Pages

Saturday, October 5, 2013

ගල්කොරිකාරයෙක්‌ නුවරගලදී හමුවූ සුගලා දේවියගේ මමියත් පුච්චලා!

සිරිපුර හන්දියෙන් නුවරගල දෙසට ඇදෙන දුබල මගක ගැසෙමින් ඉදිරියට විහිදී යයි. කොපමණ විටක්‌ තාර යොදා පිරියම් කර ඇති දැයි නොදනිතත් මේ මග කැඩී විසිරුණ ගල් කැබලිතිවලින් හා තැන තැන විසිරී ගිය විසල් කඩතොලු සහිත අවාටයන්ගෙන් ගහණ නොමගක්‌ වන අයුරු දකිමු. ඒ බිඳීගිය මග දෙවනත් කරමින් නොකඩවා ඇදෙනා ගල් පිරවු දැවැන්ත ටිපර් රථ පෙළ දුහුවිලි වලා නංවමින් ඇත. මුදුන් වූ හිරු හාත්පස වගුරවමින් ඇති ගිනියම කලතමින් එන දුහුවිලි හා ගල්කුඩු තැවරුම නැහැපුඬු දවනු දැනේ. ඒ වෙහෙස මේ මොහොත වනතුරුත් විඳගත හැකි වුයේය.

එහෙත් දැන් දෙපා අවසඟව හිඳිමු. තවත් නම් වචනයකුදු නොදෙඩිය හැකි තරමට ගොළුවී හිඳිමු. විඩාපත්ව හිඳිමු. බෙහෙවින්ම විඩාපත්ව හිඳිමු. මේ ඇසෙන්නේ ජාතියක්‌ ලෙස අප විසින් නෑසිය යුතු, අසන්නට ප්‍රාර්ථනා නොකළයුතු සාහසික අපරාධයක කතාවය. මෙවන් අපරාධයක්‌ කළා නම් ඒ කළවුන්ගේ හත්මුතු පරම්පාරාවලටම රටක්‌ ලෙස හෙණ ඉල්ලිය යුතු තිරශ්චීන පාදඩකමක්‌ පිළිබඳ කතාවය. ඒ කතාව අපට කියන්නේ නුවරගල ගැමියන්ය. නුවරගලට මෙපිට පලුදෙනියේදීත් සිරිපුරදීත්, ඇසූ ඇසූවුන් අපට කියන්නේ ඇඟ කිළිපොලා යන එකම කතාවය. කටකතාව ගල්කොරි කාරයෙකුට හමුවුන මමියක්‌ ගැනය. සුගලා දේවියගේ යෑයි ගැමියන් විශ්වාස කරනා මමියක්‌ ගැනය. කුමක්‌ හෝ පුරාවස්‌තු ජාවාරමක්‌ ගැන ඔවුන් තුළ සැක ඉපදී තිබේ. ඊට සුගලා බිසවත් එතුමියගේ යෑයි කියනා මමියකුත් සම්බන්ධ වී ඇත. දැනට නිශ්චිත සාධක රහිත, එහෙත් කටකතාවක්‌ ලෙස පැතිරෙමින් ඇති මේ කතාවේ එන සාධනීය ගැඹුර විමසීමට පෙර ඊට පසුබිම් වු ඉතිහාසය විමසිය යුතු වන්නේ ඒ නිසාය.

නුවරගලට සුගලාගේ නෑ කම

දිඹුලාගල පසුකර පැමිණෙන විට හමුවන සිරිපුරට නුදුරු නුවරගලදී ඓතිහාසික පුරාවිද්‍යා සාධක සහිත රූස්‌සමලේ කන්ද හමුවේ. දැවැන්ත ගල්කුලක්‌ සේ පැතිරීයන මේ කන්ද පලුදෙනිය ගම තුළදී බලපත්‍ර සහිතව ගල් කඩනා ගල්කොරිකාරයන්ගේ වැඩබිමක්‌ නිර්මාණය වී ඇත. ජනප්‍රවාදයට අනුව රූස්‌සමලේ කන්ද ඓතිහාසික බලකොටුවකි. එය බලකොටුවක්‌ කරගන්නේ රාජ්‍යයේ උරුමය කියනා දළදාවත්, පාත්‍රා ධාතුවත් සහිතව මහා පැරකුම්බාවන්ගේ මහා පෞරුෂයට එරෙහිව රුහුණ කළඹවා නැගී සිටි අභීත ගැහැනිය වන සුගලාවන්ය. සුගලා දේවියගේ පුතණුවන් වන මානාභරණයන් පොලොන්නරුව ආක්‍රමණය කරනු සඳහා මහවැලි ගඟ තරණය කරනුයේ යක්‌කුරේට නුදුරු තොටුපලකින් බව මහාවංශය කියයි. අතීතයේ යක්‌කඛසුඛර ලෙස හැඳින් වු යක්‌කුරේ පිහිටන්නේ නුවරගලට නුදුරිනි. මහා පැරකුම්බාවන්ට එරෙහිව මුල්ම දැවැන්ත කැරළි ඇතිවන්නේ වත්මන් නැගෙනහිර පළාත තුළය. නුවරගල පලුදෙනිය අවට පැතිරීයන රූස්‌සමලේ කන්ද පිහිටන්නේ වත්මන් නැගෙනහිර පළාත් මායිමේ අම්පාර දිස්‌ත්‍රික්‌කයේ දෙහිඅත්තකණ්‌ඩියට අතපොවන මායිමේය.

නුවරගල රූස්‌සමලේ කන්දට සුගලාවන්ගේ ඇති නෑකම ගැන කියන්නට බලකරනා සාධක ගැමියෝ සිය පුරාවෘත්ත හා බද්ධ කරගෙන සිටිති. රූස්‌සමලේ කන්ද ආරම්භ වන නුවරගල මුවවිටෙහි දී කටාරමක්‌ හා ගෙවී ගිය බ්‍රාහ්මීය අක්‌ෂර සහිත ලෙන් ලිපියක්‌ සහිත දැවැන්ත ලෙනක්‌ හමුවේ. දැනට වවුල් බෙටි වලින් වැසී ඇති ලෙන අභ්‍යන්තරය උමගක ආකාරයෙන් ගල තුළට විහිදී යයි. පාදම්ගල් හා ගොඩනැඟිලි අවශේෂත්, ගල් පව්ව මත පිහිටි දාගැබක නටබුන් ගොඩැල්ලත් මෙම ලෙන අවට අනුරාධපුර යුගයේ සිට පැවති ආරාම සංකීර්ණයක නටබුන් පැතිර තිබු බව පෙන්වයි. ගැමියන්ට අනුව පොළොන්නරු යුගයේදී මේ ලෙනත්, උමගත් සුගලාවන් විසින් සිය රක්‌ෂිත ස්‌ථානයක්‌ සේ භාවිත කර තිබේ. මේ ස්‌ථානයේ නිර්මාණය කරන්නට යන පන්සල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තහනම් කිරීම නිසා මීට අවුරුදු 23 ට පෙර පන්සල තැනෙන්නේ ගල් තලාවට පහල භූමියකය. එය හඳුන්වන්නේ සූරියදේව රජමහා විහාරය නමිනි. මීට වසර කීපයකට පෙර පොලිස්‌ ලොක්‌කෙක්‌ පැමිණ නායක හාමුදුරුවන් එළියට ඇද දමා අංජනමකින් කී නිධානයක්‌ සෙවීම සඳහා අලුතින් තැනු ආවාසය හාරා රටටම නෝන්ඩි වන්නේ මේ පන්සලේදීය. 

නුවරගල වන අනෙක්‌ පන්සල සුගලාදේවී රජමහා විහාරය ලෙස නම් කර තිබේ. එම විහාරය අවට පැතිරී ඇති පුරාසාධක රැසකි. අපැහැදිළි අක්‌ෂර සහිත පුවරු ලිපියක්‌ මේ අතර වේ. එම ලිපිය පොළොන්නරු යුගය ආරම්භක කාලයට අයත් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ගලින් ගලට යමින් රුහුණ පුරාම තැන තැන සැඟව සිට සිය උරුමය වෙනුවෙන් සටන් කළ සුගලා නමැති අභීත ගැහැනිය සිය බිමෙහි ජීවමාන කරගැනීමට රුචි වෙති.

ගම්මු කියනා කතාව

රූස්‌සමලේ කඳුයායේ පලුදෙනිය ගම තුළ පුරාවිද්‍යා නටබුන් සහිත භූමියක්‌ වුයේය. එම භූමියේ පුරාණ දාගැබක නටබුන් තිබිණි. අගෝස්‌තු ඉඩෝරයටත් නොසිඳෙනා පොකුණක්‌ තිබිණි. පොකුණ අවට කේතුකාර අවාට තිබිණි. ගොඩනැඟිලිවල පාදම් සලකුණු තිබිණි. ගල් පඩිපෙළ තිබිණි. මෙහි පැතිරුණ නටබුන්වල සේයාරූ හා වීඩියෝ දර්ශන සමහර ගැමියන් ළඟ තවමත් ඉතිරිව තිබේ. 

මේ භූමිය පුරාවිද්‍යා භූමියක්‌ සේ හඳුනාගෙන එහි ගල් කැඩීම හෝ වෙනත් බාහිර විනාශකාරි ක්‍රියාකාරකම් නැවැත්වීමට 2002 වසර වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වී තිබිණි. මේ වනවිට මේ පුරාවස්‌තු ආසන්නයේ ගල්කොරියක්‌ පවත්වාගැනීමට එක්‌තරා ව්‍යාපාරිකයෙකුට ඉඩ ලැබී තිබුණත් පවතිනා නීතිමය තත්ත්වය මත ඔහුගේ ව්‍යාපෘතිය ව්‍යාප්ත කරගැනීමට නොහැකි වී තිබුණේය. එබැවින් ඔහු තම බලපත්‍රය වෙනත් අයෙකුට විකිණුවේය. මෙම භූමියේ පුරාවස්‌තු වනසා ගල්කොරිය ව්‍යාප්ත කර ගැනීමට අවශ්‍ය පරිසරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව ප්‍රදේශය භාරව කටයුතු කළ කාලකණ්‌ණි පුරාවිද්‍යා නිලධාරියෙක්‌ සපයා දුන් බව කියෑවෙන්නේ ඉන් අනතුරුවය. පලුදෙනිය ගමේ ඒ පුරාසාධක අතුරුදන් කර නිමවෙන ගල්වල දකින්නට ගියෙමු. මේ මොහොත වන විට පැතිරී ඇති දැවැන්ත අවාටයක්‌ විනා තුමුල ගල් කුලක්‌ තිබු බවටවත් කිසිම සාධණයක්‌ ශේෂ වී නැත. එහෙත් තැන තැන විසිරුණ පුරාණ ගඩොල් කැබලි සිදුවී ඇති තිරශ්චීන ඉතිහාස සංහාරයක කතාව කියයි. පලුදෙනිය අසලදී ඉතිහාසයත් සමග රූස්‌සමලේ කන්ද අතුරුදන් වී තිබේ.

ගල්කොරිකාරයා බලපත්‍ර සහිතව තම ගල්කොරිය පවත්වාගෙන ගොස්‌ ඇත්තේ පුරාවිද්‍යා භූමියකය. මේ ගල්කොරියේ බෝර දැමු විට කැබලිවන ගල් ඉවත්කරන්නට ප්‍රථමයෙන් එතැන ගල්කොරි හිමිකරුවාත් ඔහුගේ සහෝදරයෙකුත් පුද්ගලිකව පරීක්‌ෂා කරන බවත් ගල් ඉවත් කිරීම සිදු කරන්නේ එම පරීක්‌ෂාවෙන් පසු බවත් ගල්වලේ කම්කරුවෝ විටෙක අප සමග පැවසුහ. මමිය පිළිබඳ කතාව ඇතිවන්නේ මේ ගල් ඉවත් කිරීම සඳහා ලෝඩරයේ වැඩ කළ නාමල්ඔය පැත්තේ තරුණයෙක්‌ ගල් පෙට්‌ටියක්‌ දැකීමත් සමග බව පැවසෙන්නේය. මෙම ගල් පෙට්‌ටිය ඔහුගේත් ආධාර සහිතව ගල්වල පසුපස කැලෑවකට රැගෙන ගොස්‌ විවෘත කළ බවත්, එහි වන පුරාවස්‌තු රැගෙන මමිය විනාශ කළ බවත් ලෝඩරයේ වැඩ කළ තරුණයාට සිය කොටස නොලැබීම නිසා එකිනෙකා අතර හටගත් ආරවුල උසාවිය දක්‌වා ගියමුත් එය උසාවියෙන්ම සමථයකට පත්කරගත් බවත් තතු දත් ගැමියන් පවසන්නේය. 

ගැමියන් කියන පරිදි මේ වනවිට ලෝඩරය පැදවූ තරුණයා ටිපර් දෙකක බැකෝ එකක ඇතුළු යන්ත්‍ර සුත්‍ර ගණනක හිමිකරුවෙකි. ගල්වල හිමිකාරයාගේ බැකෝ යන්ත්‍ර අලුත්වැඩියා කරන ඔහුගේ හිතවත් කාර්මිකයා නමටත් ටිපර් රථ දෙකක්‌ ඇති බව කියති. වසර කිහිපයකට පෙර දුම්කොල වෙළඳාමක්‌ කර යන්තම් දිවි ගෙවු මෙම ගල්කොරිකරුවා මෑතකදී හිමි කරගත් කෝටි දොළහක්‌ ඉක්‌ම වු වත්කම් ගැන ගැමියෝ කසු කුසු ගාති. ගල් කඩා උපදවාගත හැකි මුදලක්‌ තිබේ. එහෙත් බැලු බැල්මට එක්‌වර ප්‍රාදුර්භූත වන අතාර්කික වත්කම් ප්‍රමාණය ගැමියන් තුළ සැක උපදවා තිබේ. මේ කියන කතාව අපට පෙන්වා දෙන්නේ අනීතික රටක එළිපිට සිදුවන ඉතිහාස සංහාරය පිළිබඳ සමාජය කම්පනය වී ඇති තරමය. 

අප දන්නා කතාව
ගින්නක්‌ නැතිව දුම් නගින්නේ නැත. මමියක්‌ හමුවීම, එය සකලාභරණයෙන් විභූෂිත වීම, ආභරණ ගලවා මමිය විනාශ කිරීම, එම මමිය සුගලාවන්ගේ වීම පිළිබඳ මිනිස්‌සුන්ගේ කතාව තුළ සැඟවෙන්නේ ජාතියේ උරුමය නින්දා සහගත ලෙස විනාශ වන ආකාරය ගැන සමාජයෙන් මතුව නැගී එන මහා ෙඛේදවාචයක අඳෝනාවය. සුගලාවන්ගේ අරගලය බුත්තල අරලුගස්‌මැඩ, කිනිවැල්ලගොඩ හා බද්දේගම අවසන් සටන්වලින් පසු නවතින ආකාරයත්, පලායන හමුදාව මාරගුල හා ගලබැද්ද දක්‌වා ලුහුබැඳ විනාශ කරන ආකරයත්, අනතුරුව මේ ගම්මාන වල සාහසික මිනිස්‌ සංහාරයක්‌ සිදුකර සුගලාව ජීවග්‍රහයෙන් ගෙන පොළොන්නරුවට රැගෙන යන ආකාරයත් මහාවංශය දක්‌වයි. එබැවින් සමාජයෙන් මෙවැනි කතා උපදිනවිට ඒ සඳහා දිය හැකි ශාස්‌ත්‍රීය උත්තර මේ රටේ අලඡ්ජ හොරුන්ට වුවමනාවටත් වඩා තිබේ. එහෙත් මේ කතා මතුව නැගී එන මූලයන් ගැන එකෙක්‌වත් විමසන්නේ නැත. මමියක්‌ නොව, ජීවමාන බුදුන් වහන්සේ ගල්කොරියක්‌ ඇසුරෙහි වැඩසිටියත් සිරස කුඩුකර ටයර් දමා පුලුස්‌සා දැමියහැකි මේ සංහාරකයන්ගේ මනෝභාවයත්, ඊට නෛතික ආවරණයක්‌ ලබාදිය හැකි පුරාවිද්‍යා චෞරයනුත් ගැන විමසන්නේ නැත.  ඔවුන්ට බලපත්‍ර ලබාදීම රැකියාවේ පරමාර්ථ කරගත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ අංශයේ අලඡ්ජ කාලකණ්‌ණින් අල්ලසට යටවී මේ රටේ ජාතික උරුමය වනසා දමන්නට ලයිෂන් දෙන ආකාරය ගැන එකෙක්‌වත් කතා කරන්නේ නැත. 

මේ ඇත්ත කොයි මොහොතක හෝ ලියා තැබිය යුතුය. පුරාවස්‌තු සහිත භූමිවලට අල්ලසට යටවී ගල්කොරි සඳහාත්, බොරළු කඳු සඳහාත් බලපත්‍ර ලබා දෙන නින්දිත පුරාවිද්‍යා නිලධාරීන් ගැන මෑතකදී ගොඩනැගුණ ඉතිහාසයක්‌ තිබේ. පුරාවිද්‍යාව විශේෂවේදී උපාධි ලෙස හදාරා, පුරාවිද්‍යාඥයන් ලෙස පෙනී සිටිමින් මේ අලඡ්ජින් කරනු ලබන ඉතිහාස සංහාරය මේ රටේ ඇස්‌ කන් ඇති වුන්ට ඕනෑතරම් දැක තිබේ. මේ සිදුවීම් අතලොස්‌ස ලියා තබන්නේ මේ සංහාරයේ නින්දිත නිරුවත පෙන්වාදීම සඳහාය.

ඔඩ්ඩුසුඩාන් වල කටාරම් සහිත ලෙනක්‌ දාගැබක්‌ හා අනුරාධපුර යුගයට අයත් නටබුන් සහිත මහා ගල් පරුවතයක්‌ වුයේය. මුලතිව් දිස්‌ත්‍රික්‌කයටම ඇති එකම කටාරම් ලෙන මෙය විය. මේ ලෙන සහිත පුරාවිද්‍යා භූමිය ගල්කොරියක්‌ කිරීමට පුරාවිද්‍යා ගවේෂණ නිලධාරීන් බලපත්‍ර නිකුත් කර තිබුණේය. අවසානයේදී 2010 වනවිට මේ ගල්වැඩපල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්ම තහනම් කළේය. එහෙත් බලපත්‍රය දුන් අලඡ්ජයාට දඬුවමක්‌ ලබා දුන්නේ නැත.

විටෙක මෙවැනිම අපරාධයක්‌ පිළිකුත්තුවේදි සිදුවුනේය. කටාරම් සහිත ලෙන් පිටින් ගල්කොරි කාරයා විසින් කඩා දමා තිබිණි. එම අපරාධය යළිත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් නතර විය. එහෙත් මේ පසුපස සිටිනා චෞරයින් දඬුවම් ලබන්නේ නැත. 

වරෙක පුරාවිද්‍යා ගවේෂණයකින් පුරාවස්‌තු සහිත භූමියක්‌ ලෙස හඳුනාගෙන තිබු බිමක්‌ වෙත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේම ගවේෂණ අංශයේ පුරාවිද්‍යාඥයින් විසින් ගල්කොරියක්‌ පවත්වාගන්නට බලපත්‍ර නිකුත් කළේය. ඊට එරෙහි වුයේ අසල පිහිටි හමුදා කඳවුරේ නිලධාරීන්ය. එම නිලධාරීහු මේ නීතිවිරෝධි පරස්‌පරය ගැන විමසා මෙම පුරාවස්‌තු සංහාරය සඳහා බලපත්‍ර දුන් ගවේෂණ අංශයේ චෞරයින් සඳහා දෙන දඬුවම කුමක්‌දැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියහ. අතේ පත්තු වු අපරාධයට දඬුවමක්‌ ලැබුණේ නැත.

තවත් අවස්‌ථාවක මුත්තූර්වල යෝධ පුරාවිද්‍යා බිමක්‌ චීන සමාගමකට ගල් කැඩීම සඳහා ලබා දී තිබිණි. එම සමාගම විසින් විනාශකර තිබුණේ සෙල් ලිපි සහිත දැවැන්ත ගල් පව්වකි. මේ ගැන වාර්තා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේම තිබේ. තවත් වරෙක බොරළු කැපීම සඳහා බලපත්‍රයක්‌ ලබාදීමට පගාව ඉල්ලු පුරාවිද්‍යා නිලධාරියෙකුගේ අලඡ්ජි කතාව පටිගත කර එම හඬ පටිය සමග එක්‌තරා නීතිඥවරයෙක්‌ පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල්ව හමුවුනේය. සිදුවු දෙයක්‌ නොවුණි. 

ආසන්නතම උදාහරණය මැදිරිගියේ දිග්ගලය. හෙණ ගහන අපරාධය වන්නේ පුරාණ පොකුණක්‌, දාගැබක්‌ සහිත ආරාමික නටබුන් පැතිරුණ මේ ගල්පව්වේ ගල්කොරියක්‌ පවත්වාගන්නට පුරාවිද්‍යා නිලධාරියා විසින් බලපත්‍ර නිකුත් කිරීමය. එම අපරාධය අවුරුදු දෙකක්‌ තිස්‌සේ පවත්වාගෙන ගොස්‌ නවත්වනු ලැබුවේ පසුගිය බදාදාය. එම අපරාධය මේ ලියුම්කරු සියෑසින් දුටුවේය. ගල් පව්වේ පොකුණ ආරක්‌ෂා වී ඇති බවත්, පොකුණ ළඟට පමණක්‌ ගල කැඩී ඇති බවත් දැන් මේ අලඡ්ජන් අපට කියන්නේය. මේ වග ලියා තබන්නේ මුන් මේ ආකාරයට සීගිරියේ නටබුන් රහිත කොටස කඩා ගැනීමට හෙට ගල්කොරි කාරයෙකුට බලපත්‍ර නිකුත් කළහොත් පුදුම නොවී ඉඳීම සඳහාය. 

යළිත් වරක්‌ අපට පැහැදිලිවන කාරණාවක්‌ තිබේ. මේ නින්දිත අපරාධ ඇස්‌ පනාපිට හෙළිවනවිට ඒ පුරාවස්‌තු සංහාරකයින්ට නඩු නැත්නම්, නඩු සහිත පුරාවස්‌තු සංහාරයින් බේරා ගනන්ට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්ම වාර්තා වෙනස්‌ කරනු ලබනා අපත් දැනුවත් ඉතිහාසයක්‌ ඇත්නම් මේ රටේ පුරාවිද්‍යා ආඥා පනත සුදුසු වැසිකිළි කඩදාසියක්‌ සඳහා පාවිච්චි කිරීමටය. උරුම සංහාරයට නෛතික බලයක්‌ ලබාදෙන මේ අපරාධකාරයින්ට නැති නඩු ගෙවත්තේ වළක්‌ හාරන අහිංසකයන් විෂයෙහි ක්‍රියාත්මක වීමේ කාලකණ්‌ණිකමින් කම්පා වන්නේ මේ රටේ නීතියේ සාධාරණත්වය ඉල්ලන මිනිස්‌සුය. ගල්කොරිකාරයින් හා එක්‌ව පුරාවිද්‍යාවේ අශික්‌ෂිත ම්ලේච්ඡයින් සුගලා දේවියගේ මමියත් පිලිස්‌සු බව අපට කියන්නේ ඒ මිනිස්‌සුය. මේ අපරාධකාරයින්ට හෙණ ඉල්ලන්නේ ජාතික උරුමය වැනසී යන අයුරු දකිමින් කම්පාවන මේ මිනිස්‌සුය. මේ නින්දිත සංහාරයෙන් උපයනා අපරාධකාරී මුදලින් දරුවන් පොෂණයකර, ඒ නොදරුවන්ට ලේ වමනය යැමට නොසලස්‌වන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පඩි ගන්නා මේ පුරාවස්‌තු සංහාරක චෞරයින්ගෙන් ඉල්ලා සිටින්නේ මේ මිනිස්‌සුය. 

යථාර්ථය මෙය නම් මේ නල්ලමලේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ රටට අවශ්‍ය නැත. පට්‌ට හොරු රැලක්‌ සමග පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකයන්ට හුදකලා ගමනක්‌ යන්නට නොහැකි බව පැහැදිළි වන විට යලිත් අපට කරන්නට ඇත්තේ මීට පෙර අප විසින්ම කළ යෝජනාවය.

කොළඹ 7, ශ්‍රිමත් මාකස්‌ ප්‍රනාන්දු මාවතේ පිහිටි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වසා දමා ආප්ප කඩයක්‌ දමා ගැනීම මීට වඩා ජාතික වශයෙන් වැදගත්ය. 

ජානක ලියනආරච්චි
http://www.divaina.com/2013/10/06/feature14.html

කතෲ සටහන -
මේ නම්, අහස පොළොව නුහුලන අපරාධයක්. අප සැමට පුදුම හිත්වේදනාවක් ඇතිඋනා. මහා උරුමයක්... බෙහෙත් ගල්වා සුරක්ෂිත කරන ලද මිනියක්... එසේ කල්පවත්නා පරිදි සංරක්ෂයට යෙදූ තාක්ෂණික ක්‍රම, ඖෂධ, ක්‍රමවේදය ආදිය ගැන වෙනම පර්යේෂණයක් කරන්න තිබුණා. ඉතිහාසයේ නව පරිච්ඡේදයක ඇරඹුම ඉතා අවාසනාවන්ත ලෙස වැනසී ගියා. අපිට තිබූ ඓතිහාසික, තාක්ෂණික, දැවැන්ත, වටිනා උරුමයක්, ගල්කොරිකාරයෙකුගේ මුග්ධ ක්‍රියාකලාපය නිසා සම්පූර්ණයෙන්ම වැනසී ගියා. උරුමය රකින්නට සිටිනා බලධරයන් මර නින්දේ. නැත්නම් පුරා විදු බිමක්, දෙයිද ගල් කඩන්නට???


සබැඳි ලිපි -
[
සුගලා දේවියගේ සොහොන කඩති, දේහය පුළුස්සති, අබරණ කොල්ලකතිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_4.html
]

1 comments:

Rakitha Ratnayaka said...

Mey Aparadhaya Karapu eunnta Sobadhahamenma Danduwam Labei.