
අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ශාස්‌ත්‍රවේදී උපාධිය ලබාගත් මුන්වහන්සේ රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයට ද ඇතුළත්ව පුහුණු උපාධිධාරී භික්‍ෂුවක ලෙස තම දැන උගත්කම් වර්ධනය කර ගැනීමෙහි නියෑළුණා පමණක් නොව ආචාර්ය මාපලගම විපුලසාර නාහිමියන් වැනි කීර්තිමත් යතිවරයන් වහන්සේලා ඇසුරු කිරීමේ අවස්‌ථාවද ලදහ. අනතුරුව අලුත්වැව සෝරත හිමියෝ පාසල් ආචාර්යවරයන් වහන්සේ නමක් ලෙස අධ්‍යාපන සේවාවට අවතීර්ණ වූහ. ගුරු සේවයෙන් විශ්‍රාම ගන්නා තෙක්‌ම කීර්තිමත් විදුහල්පති හිමි නමක ලෙස කතරගම ජාතික පාසලෙහි සේවය කරමින් උදාර අධ්‍යාපන සේවාවක නිරත වූ ආකාරය ඉතා ප්‍රකටය.
මෙසේ ගුරු හිමිනමක් ලෙසත්, විදුහල්පති හිමි නමක් ලෙසත් කතරගම කිරිවෙහෙර වැනි කාර්ය බහුල මහා විහාරයක වගකීම් දරමින් කටයුතු කළත් උන්වහන්සේ තවදුරටත් තම දැන උගත්කම් වැඩි දියුණු කර ගැනීමේ නිරත වූවා පමණක් නොව ග්‍රන්ථ කතෘවරයන් වහන්සේ නමක ලෙස විශාල ශාස්‌ත්‍රීය මෙහෙවරකද නිරත වූහ. මේ අනුව ''ශ්‍රී ලංකාවේ බෝධි සංස්‌කෘතිය' මැයෙන් රචිත වූ පර්යේෂණ කෘතිය සඳහා උන්වහන්සේට ආචාර්ය උපාධියද පිරිනමන ලද අතර කතරගම පුද සිරිත් වැනි ග්‍රන්ථ නිර්මාණය කිරීමෙන් ද දිනපතා පුවත්පත් සඟරා ආදිය සඳහා කාලීන මාතෘකා අනුව ලිපි සැකසීම් ආදිය සිදු කළ ආකාරය ප්‍ර්‍රශංසනීය වේ. මෙපමණක් නොව ධර්ම දේශකයන් වහන්සේ නමක ලෙස විවිධ මාධ්‍ය ඔස්‌සේ තම දේශනා පවත්වමින් භික්‍ෂූන්වහන්සේ නමක් ලෙස තම වගකීම මැනවින් ඉටු කිරීමෙහි යෙදිණි.
මෙම කරුණුවලින් පැහැදිලි වන්නේ අලුත්වැව සෝරත නාහිමියන් දැන උගත් භික්‍ෂුවක් ලෙස තම ශාස්‌ත්‍රීය සේවාවන්හි නිරත වූයේ කාලය පිළිබඳව මැසිවිලි නගන බොහෝ උගතුන්ට ආදර්ශයක් ද සපයමින්ය. මෙම සේවාවන් අගය කිරීමක් ලෙස පසුකාලීනව ඌව විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට මුන්වහන්සේ පත් කිරීමද ඉතා වැදගත් කරුණක් ලෙස සඳහන් කළ යුතුව ඇත.
අලුත්වැව සෝරත නාහිමියන්ගේ මෙම ශාසනික හා අධ්‍යාපනික මෙන්ම සමාජ සුභ සාධක සේවාවන් අගය කරමින් මල්වතු මහා විහාර පාර්ශ්වය මගින් උන්වහන්සේ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පදවියට පත්කිරීම පමණක් නොව මල්වතු මහාවිහාරයීය උපාධ්‍යාය තනතුරකට පත්කරනු ලැබීමද අගය කළ යුත්තකි. එමෙන්ම රෝහණ සංඝ සභාව විසින් ප්‍රවචන කීර්ති ශ්‍රී ග්‍රන්ථ විශාරද යන ගෞරව නාමයෙන්ද උන්වහන්සේ ට ගෞරව දක්‌වා ඇත. මේ හැරෙන්නට මොනරාගල දිස්‌ත්‍රික් ශාසනාරක්‍ෂක මණ්‌ඩලයේ සභාපති තනතුරද දරණ ලද අලුත්වැව සෝරත නාහිමියන් ශාසනික වශයෙන් එම ප්‍රදේශයටත් පොදුවේ රටටත් අනූපමේය සේවයක් සිදුකර ඇති ආකාරය මේ අනුව පෙනී යයි. මේ හැරෙන්නට ජාත්‍යන්තර වශයෙන් ද විවිධ බෞද්ධ ආගමික සංවිධාන සමග බුදුදහමේ චිර පැවැත්ම සඳහා අප සමගද එක්‌ව විවිධ විදේශීය රට වලට යමින් එම සංවිධාන නියෝජනය කරමින් උසස් ආගමික මෙහෙවරක නිරතවූ ආකාරයද අපි සිහිපත් කරනු ලබන්නේ සිදු කරන ලද එම සේවාවන්ට ගෞරවයක් වශයෙනි. උන්වහන්සේ සමීපව ඇසුරු කිරීමේ අවස්‌ථාව අප විසින් ලබන ලද්දේ එසේ සිදු කරන ලද විවිධ සේවාවන් සමග බව සඳහන් කළ යුතු අතර එහිදී වගකිව යුතු භික්‍ෂු නමක් ලෙස පැවති නිහතමානී භාවයත් හිතවත් භාවයත් කැපවීමත් විශේෂයෙන් අගය කළ යුතු වේ. තමන් වහන්සේ ආදිපත්‍ය දරන ලද කිරිවෙහෙර රාජමහා විහාරයෙහි සම්භාවනීයත්වය ආරක්‍ෂා කර ගැනීම සඳහා විවිධ ඉදිකිරීම්, ප්‍රතිසංස්‌කරණය කිරීම් පමණක් නොව එහි ස්‌ථාවරත්වය සඳහාද තම භික්‍ෂුත්වය ආරක්‍ෂා කර ගනිමින් ගත කරන ලද ජීවිතයද අපි මහත්සේ අගය කළ යුතුව ඇත.
කිරිවෙහෙර රාජමහා විහාරය, පානදුර කෙසෙල්වත්ත බෝධි චෛත්‍යාරාම ආදී විහාර කිහිපයකම ආධිපත්‍ය දරන ලද උන්වහන්සේ එම විහාරස්‌ථානයන්හි දියුණුව සඳහාද ක්‍රියාකළ අතර මෙම විහාරස්‌ථාන මැනවින් පවත්වාගෙන යැම සඳහා දැන උගත් ශිෂ්‍යවරයන් වහන්සේලා කිහිප නමක් ද ඇති කිරීම ඉතා වැදගත් ශාසනික සේවාවක් බව සඳහන් කළ යුතුව තිබේ. අපවත්වී වදාළ කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ඌව විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ට උතුම් නිවන් සුව පතමි.
මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී
http://www.divaina.com/2013/10/02/feature.html
සබැඳි ලිපි -
[
හැමටම එකසේ සැලකූ කිරිවෙහෙරේ නායක හාමුදුරුවෝhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5942.html
සෝරත නාහිමියන් සසුනට කළ මෙහෙය විශිෂ්ටයි - අමරපුර සංඝ සභාවhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_6464.htmlසෝරත නාහිමියන්ට ගෞරව දැක්‌වීමට ජන ගඟක්http://denethharinna.blogspot.com/2013/09/blog-post_7367.html
]
0 comments:
Post a Comment