Pages

Saturday, October 5, 2013

ලෝකයම හෙල්ලුම් කෑ ඇමරිකාවේ අයවැය අර්බුදය අපටත් බලපායිද?

ඇමරිකාවේ අයවැය සම්මත කර ගැනීමට නොහැකිවීම නිසා හටගෙන ඇති අර්බුදය ගැන අද ලෝකයේ ආර්ථික හා මූල්‍ය අංශවල දැඩි අවධානය යොමුව ඇත. මෙම අර්බුදය දිග්ගැස්‌සුණහොත් එය ලෝක ආර්ථිකයට මෙන්ම ඇමරිකාවත් සමග ගනුදෙනු කරන වෙනත් රටවල ද සිදු විය හැකිව තිබෙන අහිතකර බලපෑම මීට හේතුවයි. කවරක්‌ නමුත් තවමත් අපේක්‍ෂා කරනුයේ මෙම අයවැය අර්බුදය තාවකාලික එකක්‌ වනු ඇති බවයි. එය ඉක්‌මනින් විසඳා ගැනීම තුළින් ඇතිවිය හැකිව තිබෙන අහිතකර බලපෑම් දුරදිග යා නොදී විසඳාගත හැකි වනු ඇති බවයි. එහෙත් එසේ නොවුවහොත් එහි බලපෑම් ඇමරිකානු ආර්ථිකයට පමණක්‌ නොව ඇමරිකානු ආර්ථිකය හරහා ලෝක ආර්ථිකයටත් ඇතිවීමේ අවදානමක්‌ තිබේ. මේ තුළ අපගේ අපනයන ඉල්ලුම අඩුවීමෙන් අපගේ අපනයනවලට ද අහිතකර බලපෑම් ඇති විය හැකිය. ඇමරිකාවේ මේ අයවැය අර්බුදය ඉක්‌මනින් විසඳාගත නොහැකිව එය සති දෙක තුනක්‌ දිගට ඇදී ගියහොත් මෙවැනි අහිතකර බලපෑමකට මුහුණදීමට සිදුවීමේ වැඩි ඉඩකඩක්‌ පවතී. මේ ලිපියෙන් අපගේ අවධානය යොමු වන්නේ මෙම ඇමරිකානු අයවැය අර්බුදය නිසා ඇති විය හැකිව තිබෙන ආර්ථික බලපෑම් ගැනය.

ඇමරිකාවේ අයවැය සම්මත කර ගැනීමට නොහැකි වූයේ ඇමරිකානු පාර්ලිමේන්තුවේ මහජන මන්ත්‍රී මණ්‌ඩලය සහ කොංග්‍රස්‌ මණ්‌ඩලය අතර ඇතිවූ මත ගැටුමක්‌ නිසාය. මේ මත ගැටුම නිර්මාණය වූයේ ඇමරිකානු ජනාධිපති බැරක්‌ ඔබාමාගේ සෞඛ්‍ය ප්‍රතිසංස්‌කරණ මුල් කරගනිමිනි. විරුද්ධ පක්‍ෂ රිපබ්ලිකන් මන්ත්‍රීවරු එම ප්‍රතිසංස්‌කරණ සංශෝධනය විය යුතු බව කියා සිටි අතර ඔවුන් ඒ අනුව ලබන වසරේ (2014) ෙෆෙඩරල් අයවැයට එම වැය ශීර්ෂය ඉදිරිපත් කිරීම ප්‍රතික්‍ෂේප කොට තිබේ. ඇමරිකාවේ මහජන මන්ත්‍රී මණ්‌ඩලයේ බහුතර බලය ඇත්තේ ජනාධිපති ඔබාමාගේ ඩිමොක්‍රටික්‌ පක්‍ෂයට නොව රිපබ්ලිකන් පක්‍ෂයටය. අයවැය සම්මත කර ගැනීමට නොහැකි තත්ත්වයක්‌ උද්ගත වූයේ ඒ නිසාය.


මෙසේ අයවැය සම්මත කරගැනීමට නොහැකිවීමෙන් ඉකුත් ඔක්‌තෝබර් 01 වැනිදා සිට ඇමරිකාවේ මූල්‍ය කටයුතු අඩපණ වී ඇමරිකානු රජය දැඩි ආර්ථික අවදානමකට මුහුණදී සිටී. මේ නිසා ඇමරිකාවේ රාජ්‍ය ආයතනවලින් කොටසක්‌ වසා දැමීමට ද සිදුව තිබේ. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබූ පරිදි ඇමරිකානු රජය යටතේ පවතින උද්‍යාන මෙන්ම වෙළෙඳ සහ මූල්‍යායතන ද එසේ වසා දැමීමට සිදුව ඇත. රජයේ මෙහෙයුම් කටයුතු අඩපණවීමෙන් වොෂින්ටන් නගරය තුළ පමණක්‌ දිනකට ඇමරිකානු ඩොලර් මිලියන 200 ක පාඩුවක්‌ සිදුවන බවද, ඇමරිකානුවන් ලක්‍ෂ 7 කට පමණ වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක්‌ උද්ගතවී ඇති බවද වාර්තා වේ. මෙවැනි අර්බුදයකට ඇමරිකාව මුහුණ දුන්නේ වසර 17 කට පසුවය.


සෑම වසරකම ඔක්‌තෝබර් මුලදී ඇමරිකාවේ වාර්ෂික අයවැය සම්මත කරගත යුතුය. එසේ අයවැය සම්මත කරගැනීමට අපොහොසත් වුවහොත්, රජයේ අත්‍යවශ්‍ය නොවන සේවා ආයතන ඉබේම අඩපණ වෙයි. එම ආයතනවල සේවකයන්ට වැටුප් රහිත නිවාඩු හිමි වෙයි. ඒ අනුව අර්බුදය කඩිනමින් සමනය කරගෙන අයවැය සම්මත කරගත්ත ද, ඒ අයට හිඟ වැටුප් නොලැබෙයි. ඇමෙරිකාවේ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක වුවත්, මේ අයවැය අර්බුදය කඩිනමින් විසඳා නොගතහොත් අත්‍යවශ්‍ය සේවා ආයතනවලට ද අහිතකර බලපෑම් එල්ලවීමේ අවදානමක්‌ තිබේ. ඒ තුළ ඇමරිකානු ආර්ථිකයට ද අහිතකර බලපෑම් ඇතිවීම වැළැක්‌විය නොහැකිය. එහෙත් තවමත් අපේක්‍ෂා කරන්නේ මේ අර්බුදය ඉක්‌මනින් සමනය කරගෙන සිදු විය හැකිව තිබෙන අහිතකර බලපෑම් අවම කරගත හැකි වනු ඇතැයි කියාය.


පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති බැරක්‌ ඔබාමා දුන් ඡන්ද පොරොන්දුවකට අනුව මෙම සෞඛ්‍ය ප්‍රතිසංස්‌කරණ සකස්‌ කරන ලද්දේ ඇමරිකානු ජනතාවට, වඩා හොඳ සෞඛ්‍ය සේවයක්‌ ලබාදීමේ අරමුණ ඇතිවය. "ඔබාමා කෙයාර්" නමින් වූ මෙම සෞඛ්‍ය ප්‍රතිසංස්‌කරණ සිදු කිරීම සඳහා අයවැයට ඉදිරිපත්වූ වැය ශීර්ෂය ගැන රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික්‌ පක්‍ෂ මන්ත්‍රීවරු අතර කඹ ඇදිල්ලක්‌ සිදුව ඇති බවද ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබිණි. විරුද්ධ පක්‍ෂ රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් එම සෞඛ්‍ය ප්‍රතිසංස්‌කරණ සංශෝධනය විය යුතු බව කියා සිටියත්, ජනපති ඔබාමා මේ සම්බන්ධයෙන් කියා තිබුණේ, එම වැය ශීර්ෂය මුල්කොට ගනිමින් ඔවුන් ජනතාව අමාරුවේ දමා කප්පම් ගැනීමක්‌ සිදු කරන බවයි.


මේ තත්ත්වය තුළ ඇමෙරිකානු රාජ්‍ය වියදම් සීමා වෙයි. එසේම ඇමෙරිකාව විසින් සිදුකරන ආනයන අඩු කිරීමටද මේ තත්ත්වය හේතු විය හැකිය. ඒ හරහා ලෝක ආර්ථිකය මෙන්ම ඇමෙරිකාවට භාණ්‌ඩ අපනයන කරන ශ්‍රී ලංකාව ඇතුළු සෙසු රටවලටද අහිතකර බලපෑම් ඇතිවීමට ඉඩ තිබේ. අපගේ ප්‍රධාන අපනයන ගැනුම්කරුවා ඇමෙරිකාවයි. ගිය වසරේ (2012) දී ඇමෙරිකාව අපේ මුළු අපනයනයන්ගෙන් සියයට 22 කට පමණ ද මුළු ඇඟලුම් අපනයනයෙන් සියයට 40 කට පමණ ද දායකත්වය දැක්‌වීය. මේ නිසා ඇමෙරිකානු ආර්ථිකයේ ඇති වන අර්බුදයක්‌ අපගේ අපනයන සඳහා පවතින ඉල්ලුම අඩුවීම හරහා අපේ ආර්ථිකයට අහිතකර ලෙස බලපෑමට ඉඩ තිබේ. එසේම පසුගිය කාලය තුළ අපගේ අපනයන ආදායමේ පසුබෑමක්‌ ද සිදුවිය. 2012 වසරේ අපගේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 10558.8 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 9773.5 දක්‌වා සියයට 7.4 කින් පහත වැටිණි. මේ වසරේ (2013) පළමු මාස හයේදී ද අපනයන ආදායමේ වාර්තා වූයේ පසුබෑමකි. මේ නිසා අපගේ අපනයන වර්ධනය කර ගැනීමේදී, අපනයන වෙළෙඳපොළ (අපගේ අපනයන ගැනුම්කරුවන්) විවිධාංගීකරණය කිරීම මෙන්ම අපනයන භාණ්‌ඩ විවිධාංගීකරණය කිරීම (විවිධ භාණ්‌ඩ අපනයනය සඳහා යොමු වීම) අත්‍යවශ්‍ය වේ. එහෙත් අප දැනට ඇමෙරිකාව ඇතුළු සාම්ප්‍රදායික අපනයන ගැනුම්කරුවන් කිහිපදෙනෙක්‌ මත දැඩි රැඳියාවක්‌ පවතී. එය මෙවැනි ජාත්‍යන්තර අර්බුදවලදී අපගේ අපනයන වෙඳාමට සෘජුවම අහිතකර ලෙස බලපායි. එසේම අපනයන භාණ්‌ඩ අතින් ගත් විට ඇඟලුම් අපනයන මත අපේ ඇති රැඳියාවද වැඩිය. මේ තත්ත්වය වෙනස්‌ කරමින් විවිධ භාණ්‌ඩ අපනයනයට යොමු වීමත්, නව අපනයන ගැනුම්කරුවන් සොයා ගැනීමත් මෙහිදී ඉතා වැදගත් වෙයි. මෙය අපනයන වෙඳාම සම්බන්ධයෙන් කලක්‌ තිස්‌සේම අප විසින් පෙන්වා දෙන කරුණකි. මේ සඳහා බලධාරීන් පියවර ගනිමින් සිටියත් තවමත් යහපත් ප්‍රතිඵල උදාකර ගැනීමට අප අසමත්ව සිටිමු. මෙහිදී අපගේ භාණ්‌ඩ අපනයනය සඳහා චීන වෙළෙඳපොළ විවෘත කර ගැනීමේ අවස්‌ථාවක්‌ දැන් අපට උදාවී තිබේ. එනම් ශ්‍රී ලංකාව හා චීනය අතර නිදහස්‌ වෙළෙඳ ගිවිසුමක්‌ ඇතිකර ගැනීමට දෙරටේ රාජ්‍ය නායකයන් අතර එකඟත්වයක්‌ ඇතිකරගෙන තිබේ. පසුගියදා චීනයේ බීජිං නගරයට ගිය අවස්‌ථාවේදී මේ ලියුම්කරුට චීනයේ ශ්‍රී ලංකා තානාපති රංජිත් උයන්ගොඩ මහතා හමුවිය. ඔහු ප්‍රකාශ කළේ මේ ගිවිසුම ලබන වසරේ (2014) දී අත්සන් කිරීමට හැකිවනු ඇති බවත්, ඒ සඳහා වන සාකච්ඡා දැන් ආරම්භ වී ඇති බවත්ය. මේ චීන ශ්‍රී ලංකා නිදහස්‌ වෙළෙඳ ගිවිසුම හරහා චීනයට අපගේ අපනයන වර්ධනය කර ගැනීමට හැකි වුවහොත් එය නව අපනයන ගැනුම්කරුවන් සොයා ගැනීමේ අපගේ අවශ්‍යතාව ඉටුවීමකි.


ඔක්‌තෝබර් 17 වැනිදා ඇමෙරිකානු රජයට ජය ගැනීමට තවත් අභියෝගයක්‌ තිබේ. එනම් පවතින ණය ගැනීමේ සීමාව වැඩි කර ගැනීමයි. මෙය ඉටුකර ගත නොහැකි වුවහොත්, ඇමෙරිකාවට තවත් අර්බුදයකට මුහුණ දීමට සිදුවේ. එවිට ගත් ණය ගෙවා ගත නොහැකි වීමේ ප්‍රශ්නයකට මුහුණ දීමට ඇමෙරිකාවට සිදුවේ. ලෝකයේ ලොකුම ණයකරුවා ඇමෙරිකාවයි. අඩුම අවදානමක්‌ ඇති ණය උපකරණ ලෙස සැලකන්නේ ඇමෙරිකානු රජයේ ණය උපකරණ බැවින් ලෝකයේ බොහෝ රටවල් ඒවායෙහි මුදල් ආයෝජනය කර ඇත. ඒ ණය උපකරණ කල් පිරීමේදී එම ණය පියවීම ද අවශ්‍යය. එහෙත් ලබන ඔක්‌තෝබර් 17 වැනිදා තම ණය ගැනීමේ සීමාව වැඩි කර ගැනීමට ඇමෙරිකාව අපොහොසත් වුවහොත් ණය පියවීම පිළිබඳ ගැටලුවකට ද ඇමෙරිකාව මුහුණ දෙයි. අනිත් අතට අයවැය හිඟය පියවීම සඳහා අලුතින් ණය ගැනීමට නොහැකි වුවහොත් එහිදී රජයේ වියදම් කැපීමටද ඇමෙරිකානු රජයට සිදුවෙයි. මේ කාරණාවලදී ඇමෙරිකාව විශාල අර්බුදයකට මුහුණ දීමේ අවදානමක්‌ තිබුණත් තවමත් අපේක්‍ෂා කරන්නේ විරුද්ධ පක්‌ෂය සහ ඔබාමා පාලනය අතර යම් දේශපාලන සම්මුතියක්‌ ඇති කර ගැනීම තුළින් එවැනි අහිතකර තත්ත්වයකට යා නොදී ඇමෙරිකාව විසින් මේ අර්බුදය සමනය කර ගනු ඇති බවයි.


ශ්‍යාම් නුවන් ගනේවත්ත

http://www.divaina.com/2013/10/06/economic08.html

සබැඳි ලිපි -
[

ඇමරිකානු ආර්ථිකයේ බිඳ වැටීමට ඔබාමා වගකිව යුතුයි - මූල්‍ය විශේෂඥ පැටි‍්‍රක් ජේ. යන්ග්http://denethharinna.blogspot.com/2013/10/blog-post_6077.htmlඇමරිකා මූල්‍ය අර්බුදය - ‘නාසා’ ආයතනය වසා දැමේhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_3.htmlනිදහසේ සංකේතය වූ ඇමරිකානු ලිබර්ටි ප්‍රතිමාවද වසා දමයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_238.htmlඇමරිකානු රජය ආර්ථික අවදානමකhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_6452.html
]

0 comments: