Pages

Saturday, October 5, 2013

ඊළාම් වළද සාමයේ මල්ද?

එක්‌සත් ජනතා සන්ධානයෙන් වයඹ හා මධ්‍යම පළාත් සභාවලට තරග කළ දයාසිරි ජයසේකර මහතාත්, සරත් ඒකනායක මහතාත් ඒ පළාත් සභාවල මහ ඇමැතිවරුන් ලෙස දිවුරුම් දී සිටිති. අපි ඔවුන්ට සුබ පතමු. එහෙත් උතුරේ මහ ඇමැති ලෙස විග්නේෂ්වරන් මහතා මෙය ලියන මොහොත වන විටත් දිවුරුම් දී නැත. විග්නේෂ්වරන් මහතා යනු දැන් ඉතා පැහැදිලිsවම දෙමළ ජාතික සන්ධානයේ අභිමතයට විනා ස්‌වාධීනව ක්‍රියා කරන අයෙක්‌ නොවෙති. ඒ දේශපාලන හැසිරීම ඉතා ස්‌වාභාවිකය. එසේ වුවද ඒ තුළින් පිළිබිඹු වන දේශපාලනය යහපත් එකක්‌ නොවන බවද කිව යුතුය.

විග්නේෂ්වරන් මහතා ප්‍රමුඛ දෙමළ සන්ධානය උතුරේ ජයග්‍රහණය පිළිබඳව දරන මතය කුමක්‌ද යන්න ඇතැම් විටෙක ප්‍රශ්නකාරී එකක්‌ වේ. ඔවුන් මුල සිටම උතුර සම්බන්ධයෙන් කරන ලද විවිධ ප්‍රකාශ පිළිබඳව දකුණේ ජනතාව සැකයෙන් බැලූ බවත්, තවමත් එහි සාධනීය වෙනසක්‌ ඇතිකර ගැනීමට ඔවුන්ට එතරම් අවශ්‍යතාවක්‌ නැති බවත් සැඟවිය නොහැකි කරුණකි. 

දෙමළ ජාතික සන්ධානයේ අතීත කතාව ඉතා සැකෙවින් කිවහොත් එය එදා ප්‍රභාකරන්ට පක්‍ෂපාතී වූද, ඔහුගේ සියලු ෆැසිස්‌ට්‌වාදී ක්‍රියාකාරකම් කිසිවක්‌ විවේචනය නොකළා වූද එකකි. ප්‍රභාකරන්ගේ මරණයෙන් පසුව වුවද ඔවුහු ඒ අතීත කතාව වෙනස්‌ කරන තැනකට නොපැමිණියහ. ආණ්‌ඩුව සමග එකඟතාවක්‌ ඇති කරගෙන තම ජනතාවට අලුත් ජීවිතයක්‌ ලබාදීමට ඔවුහු ක්‍රියා නොකළහ. අප එයින් අදහස්‌ කරන්නේ ඔවුන් මේ රජයට එකතුවිය යුතුය වැනි පටු කරුණක්‌ නොවේ.

ත්‍රස්‌තවාදයෙන් හෙම්බත්ව සිටි උතුරට මැතිවරණයක්‌ ලබාදීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ගත් තීරණය අද දවසේත් විවේචනය කරන අය සිටිති. එසේම උතුරේ ඡන්ද මංකොල්ලයක්‌ වන බවට අනාවැකි පළකළ අයද වූහ. උතුරට යෝධ සංවර්ධනයක්‌ කළ ආණ්‌ඩුවට ජනතාවගේ සහාය නොලැබුණු බව ඡන්ද ප්‍රතිඵලයෙන්ද පැහැදිලි විය. 

මේ සියලු තත්ත්වයන් පිළිබඳ නිසි මැන බැලීමක්‌ නොකළ දෙමළ ජාතික සන්ධානය තමන්ට හිමි වූ අවස්‌ථාව බුද්ධිමත් ලෙස භාවිත කිරීම වෙනුවට එය දේශපාලන අවුලක්‌ දක්‌වා රැගෙන ගිය අයුරු කාටත් පැහැදිලි වනු ඇත. සිය ජයග්‍රහණයෙන් පසු විග්නේෂ්වරන් මහතා ප්‍රමුඛ දෙමළ සන්ධානයට අවශ්‍ය වූයේ උතුරේ ආණ්‌ඩුකාරයා ඉවත් කර ගැනීමටය. එහෙත් එයට හේතු ඔවුහු ඉදිරිපත් නොකළහ. උතුරේ ආණ්‌ඩුකාර මේජර් ජෙනරාල් චන්ද්‍රසිරි මහතා හිටපු හමුදා නිලධාරියෙක්‌ වීම මේ විරෝධයට හේතු වන බව අපගේ අනුමානයයි. එසේ නම් මීට පෙර උතුරේ ත්‍රස්‌තවාදයට එරෙහිව හමුදාව මෙහෙයවූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා රටේම නායකයා කිරීමට ඔවුන් එකඟ වූයේ කෙසේද?

ආණ්‌ඩුකාරවරයා යනු ජනාධිපතිවරයාගේ නියෝජිතයකු බවත් ඔහු ඉවත් කළ යුතු ආකාරය ව්‍යවස්‌ථාවේ පැහැදිලිව සටහන් වී තිබෙන බවත් නීතිය හොඳින් දන්නා විග්නේෂ්වරන් මහතා මෙන්ම එහි සිටින අනෙක්‌ වෘත්තීය නීතිඥයෝද දනිති. එසේනම් මේ විරසකය කුමක්‌ නිසාද? අනෙක ආණ්‌ඩුකාරයා හමුවීමට මෙන්ම ඔහුගෙන් නිල ලිපි ලේඛන ලබා ගැනීමට ද හැකි දෙමළ ජාතික සන්ධානය ඔහුව අස්‌කිරීමට ඉදිරිපත් කරන හේතු රටට ප්‍රකාශ කළ යුතුය. 

උතුරේ මහ ඇමැති හා මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා ඉදිරිපිට දිවුරුම් දීම සඳහා සූදානමින් සිටින බවත් ඒ සඳහා ජනාධිපතිවරයාට උතුරට පැමිණෙන ලෙස ආරාධනා කළ බවත් ජනාමාධ්‍ය වාර්තා කර තිබුණි. එයට කෙබඳු අර්ථ දැක්‌වීම් කළත් එය හොඳ ප්‍රවණතාවක්‌ ලෙස අපිට හැඟේ. එයින් නිශ්චිතවම ප්‍රකාශ වන්නේ දෙමළ සන්ධානය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රටේ නායකයා ලෙස එකසිතින්ම පිළිගන්නා බවය. තමන්ගේ නිල බලය රාජ්‍ය නායකයා අබියස දිවුරුම් දී පිළිගැනීම ඉතා හොඳ ප්‍රතිචාරයක්‌ බවද කිව යුතුය.

සැබැවින්ම මෙය ඇතැම් දෙමළ නායකයන්ගේ ශබ්ද කෝෂයේ තිබුණු කොළඹ ආණ්‌ඩුව නැතහොත් දකුණේ ආණ්‌ඩුව ඔවුන්ගේද ආණ්‌ඩුව බව තහවුරු කිරීමකි. මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය තවම ප්‍රකාශ වී නැතත්, ජනාධිපතිවරයාගේ අදහස වී ඇත්තේ උතුර මේ රටේම කොටසක්‌ නිසා තමන්ට උතුරේ ජනතාව පිළිබඳ වගකීමක්‌ද තිබෙන බවය. දකුණේ ජනතාව පමණක්‌ නොව බොහෝ දේශපාලනඥයන්ද උතුර වෙනම කොටසක්‌ ලෙස කල්පනා කිරීම වරදක්‌ බවද ජනාධිපතිවරයා කී බවක්‌ද වාර්තා විය.

දශක තුනකට නොඅඩු කාලයක්‌ මුළුල්ලේම උතුර වෙන්ව තිබුණු අතර ඒ වෙන්වීම සදාකාලික බෙදීමක්‌ බවට පත් කර ඊළමක්‌ නිර්මාණය කිරීම ප්‍රභාකරන්ගේ අරමුණ විය. ප්‍රභාකරන් උතුරේ තිබුණු සිවිල් ආයතන සියල්ලමත්, බලයෙන් යටත් කරගෙන සිටි ත්‍රස්‌තවාදියෙකි. ඒ තත්ත්වය වෙනස්‌ වීමෙන් පසු මේ ආණ්‌ඩුව උතුර සංවර්ධනය කළේත් උතුරට ඡන්දයක්‌ ලබා දුන්නේත් අලුත් ආරම්භයක්‌ සඳහාය.

මේ ආරම්භය සාධනීය ලෙස ඉදිරියට ගෙන යැම කළ යුත්තේ විග්නේෂ්වරන් හා ඔහු මෙහෙයවන දෙමළ ජාතික සන්ධානයයි. එහෙත් පුදන කොටම කාපි යකා කීවාක්‌ මෙන් ඔවුන් නිර්මාණය කළේ ගැටුමකි. ඒ ඉඩම් හා පොලිස්‌ බලතල ඉල්ලා සිටීමය. මෙම කාරණයේදී ඔවුහු දැඩි අනම්‍ය පිළිවෙතක සිටිතියි අපටද පෙනේ.

රජයේ ඉඩම් පිළිබඳව මේ වන විට පැහැදිලි තීන්දුවක්‌ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනු ලැබ තිබේ. එසේම 13 වැනි සංශෝධනයේ සියලු බලතල උතුරට තබා කිසිදු පළාත් සභාවකට ලබා දී නැති බවද කවුරුත් දනිති. ඉඩම් හා පොලිස්‌ බලතල නොදීම පිළිබඳව තවමත් මේ රටේ විවාදයක්‌ තිබෙන බවද අපි දනිමු.

උතුරේ පළාත් සභාව ලෙස මුල්ම බලය හිමි වූ වර්ධරාජා මහතා නැටූ පිස්‌සුව කාටත් මතක තිබේ. ඒ පිස්‌සුව හැම දෙමළ නායකයකුටම බෝවෙන රෝගයක්‌ යෑයි කීමට අපි ඉක්‌මන් නොවෙමු. එහෙත් මේ බලතල යනු ඉතා සංවේදී කරුණක්‌ නිසා ඒවා ක්‍රමයෙන් නීති ප්‍රකාර ලෙස හැම පළාත් සභාවකටම හිමිවිය යුතු බව කිසිවකුට ප්‍රතික්‌ෂේප කළ නොහැක. එහෙත් විග්නේෂ්වරන්ලා මස්‌ රාත්තලම ඉල්ලූ ෂයිලොක්‌ මෙන් මේ මත්තේම නැහෙන්නට දරන උත්සාහය අද අවුලක්‌ නිර්මාණය කර තිබෙන බව අපගේ අදහසය. 

උතුරේ පළාත් සභාවට ආණ්‌ඩුව බාධා කරන බව ජාත්‍යන්තරයට කීම දෙමළ ජාතික සන්ධානයේ අදහස බව දැනටමත් සමහරු කියති. විග්නේෂ්වරන්ලා එතැනට තල්ලු කරන ඊළාම්වාදීන්ගේ සැලැස්‌ම වන්නේ ආණ්‌ඩුවට දෝෂාරෝපණය කර ඊළමක්‌ ලබා ගැනීමට ජාත්‍යන්තර අවධානය දිනා ගැනීම බව පෙනේ. දෙමළ ජාතික සන්ධානයේ මතය බෙදුණු රටක්‌ නොව ඒකීය රටක්‌ බව ප්‍රකාශ කළත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් තුළින් ප්‍රකාශ වන්නේ ඔවුන්ට වෙනම පාලනයක සිහිනයක්‌ තිබෙන බවය.

උතුරේ ජනතා ප්‍රශ්න සියල්ල එක රැයකින් විසඳීමේ මැජික්‌ බලය ඉඩම් හා පොලිස්‌ බලතල සමග බැඳී තිබේ යෑයි කිසිවකුට කිව හැකිද? එසේ නම් මේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස භාවිත කරමින් සිය ජනතාවගේ අපේක්‍ෂාවන් මුදුන් පමුණුවාලීම අද ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ අංක එක විය යුතුය.

විග්නෙෂ්වරන් මහතාණෙනි, පළමුව තිබෙන විධියට වැඩේ පටන් ගන්න බැරි ඇයිදැයි ඔබ හෝ දෙමළ ජාතික සන්ධානය හෝ රටට කිවයුතුය. දෙමළ ජනතාව දෙස සාධාරණව බලන ජනතාවක්‌ දකුණේ නැත්නම් ඔබේ නෑයන්ට මේ පළාත්වල නිදහසේ ජීවත් විය හැකි දැයි ඔබම හෘදය සාක්‍ෂියෙන් විමසා බැලිය යුත්තකි.

පළාත් සභා ක්‍රියාත්මක වන්නේද මධ්‍යම ආණ්‌ඩුවේ සහාය අනුවය. අවශ්‍ය අරමුදල් ලබා දෙන්නේද මධ්‍යම ආණ්‌ඩුවය. එසේ නිලධාරීන් පත් කිරීමද මධ්‍යම ආණ්‌ඩුවට අයත්ය. අධ්‍යාපන, සෞඛ්‍ය වැනි ජාතික ප්‍රතිපත්ති සැලසුම්ද මධ්‍යම රජයට අයත්ය. මෙයින් පෙනී යන්නේ මේ ක්‍රියාදාමය අෙන්‍යාන්‍ය අවබෝධය හා සුහදතාව මත රඳා පවතින බවය. මුළු රටේම නායකයා ජනාධිපතිවරයාය. යුක්‌තිය පසිඳලීමට ධර්මාසනයට නැගුණු විග්නේෂ්වරන් මහතාට මේවා තේරුම් කරදීම අවශ්‍ය නැත. එහෙත් ඔබ ඔබගේම පක්‍ෂයේ හෝ ඊට එපිටින් සිටින දෙමළ ඩයස්‌පෝරාවේ මෙන්ම ඊළාම්වාදීන්ගේ රූකඩයක්‌ බවට පත් වුවහොත් යළි මේ රට ඊළාම්වාදී නරකාදියට තල්ලු කිරීමේ අපරාධයට ඔබට වගකීමට සිදුවනු ඇත. ඔබ සිතිය යුත්තේ ඒ බරපතළ කරුණ ගැන නොවේද? විග්නේෂ්වරන් මහතාණනි, රට පමණක්‌ නොව ජාත්‍යන්තරයම ඔබ දෙස බලා සිටියි. 

http://www.divaina.com/2013/10/06/editorial.html

0 comments: