගැටලුවකි. මේ නිසා අපගේ අපනයන වෙළෙඳපොළ (රටවල්) සහ අපගේ අපනයන භාණ්‌ඩ විවිධාංගීකරණය කර ගැනීමේ අවශ්‍යතාවක්‌ද පවතී. ඒ තුළ චීනයට අපගේ අපනයන වර්ධනය කර ගැනීම, මේ අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණ කිරීමේ අවශ්‍යතාව ඉටුකර ගැනීමේදී ඉතා වැදගත් වෙයි. චීනය වූ කලී සුවිශාල වෙළෙඳපොළකි. වර්ෂ 2014 දී අත්සන් කිරීමට නියමිත චීන - ශ්‍රී ලංකා නිදහස්‌ වෙළෙඳ ගිවිසුම හරහා චීන වෙළෙඳපොළට අපගේ අපනයන භාණ්‌ඩ තීරු බදු සහන සහිතව යොමු කිරීමට ඉඩකඩ හිමිවීම, මෙහිලා අපට ලැබෙන මහඟු අවස්‌ථාවකි. හේතුව අපගේ අපනයන භාණ්‌ඩ සඳහා නව වෙළෙඳපොළ සොයා ගත යුතු මොහොතකට ද අප එළඹ සිටින බැවිනි. 

මේ සමඟම චීන භාණ්‌ඩ ද අප රටට පැමිණේ. 'Made in China' කියා සටහන් වී ඇති චීන භාණ්‌ඩ දැනටමත් ලෝකයේ සෑම වෙළෙඳපොළක්‌ම පාහේ ග්‍රහණය කර තිබෙන බව රහසක්‌ නොවේ. අපේ වෙළෙඳපොළ තුළ ද දැනටමත් චීන භාණ්‌ඩ තිබේ. චීනයේ බාල භාණ්‌ඩ වෙනුවට ගුණාත්මක බවින් ඉහළ චීන භාණ්‌ඩ මෙරටට ගෙන්වා ගැනීමට මෙහිදී අප විශේෂයෙන් සැළකිලිමත් විය යුතු වෙයි. එසේම මෙහිදී අපගේ දේශීය කර්මාන්ත ආරක්‍ෂණයට ද පියවර ගත යුතුය. ඕනෑම නිදහස්‌ වෙළෙඳ ගිවිසුමක තීරු බදු සහන නොදෙන භාණ්‌ඩ ලැයිස්‌තුවක්‌ (Negative List) තිබේ. අපේ රටේ නිපදවන භාණ්‌ඩ ඊට වඩා අඩු මිලකට මේ වෙළෙඳ ගිවිසුම හරහා මෙරටට පැමිණියහොත් එය එම දේශීය කර්මාන්තවලට අහිතකරය. වෙනත් රටවල් සමග ඇති කරගත් නිදහස්‌ වෙළෙඳ ගිවිසුම්වල අත්දැකීම් ද සලකා එවැනි ආරක්‍ෂණ පියවරයන් ද සමග මේ නිදහස්‌ වෙළෙඳ ගිවිසුමට ගමන් කිරීමෙන් දෙරටේම ආර්ථිකයන්ට ප්‍රතිලාභ අත් කර ගත හැකිය.

චීනය අපට බොහෝ උදව් කරන්නේ "විශ්වාසවන්ත මිත්‍රයෙක්‌" යන හැඟීමෙන් - චීනයේ ශ්‍රී ලංකා තානාපති

ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවකට සහභාගිවීමට පසුගියදා චීනයේ බීජිං නුවරට ගිය අවස්‌ථාවේදී අපට චීනයේ ශ්‍රී ලංකා තානාපති රංජිත් උයන්ගොඩ මහතා ද හමු විය. එහිදී චීන - ශ්‍රී ලංකා ආර්ථික හා වෙළෙඳ සබඳතා ගැන මෙන්ම යෝජිත චීන - ශ්‍රී ලංකා නිදහස්‌ වෙළෙඳ ගිවිසුම ගැනත් අපි ඔහුගෙන් ප්‍රශ්න කළෙමු. පහතින් සටහන් වන්නේ 'දිවයින' ඇසූ ප්‍රශ්නවලට උයන්ගොඩ මහතා ලබා දුන් පිළිතුරුයි.

ප්‍රශ්නය - චීන - ශ්‍රී ලංකා ආර්ථික හා වෙළෙඳ සබඳතාවල අලුත් තත්ත්වය සහ දෙරට අතර නිදහස්‌ වෙළෙඳ ගිවිසුමක්‌ ඇති කර ගැනීමට පවතින සූදානම කුමක්‌ද?

පිළිතුර - මේ වනවිට දෙරට අතර අතර සබඳතාව ඉතා ඉහළම මට්‌ටමකට පැමිණ තිබෙනවා. අපේ රට ගැන මෙහේ (චීනයේ) මිනිස්‌සු දැනුවත් කිරීම තානාපති කාර්යාලවල රාජකාරිය අපි ඒ සඳහා ඇප කැප වී සිටිනවා. අපේ රටේ ආර්ථික සංවර්ධනයට, අප සේවය කරන රටෙන් ගත යුතු සියලුම දේවල් ලබාගන්න උත්සාහ කළ යුතුයි. ඒ අතින් පසුගිය වසර කිහිපය තුළ අපි සාර්ථකවෙලා තිබෙනවා. චීන රජයත්, ශ්‍රී ලංකා රජයත් අතර තියෙන්නේ ඓතිහාසික බැඳීමක්‌. එය ඉතාම්ත සුහද මිත්‍රකමක්‌. එය වඩා ප්‍රයෝජනවත් මිත්‍රත්වයක්‌ බවට පත් කරල අපත් එක්‌ක තියෙන සම්බන්ධතාව ඉහළ මට්‌ටමට හෙතෙම ජනාධිපතිතුමා පසුගිය මැයි මාසෙ චීනයට රාජ්‍ය සංචාරයක්‌ සඳහා පැමිණියාට පසුව. එතුමා ඒ පැමිණි අවස්‌ථාවේ චීන ජනාධිපති සී ජිංපිං මැතිතුමත් සමග එකතුවෙලා අපේ රජයන් දෙක එකඟ වුණා. අපේ සම්බන්ධතාව දෙරටටම වඩාත් ප්‍රයොජනවත් වූ සම්බන්ධතාවක්‌ (Strategic Corperation Partnership) බවට පත් කර ගන්න. චීනයේ එවැනි සම්බන්ධතාවක්‌ තවත් රටක්‌ සමඟ පවත්වා ගන්නවා ඉතා අඩුයි. ඉතා සීමිත රටවල් සංඛ්‍යාවක්‌ සමඟ පමණයි, චීනයට එවැනි සම්බන්ධතාවක්‌ තියෙන්නේ. චීනය අපට ඒ අවස්‌ථාව ලබාදීල තියෙනව. එසේම දෙරටේ රාජ්‍ය නායකයන්ගේ මගපෙන්වීම යටතේ චීනයත් ශ්‍රී ලංකාවත් අතර වෙළඳාම නිදහස්‌ වෙළඳාමක්‌ බවට පත් කරන්නත් දැන් කටයුතු කරගෙන යනවා. ලබන වසර (2014) වනවිට ඒ ගිවිසුම අත්සන් කරන්න පුළුවන් වෙයි කියල අපි හිතනව. එවිට ලංකාවෙ භාණ්‌ඩ තීරුබදු සහන ඇතිව, චීන වෙළෙඳපොළට ඉදිරිපත් කරන්න පුළුවන්. චීනය ලෝකෙ විශාලතම වෙළෙඳපොළ. ඒ සඳහා අපේ භාණ්‌ඩ හඳුන්වා දීල අපට විශාල අපනයන ආදායමක්‌ ලබා ගන්න පුළුවන්. එය අපේ චීන ශ්‍රී ලංකා මිත්‍රත්වයේ ගත හැකි ඉහළම ප්‍රතිඵලයයි. ඒ හරහා මෙන්ම චීන සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම හරහා චීන ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ අපටත් උදාකර ගන්න පුළුවන් වෙයි කියල මම හිතනවා. චීනයේ වසරකට ප්‍රධාන සංචාරක හා වෙළෙඳ ප්‍රදර්ශන 20 ක්‌ විතර තියෙනවා. ඒ සියලුම ප්‍රදර්ශනවලට ශ්‍රී ලංකාවත් සහභාගි වෙනවා. මෙතෙක්‌ සහභාගි වූ සියලුම ප්‍රදර්ශනවලදී ශ්‍රී ලංකාව කැපී පෙනුණා. එහිදි ශ්‍රී ලංකාව සාර්ථක ගමනක්‌ යන හොඳ රටක්‌ කියන පණිවුඩය ලබා දෙන්න අපට හැකි වුණා. මෙහෙ ජනතාව පොහොසත් ජනතාවක්‌. ඒ අය ලංකාවට ගෙන්වා ගැනීම සහ ලංකාව සමග වෙළෙඳ ගනුදෙනුවලට යොමු කරවා ගැනීම මෙහිදී අපේ ප්‍රධානතම අරමුණක්‌.

ප්‍රශ්නය - චීනය අපට ඉතා මිත්‍රශීලීව කටයුතු කිරීමට හේතුව කුමක්‌ද?

පිළිතුර - චීනය ඉතාමත් අසීරු තත්ත්වයකට වැටිල ඉන්න කොට ලංකාව තමයි බටහිර ජාතීන්ගේ විරුද්ධත්වය මැද්දේ, චීන රබර් - සහල් ගිවිසුම අත්සන් කරල, චීනයත් එක්‌ක වෙළෙඳ ගනුදෙනු කරල චීනයත් එක්‌ක අපි ඉන්නවා කියන පණිවුඩය ලෝකයට දීපු රට. ඒ 1952 දී. ඒක චීනයට තාමත් මතකයි.

ඒ කාලයේ චිනය ලෝකයේ රටවල්වලින් කොන්වෙලා හිටියෙ. ඒ වගේ අවස්‌ථාවක අපි චීනයත් සමඟ සිටියා. ඒක චීන නායකයන්ට තාම අමතක නෑ. ඒක අද පවා මේ අය මතක්‌ කරනවා. ජනාධිපතිතුමා බලයට පත් වූ පසු මේ රටට හය සැරයක්‌ පැමිණියා. එතුමාගෙ ඇඳුම, සාටකය, රූපය දැන් මෙහේ ජනතාවට මතකයි. බණ්‌ඩාරනායක නාමය වගේම රාජපක්‍ෂ නාමයත් මෙහේ ජනතාව දැන් මුමුණනවා. දෙරටේ ජනාධිපතිතුමාල අතර ඉතා සමීප සම්බන්ධතාවක්‌ තියෙනවා. අපේ ජනාධිපතිතුමාට රාජ්‍ය ගෞරව සහිත සංචාර දෙකක්‌ චීනය ලබා දුන්නා. අපේ රට පුංචි වුණාට චීනය ලොකු රටක්‌ වුණාට ලෝකෙ දෙවැනි ආර්ථිකය වුණාට ශ්‍රී ලංකාව කෙරෙහි විශාල ගෞරවයක්‌ චීනයට තියෙනවා. 

චීන නායකයන් මට කියල තියෙනව 2005 ඉඳන් අද වෙනකං කාලය තමයි, චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වයේ හොඳම කාලය කියල. ඒ වගේම මේ අය දන්නව තව අවුරුදු 20 ක්‌ යනකොට ලංකාව ආර්ථික සංවර්ධනයෙන් බැබලෙනව කියල. මේ අය අපට වඩා ලංකාවෙ ආර්ථික සංවර්ධනය ගැන, අනාගතය ගැන සමීක්‍ෂණ කරල තියෙනවා. ඒ නිසා චීනය දන්නව, අපේ රටේ අනාගතය හොඳයි කියල. ඒ වගේම අපි චීනයට විශ්වාසවන්ත රටක්‌ කියලත් දන්නව. චීනය බලවත් රටක්‌ වුණත්, චීනයටත් ජාත්‍යන්තරයේ ප්‍රශ්න තියෙනව. එහිදි අප චීනයත් සමග සිටින රටක්‌. ඒක චීනය දන්නව. එම 'විශ්වාසවන්ත මිත්‍රයෙක්‌' කියන හැඟීමෙන් තමයි චීනය අපට උදව් කරන්නෙ. පසුගිය කාලය තුළ දෙරට අතර ආයෝජන, වෙළෙඳ ගනුදෙනු වැඩිවෙලා. නිදහස්‌ වෙළෙඳ ගිවිසුමක්‌ අත්සන් කරන්නෙත් මේ හේතු නිසයි. 

ශ්‍යාම් නුවන් ගනේවත්ත
http://www.divaina.com/2013/10/03/feature01.html

0 comments: