Pages

Saturday, October 5, 2013

කෙක්‌කෙන් බැරිවූ දේ කොක්‌කෙන් නෙළාගත් උතුරේ ඡන්ද ප්‍රතිඵලය

උතුර, වයඹ හා මධ්‍යම පළාත් සභා තුනෙහි ඡන්දය නිමවී දැන් සති තුනකුත් ගතවී අවසන්ය. උතුර හැරුණුවිට අනෙකුත් පළාත් දෙකෙන්ම එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය අතිවිශිෂ්ට ජයග්‍රහණයක්‌ ලැබූ බවද සැබෑය. එසේ තිබියදී ලංකාවේ දේශපාලන නිරීක්‍ෂකයන්ගේත් දුරදිග බලන පරිනත දේශපාලනඥයන්ගේත් වැඩි අවධානය යොමුව ඇත්තේ ඒ කිසිවක්‌ කෙරෙහි නොව, බෙදුම්වාදී මතවාදයක්‌ සහිත ප්‍රතිපත්ති ප්‍රකාශනයක්‌ හා බෙදුම්වාදී වැඩපිළිවෙළක්‌ සහිතව ඡන්දයට ඉදිරිපත් වූ දෙමළ ජාතික සන්ධානය ඉන් ලබාගත් අතිවිශිෂ්ට ජයග්‍රහණය ගැනය.

දෙමළ ජාතික සන්ධානය උතුරු පළාත් සභා මැතිවරණයෙන් ඡන්ද 353,593 ක්‌ ලබමින් 78.48% ක ප්‍රතිශතයක්‌ සහිතව පළාත් සභා මන්ත්‍රී ධුර 38 න් 30 ක්‌ම දිනා ගැනීමට සමත් වී තිබීම විශේෂත්වයකි. සන්ධානය ලබාගත්තේ මන්ත්‍රී ධුර 7 කි. මුස්‌ලිම් කොංග්‍රසය 1 කි. ජයග්‍රහණය විශිෂ්ට බව ඉන් පැහැදිලිsය.

ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද ක්‍රමය හා ජනතාවගේ පරමාධිපත්‍යය ගැන මහ ඉහළින් වර්ණනා කරන කෙනකුට උතුරේ ඡන්ද ප්‍රතිඵලය ආශ්වාදනීය කාරණාවක්‌ බව සැබෑය. එහෙත් ශ්‍රී ලංකාවේ බහු වාර්ගික සහජීවනය, ඒකීයභාවය හා ස්‌වෛරීත්ත්වය ගැන කල්පනා කරන අයකුට එසේ සරලව සිතා සතුටු වී අත පිසදා ගත හැකිද යන කාරණය ගැන අප තවදුරටත් කල්පනා කළ යුතුව ඇත.

මෙම ලිපිය ලියන්නට මා පෙළඹවූ කාරණය වන්නේ පසුගිය සතියේ දිනක එක්‌තරා පොතක්‌ පිටවීමේ උළෙලකදී අමාත්‍ය පාඨලී චම්පික රණවක "උතුරේ බෙදුම්වාදය" විශ්ලේෂණය කරමින් ජාත්‍යන්තර සාක්‍ෂි සාධක ගෙනහැර පාමින් කරන ලද විශ්ලේෂණයකි. ඒ දේශනයේදී චම්පික අවධාරණයෙන් යුතුව මතුකළ කාරණාවක්‌ වන්නේ උතුරේ ඡන්දය මධ්‍යම ආණ්‌ඩුව විසින් මෙරට දේශපාලන ඉතිහාසයේ සිදුකළ ඓතිහාසික වරදක්‌ බවය..

එය වරදක්‌ වන්නේ කෙසේද....?

ඉතිහාසය හා වර්තමානය විනිවිද දකිමින් දෙමළ බෙදුම්වාදී දේශපාලනයේ ලෝක සාක්‍ෂි විමසමින් අපි ඒ ප්‍රස්‌තුතය විවෘත මනසකින් යුතුව සාකච්ඡාවට බඳුන් කළ යුතු බව මාගේ අදහසයි.

චම්පික ප්‍රස්‌තුතයට පිවිසියේ එක්‌ අභියෝගාත්මක ප්‍රශ්නයක්‌ සමාජ කතිකාව වෙත ඉදිරිපත් කරමිනි. ඔහු අසා සිටියේ යම්කිසි රටක යුද්ධයකින් පරාජය කරන ලද ත්‍රස්‌තවාදී සංවිධානයක දේශපාලන අංශයට ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකට ඉදිරිපත්වී ජයග්‍රහණය ලැබීමට අවස්‌ථාව සලසා දී ඇත්තේ ලොව කුමන රටේද කියාය. ආසන්න ඉන්දියාවේ කිසිදු බෙදුම්වාදී කණ්‌ඩායමකට ඒ අවස්‌ථාව දී තිබේද.. නැත. පකිස්‌තානයේ දී තිබේද. නැත. ජපානයේ දී තිබේද. නැත. සිරියාවේ, ඉරාකයේ, ඉතාලියේ, ජර්මනියේ ආදී කවර තැනකවත් යුද්ධයෙන් පරාජය කළ කණ්‌ඩායමකට එහි දේශපාලන මුහුණුවර පෙරට ගෙනවිත් ඡන්දයකට ඉදිරිපත් කර ජයග්‍රහණය ලබන්නට ඉඩකඩ විවර කර නැත. එසේ නම් ලංකාවේ මහ හදිස්‌සියේ දෙමළ ජාතික සන්ධානයට ඒ අවස්‌ථාව සලසා දුන්නේ කවර නම් විශේෂත්වයක්‌ නිසාද?

කොටි සංවිධානය ලොව පවතින සහ පැවති අංක එකේ වර්ගවාදී ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ බව අද පිළි නොගන්නා කෙනකු නැති තරම්ය. සම්බන්ධන්ලාගේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ලාගේ දෙමළ ජාතික සන්ධානයත් ඊට මුල්වූ සියලු දෙමළ දේශපාලන සංවිධානත් ඉතිහාසයේ පටන්ම ක්‍රියාකර ඇත්තේ ප්‍රභාකරන්ගේ මිනීමරු ගෝත්‍රවාදී ෆැසිස්‌ට්‌ ක්‍රියාකලාපය ඉහ මුදුනින්ම පිළිගනිමින් අනුමත කරමිනි. අනුමත කළා පමණක්‌ නොව ඒ වෙනුවෙන් පෙනී සිටින්නටද වග බලා ගත්තේය. ඒ අනුව දෙමළ ජාතික සන්ධානය යනු රටේ පවතින අනෙකුත් දේශපාලන පක්‍ෂ මෙන් හුදු දේශපාලන පක්‍ෂයක්‌ නොව, කොටි සංවිධානයේ දේශපාලන මුහුණුවරම බව අමුතුවෙන් විස්‌තර කර ඔප්පුකර දිය යුතු නැත...

එසේ නම් දෙමළ ජාතික සන්ධානයට උතුරු පළාත් සභාවේ බලය ලබා ගැනීමට මාර්ගය පාදා දී ශ්‍රී ලංකා ආණ්‌ඩුව පහසුකම් සලසමින් නිකරුණේ බලා සිටියේ ඇයි? වත්මන් රජය පසුගිය වසර තුන හතරක කාලය තුළ දකුණේ මුදල්ද උතුරට වැය කරමින් උතුර නැගෙනහිර ප්‍රදේශයේ ඇතිකළ උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය වැනි අති දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති නිසා දැස්‌ නිලංකාර වී වශීකෘත වී තමන් දෙමළ බව අමතක වී වැල නොකැඩී ඡන්දපළට පැමිණ සන්ධානයට ඡන්දය දී දෙමළ ජාතික සන්ධානය පරාජයට පත්කරා වී යන සිතුවිල්ල නිසාද? නැතහොත් දෙමළ ජාතික සන්ධානය වෙනම රාජ්‍යයක්‌ ගැන ප්‍රතිපත්ති ප්‍රකාශන දෙමළෙන් ජනතාව වෙත ඉදිරිපත් කරමින් ඡන්දය ඉල්ලීමට අපේක්‍ෂකයන් ලෙස දෙමළ සමාජයේ පිළිගත් බුද්ධිමතුන් උගතුන් හා වෘත්තීයවේදීන් ඉදිරිපත් කරද්දී සන්ධානය ඉදිරිපත් කළ දේවානන්දගේ රස්‌තියාදු කාරයන්ට හා පුනරුත්ථාපනය කරන ලද වැඩි උගත්කමක්‌ නැති හිටපු කොටි සාමාජිකයන්ට ඡන්දය දේවි, යන විශ්වාසය නිසාද යන්න ගැටලුවකි.

ඊළඟට අප කල්පනා කළ යුත්තේ රජය එබඳු අවස්‌ථාවක්‌ දෙමළ ජාතික සන්ධානයට අත්වන්නට ඉඩ හැරියේ අප අවට කුමන රටකින් සැපයූ පූර්වාදර්ශයක්‌ නිසාද කියාය.

නිසැකවම උතුරේ ඡන්දය පැවැත්වුණේ තොර තෝංචියක්‌ නැතිව ලංකාවට එල්ල වූ ලෝක බලවතුන්ගේ හා ඉන්දියාවේ බලපෑම නිසා බව රහසක්‌ නොවේ. ඉන්දියාව තමිල්නාඩුවට ඇති බය පක්‍ෂපාතීකම නිසාම ලංකාවට කළ අසාධාරණ බලහත්කාරකම්වල කෙළවරක්‌ නැත. එහෙත් ඉන්දීය රජය ඒ සඳහා ඉතිහාසය තුළ සපයාදී ඇත්තේ කවර නම් ආදර්ශයක්‌ද යන ප්‍රශ්නය අසන්නට අපට බැරිකමක්‌ නැත.

අමාත්‍ය චම්පික රණවක ඉන්දියානු බෙදුම්වාදයේ ඓතිහාසික ප්‍රභවයන් විවරණය කරමින් ඉන්දියාව එබඳු ඓතිහාසික වරදක්‌ කිසි විටෙකත් කර නැති බව පැහැදිලිs කළේය.

ඉන්දියානු බෙදුම්වාදී අරගලය ආරම්භ වන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයන් රට පාලනය කළ සමයේදීය. මුල් වරට ස්‌වදේශිකයන් ඉංග්‍රීසි පාලකයන්ට විරුද්ධව ආරම්භ කළ "සිපයි කැරැල්ල" (1858) බ්‍රිතාන්‍යයන් විසින් සාහසික ලෙස මර්දනය කිරීමෙන් අනතුරුව ඉන්දීය පොදුජන මනස හැසිර වූ ප්‍රභූ නායක පැළැන්තියට අවශ්‍ය වූයේ රට පුරා පුළුල් ඉන්දීය ජාතියටම අවනත විය හැකි ජාතික සටනක්‌ නිර්මාණය කිරීමටය. එහෙත් ඒ තුළ මතුව ආ උත්තර ඉන්දීය හින්දු බලය ඉදිරියට ආ ගාන්ධි වැනි නායකයෝ අවිහිංසාවාදය මුල්කර ගනිමින් "රාම් රාජ්‍ය" සංකල්පය ගෙන ඒම මුස්‌ලිම් නායකයන්ගේ බලවත් අප්‍රසාදයට හේතුවිය.

මොහොමඩ් අලී ජින්නලා අලාම් ඉක්‌බාල්ලා මෙසේ කලකිරී සිටිද්දී හින්දු බලවතුන්ගේ පාර්ශ්වයේ සිටි නරේන්ද්‍ර මූඩි, අද්වානි වැනි නායකයෝ භාෂාව, ආගම රට මුල්කරගෙන ආ "හින්දි, හින්දු, හින්දුස්‌ථාන්" සංකල්පය නිසා මුස්‌ලිම් හින්දු සහෝදරත්වය තවදුරටත් පළුදු වී ගියේය. මුස්‌ලිම්වරු වෙනම රටවල් 12 ක්‌ මුල්කරගෙන මුස්‌ලිම් අධිරාජ්‍යයක්‌ ගැන කතා කරන්නට පටන් ගත්තේ ඔය අවස්‌ථාවේදීය.

දකුණු ඉන්දියාවේ "ද්‍රවිඩස්‌ථාන්" සංකල්පය මුල්කර ගත් වෙනම කණ්‌ඩායමක්‌ බිහි වන්නේ ඉන්දියාව ඉහත කී දේශපාලන අර්බුදයේ ගිලී තිබියදීය. එවකට දකුණු ඉන්දියාවේ මදුරාසි ප්‍රාන්තයේ (එකල තමිල්නාඩුව, මදුරාසි ප්‍රාන්තය ලෙස හැඳින්විණි) "දෙමළ නායකයකු ලෙස නැගී ආ රාමසාමි නායික්‌කර් පෙරියර් දෙමළ හින්දු ද්‍රවිඩස්‌ථාන්" යන සංකල්පය යොදා ගනිමින් එම සටනට නායකත්වය සපයයි. ඔවුන්ගේ දෙමළ රාජ්‍යයට ද්‍රවිඩ පවුලේ භාෂා වන දෙමළ, තෙලිඟු, මලයාලම් කණ්‌ණඩි භාෂා කතා කරන මදුරාසි කර්ණාටක්‌, කේරල, අන්ද්‍රා ප්‍රදේශ ඈඳා ගනිති.

පසුකාලීනව දෙමළ කසාගම් පක්‍ෂය බිහිවන්නේ ඉහත කණ්‌ඩායමේ දේශපාලන මුහුණුවර ලෙසය. ඒ අතර "කළු කමිස ව්‍යාපාරය" නමින් රාමසාමි නායික්‌කර් පෙරියර්ගේ බෑණා කෙනකු වන "සම්පත්" ගේ නායකත්වයෙන් දෙමළ සන්නද්ධ අංශයක්‌ද බිහි වන්නේ මේ වකවානුවේදීය. ඔවුන් කළේ සිවිල් නීතිකඩ කරමින් ඉන්දීය දෙමළ ජනතාවගේ "ලේ කුපිත කරමින්" දකුණු ඉන්දියාවේ අරගල කරන එකය.

දකුණේ දෙමළ අරගලය තුළ තරුණ නායකයන් ලෙස අන්න දොරේ කරුණා නිධි බලවත් වන්නේ වියපත් රාමසාමි නායික්‌ර් පෙරියර් අත තිබූ දෙමළ විමුක්‌තිකාමි ධජය අතට ගනිමිනි.

එහෙත් 1947 න් පසු ඉන්දියාවේ බලය අතට ගත් ඉන්දීය ආණ්‌ඩු බෙදුම්වාදය බරපතළ ලෙස පරාජය කරමින් ඒකීය ඉන්දියාවක්‌ ගොඩනගන්නට සමත් වූයේය. කළු කමිස ව්‍යාපාරය මර්දනය කර නැත්තටම නැති කර දැමුවේය. දෙමළ කසාගම් (DA) පක්‍ෂය දෙකට බෙදී දෙමළ මුන්නේත්‍ර කසාගම් (Dඵණ) එකද බිහිවිය.

දකුණු ඉන්දියාව තුළ දෙමළ බෙදුම්වාදය බලවත්වන අයුරු කල්තියා දුටු එවකට ඉන්දියානු පාලකයා වූ නේරු අදටත් ඉන්දියාව නොබෙදුණු එකම රටක්‌ ලෙස තබා ගන්නට පදනම දමමින් බුද්ධිමත් ක්‍රියාවක්‌ කළේය. එතෙක්‌ කලක්‌ සමස්‌ත ඉන්දීය රාජ්‍ය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළ බෙදුම්වාදයකට ප්‍රතිපාදන සපයමින් තිබූ 16 වැනි වගන්තිය සංශෝධනය කරන්නේ නේරු ඒ අනුවය. ඉන් ප්‍රාන්ත වෙනම රාජ්‍යයක්‌ කරන්නට, බෙදෙන්නට, නිජබිමක්‌ ගැන කතා කරන්නට ස්‌වයං නිර්ණය අයිතියක්‌ ගැන කතා කරන්නට තිබූ සියලු වගන්ති හා ඉඩකඩ නේරු කල්තියා අහුරා දැමුවේ දෙමළ මුන්නේත්‍ර කසාගම් පක්‍ෂ තමිල්නාඩුවේ ඡන්දයෙන් බලවත් වන්නට පෙරය. ඉන්දියාව ලෝකයට එබඳු ආදර්ශයක්‌ ලබාදී අවසන්ය. එදා ඉන්දියාව බෙදුම්වාදය ව්‍යවස්‌ථානුකූලව පරාජය කළේ එසේය.

එපමණක්‌ නොව දෙමළ රාජ්‍යයක්‌ වෙනුවෙන් අරගල කළ කතා කළ උපවාස කළ සටන් කළ කණ්‌ඩායම් බරපතළ ලෙස මර්දනය කරන්නටද නේරු පසුබට නොවීය. ඒ වෙනුවෙන් පෙනී සිටි පක්‍ෂවලට ඉන්දියාවේ දේශපාලනය තහනම් කළේය. අවසානයේ දෙමළ මුන්නේත්‍ර කසාගම් පක්‍ෂය අන්නදොරේලා, කරුණානිධිලා නැවත දේශපාලනයට පිවිසෙන්නේ දෙමළ රාජ්‍යයක්‌ ගැන තිබූ අදහස අතහැර ප්‍රසිද්ධ ප්‍රකාශයක්‌ද කරමිනි.

වැඩි කලක්‌ ගියේ නැත. 1960 මුල පැවති ඡන්දයේදී තමිල්නාඩුවේ ආසන 50 ක්‌ දිනාගන්නට අන්නදොරේලා සමත් වූයේය. ඊට පසු 67 දී කොන්ග්‍රසය පරාජය කරමින් මුල්වරට කොංග්‍රසයෙන් පිට ඉන්දියාවේ ප්‍රාන්තයක්‌ දිනා ගනිමින් (Dඵණ) පක්‍ෂය මදුරාසි ප්‍රාන්තයේ ජයග්‍රහණය ලබාගන්නේය. 

එහෙත් ඔවුන්ට කළ හැකිවූ එකම දෙය වූයේ මදුරාසි ප්‍රාන්තයේ බස දෙමළ කර ගැනීමටත් මදුරාසි ප්‍රාන්තය ඉන්පසු "තමිල්නාඩුව" යනුවෙන් නම් කර ගැනීමත් පමණි. ඉන් එහා ගිය දෙමළ රාජ්‍යයක්‌ බිහිකරන්නට අදටත් තමිල්නාඩුවට බලයක්‌ නැත්තේ ඉන්දියාවේ ශක්‌තිමත් ව්‍යවස්‌ථාවේ නේරු ඇතිකළ 16 වැනි සංශෝධනය නිසා බව අප පාඩමකට ගත යුතුව පවතී.

එහෙත් අද අපට උතුරේ ඡන්දය තියන්නට යෑයි බල කරන්නේ එබඳු ඉන්දියාවකි. තමන්ගේ රට ආරක්‍ෂිතව තබාගෙන අල්ලපු රට දේශපාලන ලෙස අස්‌ථාවර වන්නට ඉඩ හරින ඉන්දියාව කිනම් ආකාරයේ මිතුරෙක්‌ දැයි දැන් ඔබට වැටහෙනවා නිසැකය.

ඉන්දියාවේ තමිල්නාඩුව තුළ පමණක්‌ නොව, කාශ්මීරය තුළද තවමත් නොවිසඳුණ ප්‍රශ්නයක්‌ තිබෙන බව රහසක්‌ නොවේ. එම ප්‍රශ්නය විසඳන්නට සමස්‌ත කාශ්මීරයේ ජනමතය දැන ගැනීමට ජනමත විචාරණයක්‌ කළ යුතු බව යෝජනා කළේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය මීට වසර දශක ගණනාවකට ඉහතදීය. එහෙත් ඒ ජනමත විචාරණය ඉන්දියාව අමතක කර දමා ඇත්තේ එබඳු ඡන්දයක්‌ පැවැත් වුවහොත් ඉන් නිසැකවම කාශ්මීර් බෙදුම්වාදීන් දිනක බව ඉන්දියාව සක්‌සුදක්‌සේ දන්නා නිසා නොවේද?

එසේ නම් ඉන්දියාවේ ඇතිකරන්නට ඉඩ නොදුන් "දෙමළ රාජ්‍යය" ලංකාවේ බිඟි කරන්නට පදනම දමමින් අතිශය වර්ගවාදී හා බෙදුම්වාදී පදනමක සිට දේශපාලනයට පිවිසි දෙමළ ජාතික සන්ධානයම ඉඩ හරිමින් ඉන්දියාව ලංකාවට උතුරේ මැතිවරණ පවත්වන්නට බලකළේ ඇයි?ලාංකික ජාතියම එකවර හඬනගා ඇසිය යුතු ප්‍රශ්නයකි.

ලංකාවේදී බෙදුම්වාදී ව්‍යාපාරය ආරම්භ වන්නේ ඉන්දියාවේ බෙදුම්වාදයට සමගාමීවය. නිතරම ආදර්ශ සපයන්නේ ඉන්දියාවෙන්ය. මුලින්ම 1910 දී ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද බලය හිමිවූ අවස්‌ථාවේ දොස්‌තර මාකස්‌ ප්‍රනාන්දුට ජයග්‍රහණය කරන්නට ඉඩ නොදී මදුරාසියේ සිටි පොන්නම්බලම් රාමනාදන්ව ලංකාවට ගෙනවිත් දිනන්නට පොළඹවන්නේත් ජයග්‍රහණය කරවන්නේත් එවකට සිටි දේශපාලන නායකයෝ (ජයවර්ධනලා) සිංහල දෙමළ සහජීවනය ප්‍රියකළ නිසා නොව, ඔවුන්ගේ ගෝත්‍රවාදී මානසිකත්වය තුළ තිබූ "කුලවාදී" ආකල්ප නිසාය. 

කරාවේ මාකස්‌ ප්‍රනාන්දුට වඩා දෙමළ පොන්නම්බලම් රාමනාදන් හොඳ යෑයි සිතූ නිසාය. එමගින් වූයේ ලංකාවේ දේශපාලනයේ හිමිකාරීත්වය, නායකත්වය පිළිබඳ හා බෙදුම්වාදය පිළිබඳ දේශපාලන නායකයෝ යම් අදහසක්‌ නිර්මාණය කර ගැනීමය. පසුකලෙක චෙල්වනායගම්ලා, හර්තාල් කරමින් රජයට බලපෑම් කරමින් උතුරේ සිවිල් නීති කඩකරමින් අරගල ආරම්භ කළේ නේරුලා වැනි දුරදිග බලන තෙවැනි ඇසකින් ලෝකය දකින දේශපාලන නායකයෝ කරුමෙට එදා අපට නොසිටි නිසාය.

කෙසේ වෙතත් ලොව කිසිදු රටක්‌ කිසිදු ත්‍රස්‌තවාදී සංවිධානයක දේශපාලන මුහුණුවරකට නොදුන් අවස්‌ථාවක්‌, ඉඩකඩක්‌ ආශිර්වාදයක්‌ මෙදා අපි දෙමළ ජාතික සන්ධානයට බන්දේසියක තබා පිරිනමා අවසන්ය. වරද සිදුවී හමාර බව සැබෑය. දැන් අපිට වරද නිවැරැදි කරගන්නට නොහැකිය. ඉතින් අපි කළ යුත්තේ ඊළඟට එබඳු වරදක්‌ සිදුවීමට ඉඩ නොදී රැකබලා ගැනීමය. අශ්වයා පැන ගියාට පසු ඉස්‌තාලය වසා පළක්‌ නැති වුවත් පැනගිය අශ්වයා අල්ලා ගැනීමට හැකි ක්‍රමවේද සෙවීමට තවමත් අපි ප්‍රමාද නැත. ප්‍රමාද විය යුතුද නැත.

බුලිත පුෂ්පකුමාර
http://www.divaina.com/2013/10/06/politics03.html

0 comments: