Pages

Thursday, October 3, 2013

මැතිවරණ ප්‍රකාශනයට එරෙහි පෙත්සම් පහට ටීඑන්ඒ විරෝධතා

දේශප්‍රේමී භික්‌ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමි සහ දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ සභාපති ගුණදාස අමරසේකර, නීතිඥ කපිල ගමගේ යන මහත්වරුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පිටව ගිය අවස්‌ථාව සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් හා ජනාධිපති නීතිඥ කේ. කනකේෂ්වරම් යන මහත්වරුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පිටව ගිය අයුරු.

උතුර පළාත් සභා මැතිවරණයට තරග කළ ද්‍රවිඩ ජාතික සන්ධානයේ (ටී. එන්. ඒ.) මැතිවරණ ප්‍රකාශනය ඒකීය රාජ්‍යයක්‌ වන ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යක්‌ පිහිටුවීමේ අරමුණින් සකස්‌ කරන ලද්දක්‌ හැටියට තීන්දු කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් පහට එම සන්ධානයේ මාවයි සේනාධිරාජා සහ ආර්. සම්බන්ධන් මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඊයේ මූලික විරෝධයක්‌ මතු කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණය ඒ ගැන විභාගයක්‌ පැවැත්වීම ලබන 23 දාට කල් තැබුවේය. 

පෙත්සම්වලට විරුද්ධවීමට හේතූන් හිතව සති 02 ක්‌ ඇතුළත උසාවියට ගොනු කරන ලෙසද ඒ සමග එහි පිටපතක්‌ පෙත්සම්කරුවන්ට හෝ ඔවුන්ගේ නීතිඥවරුන්ට ලැබෙන්නට සලස්‌වන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය ඒ දෙදෙනාගේ නීතිඥවරයාට දැනුම් දුන්නේය.

පෙත්සම්වල වගඋත්තරකරුවන් වන සම්බන්ධන්ට හා සේනාධිරාජාට ඊයේ උසාවිය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබූ නමුත් ඔවුන් දෙදෙනා උසාවියට පැමිණ සිටියේ නැත. ජනාධිපති නීතිඥ කනක්‌ ඊශ්වරන් මහතා ඒ දෙදෙනා වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශ කළ නමුත් ඒ සඳහා ඔවුන්ගේ අවසරය තමාට ලැබුණ බව සනාථ කිරීමට පෙරකලාසියක්‌ උසාවියට ගොනු කර තිබුණේ නැත.

අගවිනිසුරුවරයා මේ සම්බන්ධයෙන් විමසූ විට ජනාධිපති නීතිඥ කනක්‌ ඊශ්වරන් මහතා පැවසුවේ පෙත්සමේ වගඋත්තරකරුවන් හැටියට නොව ඔවුන්ගේ පෞද්ගලික නමින් පමණක්‌ පෙර කලාසි ගොනු කිරීමට සූදානම්ව උසාවියට පැමිණි බවයි. 

කවර පුද්ගලයකු වෙනුවෙන් හෝ නීතිඥයකු නඩුවට පෙනී සිටිනවා නම් ඒ සඳහා ඔවුන්ගේ කැමැත්ත ලබා ගත් බව දැනුම් දෙන ලියවිල්ල (පෙරකලාසියත්) අනිවාර්යයෙන්ම උසාවියට ගොනු කළ යුතු බව මේ අවස්‌ථාවේදී අගවිනිසුරුවරයා පෙන්නා දුන්නේය.

අගවිනිසුරු - මේ නඩුවල වගඋත්තරකරුවන් හැටියට උසාවියේ පෙනී සිටීමට ඒ දෙදෙනා අකමැති නම් මේ නඩු විභාගයට සහභාගි වන්නේ නැතිව ඉන්න. වර්ජනය කරන්න. ඒනිසා ගන්න තීරණය අපට දැන්ම කියන්න.

ජනාධිපති නීතිඥ ඊශ්වරන් - ස්‌වාමීනී. අපි කර අරින්නේ නැහැ. පෙත්සම් විභාගයට සහභාගී වෙනවා. 

අගවිනිසුරු - එහෙමනම් මුලින්ම උසාවියට පෙරකලාසියක්‌ ගොනු කරන්න. පසුව ලබන 23 දාට උසාවියට ඇවිත් මූලික විරෝධය ගැන කරුණු තහවුරු කරන්න.

අගවිනිසුරු මොහාන් පීරිස්‌, චන්ද්‍රා ඒකනායක සහ රෝහිනී මාරසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක්‌ හමුවේ ඊයේ පෙත්සම් කැඳවනු ලැබිණ.

ජනාධිපති නීතිඥ කනක්‌ ඊශ්වරන් මහතා - පෙත්සම්වලට මූලික විරෝධයක්‌ මතු කරමින් දැඩිව කියා සිටියේ උසාවියට ගොනු කර ඇති පෙත්සම් එකක්‌වත් නිසියාකාරව සකස්‌ කර නැති බැවින් ඒවා දිගටම පවත්වාගෙන යැමට පෙත්සම්කරුවන්ට නෛතික අයිතියක්‌ නැති බවයි.

ද්‍රවිඩ ජාතික සන්ධානයට, එහි සභාපති හා ලේකම් පදවි දරන සම්බන්ධන්ට සහ මාවයි සේනාධිරාජාට එරෙහිව පෙත්සම් ගොනු කළත් එම පක්‍ෂය ලියාපදිංචි දේශපාලන පක්‍ෂයක්‌ නොවන බවත් උතුර පළාත් සභා මැතිවරණයට අපේක්‍ෂකයන් ඉදිරිපත් කළේ ලියාපදිංචි දේශපාලන පක්‍ෂයක්‌ වන තමිල්අරසුකච්චි පක්‍ෂයෙන් බවත් සම්බන්ධන් හා මාවයි සේනාධිරාජා එම පක්‍ෂයේ මන්ත්‍රීවරු නොවන බවත් ඒ නිසා ඔවුන් වගඋත්තරකරුවන් ලෙස මේ පෙත්සම්වලින් නම් කිරීම වැරැදි බවත් ජනාධිපති නීතිඥ කනක්‌ ඊශ්වරන් මහතා පැවසීය. 

එපමණක්‌ නොව පෙත්සමට විරුද්ධ වීමට ඇති හේතූන් තවත් කීපයක්‌ පෙන්නාදීමට තමා සූදානම්ව පැමිණි නමුත් ඊළඟ නඩු දිනයේදී ඒවා විස්‌තර වශයෙන් ඉදිරිපත් කරන බවද ඔහු කීවේය.

බෙංගමුවේ නාලක හිමියෝද දේශහිතෛෂී ජනතා ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර, ස්‌වර්ණහංස පදනමේ සභාපති ගාල්ලගේ පුන්‍යවර්ධන, යාපනය බෞද්ධ සංගමයේ සභාපති රවි කුමාර්, බෞද්ධ මහා සම්මේලනයේ නීතිඥ සරත් චන්ද්‍රසිරි යන මහත්වරු ද මෙහි පෙත්සම්කරුවෝ වෙති.

අධිනීතිඥ කපිල ගමගේ, කනිෂ්ක පතිරණ, පාලිත ගමගේ යන මහත්වරු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් බිම්බා තිලකරත්න මහත්මිය නීතිපති වෙනුවෙන් පෙනී සිටියාය. 

සරත් ධර්මසේන
http://www.divaina.com/2013/10/03/news02.html

0 comments: