Pages

Monday, December 2, 2013

'පා දඟ පන්දුවට නෝ බෝල් කිව්වහම මම ගිහිල්ල කිව්වා මෙයා දැම්මෙ පා දඟ පන්දුවක්‌ ඒක කොහොමද දමල ගහනව කියල අල්ලන්නෙ කියල' - අර්ජුන

1995 දි ඩැරල් හෙයාර් මුරලි පන්දුව දමා ගසන බවට සංඥ කළ අවස්‌ථාව

දහඩිය වඟුරවමින් පිටියේ දක්‌වන රංගනයෙන් ඕනෑම ක්‍රීඩාවක ජය පරාජය තීරණය වේ. එහෙත් දහඩිය වගුරවන්නට පිටියට බැසීමට තල්ලුවක්‌ අවශ්‍යය. පිටියට බැස වැඩ දමන විට පිටියෙන් එලවා දැමීමට යමෙක්‌ තල්ලුවක්‌ දමන්නේ නම් ඔහුට රිදෙන්නට සහ එයට උල්පන්දම් දෙන්නන්ට ඇඬෙන්නට පහර දෙන්නට තවත් එකෙක්‌ සිටිය යුතුය. මෙවැනි සිදුවීමක්‌ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ අතීතයේදී දෝංකාර දෙයි. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වෙනුවෙන් නොබියව ඉදිරිපත් වුණේ කවුද? එහි කතානායකයා අර්ජුන රණතුංගය. අපි නොදන්න ක්‍රිකට්‌ ලිපි මාලාවෙන් 'අපේ ක්‍රිකට්‌ ලොකු අයියාගේ කතාව' යනුවෙන් අපි ඉකුත් සතියේ පළමු කොටස පළ කළෙමු. මේ එහි දෙවැනි කොටසයි.

සනත් - කළු ආරම්භක පිතිකරුවන් ලෙස පැමිණි ආකාරයත් මුත්තයියා මුරලිදරන්ගේ ක්‍රිකට්‌ දිවිය සුරක්‍ෂිත කරලීමටත් අර්ජුන එදා කළ මෙහෙවරත් 96 ලෝක කුසලාන ජය ගැනීමේ මෙහෙයුම ඇතුළු තවත් අපි නොදත් බොහෝ දැ අර්ජුන මෙසේ හෙළි කළේය.

1995 දී ඔස්‌ට්‍රේලියානු සංචාරයේදී ඩැරල් හෙයාර් විනිසුරු විසින් මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගසන්නෙක්‌ බව නම් කළේය. එවිට අර්ජුන ක්‍රීඩා විවේකගාරයට ගොස්‌ සිටියේය. අදාළ සිදුවීමත් සමග අර්ජුන යළිත් පිටියට පැමිණ මුරලි වෙනුවෙන් කතා කළේය.

"එදා මුරලිදරන් පන්දුව දමා ගසන බවට ඩැරල් හෙයාර් සංඥ කරන කොට මම හිටියෙ ෙඩ්‍රෙසින් රූම් එකේ. මගේ කකුලෙ ආපු පොඩි ආබාධයකට එළියට ගිය වෙලාවෙ තමයි ඔය සිදුවීම ඇතිවුණේ. අරවින්ද තමයි ඒ වෙලාවෙ පිට්‌ටනියෙ හිටියෙ. සිදුවීම ඇති වුණ ගමන් මම පිට්‌ටනියට ගිහිල්ල නීතිය පැත්තෙන් මොකක්‌ද කරන්න ඕන කියල කල්පනා කළා. මොකද නීතිය හරියට ක්‍රියාත්මක කළේ නැතිනම් මුරලි නැත්තටම නැති වෙන්නත් තිබුණා. එතනදි අපි මුරලිව පරිස්‌සම් කරල දෙපැත්තටම පන්දුව දාන්න මුරලිට උපදෙස්‌ දුන්නා. එතනදි අපි පෙන්නුව මුළු ලෝකෙටම මුරලිට අසාධාරණයක්‌ කරන්නෙ කියල."

අපි හුඟක්‌ ප්ලෑන් කරල මුරලිට කිව්ව විනිසුරුවරයාගේ පස්‌සෙන් ගිහිල්ල බෝල් කරන්න පාදඟ පන්දුවක්‌ යවන්න කියල. සාමාන්‍යයෙන් පා දඟ පන්දුවක්‌ යවන කොට අත නමන්න බැහැ. තාක්‍ෂණය අනුවත් නිගමනයකට ඇවිල්ල තියෙනව පා දඟ පන්දුවක්‌ දමල ගහන්න බැහැ කියල. ඉතින් මුරලි යවපු පා දඟ පන්දුවත් නෝ බෝල් කියල ඩැරල් හෙයාර් සංඥ කළා. පා දඟ පන්දුවට නෝ බෝල් කිව්වහම මම ගිහිල්ල කිව්වා මෙයා දැම්මෙ පා දඟ පන්දුවක්‌ ඒක කොහොමද දමල ගහනව කියල අල්ලන්නෙ කියල. ඒත් ඩැරල් හෙයාර් කිව්වෙ නැහැ මෙයා දැම්මෙ එහෙම බෝලයක්‌ නෙමෙයි කියල. අපි මුළු ලෝකෙම දැක්‌ක රූපවාහිනී ප්‍රතිරූපණ වලිනුත් මුරලි යෑව්වෙ පා දඟ පන්දුවක්‌ කියල.

ආයිත් 98 දිත් මුරලිට ඔය ප්‍රශ්නෙම ආවා. එතනදි ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක, විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදිරගාමර් මහත්තයා ඒ වගේම ක්‍රීඩා ඇමැතිව සිටි එස්‌.බී. දිසානායක මහත්තයා මට පෞද්ගලිකවම කතා කරල ඇහැව්ව මොනවද වෙන්න ඕන කියල. ඒ දේශපාලන නායකයන් එදා මට කිව්ව ඕන තීරණයක්‌ අරන් දමල ගහල ආයිත් ලංකාවට එන්න කියන තැන හිටියා. ඒ කට්‌ටියට බයක්‌ තිබ්බා මාව තහනම් කරයි කියල. බැරි වෙලාවත් එදා මාව තහනම් කළා නම් තරගාවලිය නවත්තල කණ්‌ඩායම සමග ලංකාවට එන්න කියල මට කිව්වා. අපිට අසාධාරණයක්‌ වෙන වෙලාවෙ අපි තනියම නෙමෙයි කියන හැඟීම මට එතනදි ආවා.

එදා බැරිම තැන මම පිට්‌ටනියෙන් කණ්‌ඩායමත් එක්‌ක එළියට යන්න ආවා. හැබැයි හතරේ සීමාවෙන් එහාට කවුරුත් යන්න එපා කියල මම කට්‌ටියට කිව්වා. මොකද මට බයක්‌ ආවා එදා අපි හැමෝම එළියට ගියානම් කට්‌ටියටම තරග තහනමක්‌ එයි කියල. පස්‌සෙ මම විතරක්‌ එළියට ගියා. එතකොට තහනම එන්නෙ මට විතරයිනෙ. ඇත්තටම මම එහෙම කළේ මේ අය වැරදි දෙයක්‌ කරන්නෙ කියල ලෝකෙට පෙන්නන්න. ටෝනි ග්‍රෙග්, ඉයන් චැපල්, ඉයන් බොතම් වගේ විස්‌තර විචාරකයනුත් අපි වෙනුවෙන් කතා කළා. ඒකත් අපිට ශක්‌තියක්‌ වුණා මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න.

මුරලිගෙ ප්‍රශ්නෙත් එක්‌ක මට ප්‍රශ්න ගොඩාක්‌ ආවා. අයි.සී.සී. එකෙන් ප්‍රශ්න ආවා. ඒ වෙලාවෙ මුරලි ඇවිල්ල මට කිව්වා අයියෙ මම ගෙදර යන්නම් අයියට මම නිසා ප්‍රශ්න ගොඩක්‌ එනව කියල. එතනදි මම මුරලිට කිව්වෙ මට එන ප්‍රශ්න මම බලාගන්නම් ඔයා හොඳ මානසිකත්වයෙන් ශක්‌තිමත් වෙලා ඉන්න එතකොට මේ ප්‍රශ්නෙන් අපිට ගොඩ යන්න ලෙහෙසියි කියල.

ඒ කාලෙ හැම ප්‍රාන්තයකටම යන කොට අපිට ඩිනර් ඩාන්ස්‌ එකක්‌ ලැහැස්‌ති කරල තියෙනවා. ඇඩිලේඩ් මැච් එක ඉවර වෙලා අපිට ඩිනර් ඩාන්ස්‌ එකක්‌ ලැහැස්‌ති කරල තිබ්බා. ඒකට අරවින්දත් එක්‌ක කණ්‌ඩායම යවල මමයි රංජිත් ප්‍රනාන්දු සහ රෝයි ඩයස්‌ පරක්‌කු වෙලා ගියා. මම පරක්‌කුවෙලා ගියේ ඔස්‌ට්‍රේලියාවෙ ඉන්න හොඳම නීතිඥයන් සමග මුරලිගෙ ප්‍රශ්නය ගැන සාකච්ඡා කරපු නිසා. හැබැයි මම එතනට ගිහිල්ල පැයක්‌ ඇතුළත ඇවිල්ල ආයිත් නීතිඥයන් එක්‌ක මේ ගැන සාකච්ඡා කළා.

මට තේරුණා මුරලිව මේ සිදුවීමත් එක්‌ක ගොඩාක්‌ මානසිකව වැටිල කියල. කොහොම හරි ඊළඟ මැච් එකේදී අපි මුරලිව එළියෙන් තිබ්බා. පස්‌සෙ අතිරේක ක්‍රීඩකයකු විදිහට පන්දු රකින්න ගෙනාවා. ඒ විතරක්‌ නෙමෙයි පිට්‌ටනියෙන් එහාදිත් අපි මුරලිත් එක්‌ක හිටියා. මම කොහේ හරි උත්සවයකට හරි යාළුවෙකුගෙ ගෙදර හරි යනවනම් මම මුරලිව එක්‌කගෙන යනව. අරවින්දත් ඒ දේ කළා. රොෂාන්, හෂාන් සහ ගුරුසිංහත් මුරලිව යන යන තැන එක්‌ක ගියා. එහෙම තමයි මුරලිගෙ මානසිකත්වය හැදුවෙ. ඒ කාලෙ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ පුදුම ලෙන්ගතුකමක්‌ තිබ්බා අනිත් ක්‍රීඩකයන් ගැන. 

සනත් - කළු ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කරන්න අදිමදි වුවද අර්ජුන ගන්නා තීරණයට පිටුපෑමට ඔවුන් දෙපළට නොහැකි විය.

"සනත් ඒ කාලෙ බැට්‌ කළේ නොම්බර හතේ හෝ අටේ. අපේ සංජීව ඇවිල්ල මට හැම තිස්‌සෙම කියනව බලන්න අයියේ සනත්ගෙ බැටින් හොඳට තියෙනවා. ඇයි මෙයාව මෙච්චර පල්ලෙහා ගස්‌සන්නෙ කියල. එයා තමයි මුලින්ම මට මේ ගැන කිව්වෙ. ඊට පස්‌සෙ ඩුබායි සංචාරයකදී අපේ කවුරු හරි අසනීප වුණා. ඒ වෙලාවෙ මම සනත්ගෙන් ඇහැව්වා අංක 3 ස්‌ථානයේ පන්දුවට පහර දෙන්න කැමතිද කියල. සනත්ගෙ කැමැත්තක්‌ තිබුණෙ නැහැ ඒකට. ඒත් ඉතිං මම දෙයක්‌ කිව්වොත් අනිවාර්යෙන් කරන්න ඕන. සනත්ට කෙළින්ම බැහැ කියන්න බැරි පාර මට කිව්ව "මම එතන ගහල නැහැ හැබැයි ඉතිං අයිය කියනවනම් මම ගහන්නම් කියල.", ඒ මැච් එකේදි සනත් 60 ක්‌ ගැහුවා. ඒ වෙලාවෙ මට තේරුණා මෙයා පළමු ඕවර 15 දී හොඳට පාවිච්චි කරන්න පුළුවන් කියල. ඊළඟ දවසෙ මම කතා කරල ඇහුවා ඕපන් කරන්න කැමතිද කියල. ඒත් අදි මදි කළා. මම කිව්වා එදා ඔයා තුන්වැනි පන්දුවාරයේදි බැට්‌ කරන්න ගියේ ඒක පළමු ඕවරයට බැට්‌ කරන්න ගියා වගේ තමයි. ඒක නිසා ඕපන් කරන්න කියල. පස්‌සෙ ටෙස්‌ට්‌ තරගයෙදිත් සනත්ව ඕපන් කෙරෙව්වා. ඒකෙදි එයා සියයක්‌ ගැහුවා. පස්‌සෙ කළුව ඕපන් කරන්න ගත්තෙ 94 කාලේ ඉඳන් එයා පස්‌සෙන් ඇවිල්ල හොඳට බැට්‌ කරන නිසා. මම දුලිප් මෙන්ඩිස්‌ට කතා කරල කිව්ව අපි කළුව පාවිච්චි කරනව මදි මෙයාව ඕපන් කරමුද කියල. ඒකට වට්‌මෝර්ගෙ කැමැත්තක්‌ තිබුණෙ නැහැ. එයා කිව්ව කළු පස්‌සෙන් හොඳට ගහන නිසා අපරාධයක්‌ වෙයි කියල."

"කළුට කතා කරල ඇහුවාම එයා කිව්ව මම ඕපන් කරල නැහැ බැරි වෙලාවත් මම අසාර්ථක වුණොත් මොකද වෙන්නෙ කියල කළු බය වුණා. "මම කළුට කිව්ව ඔයා ෙෆේල් වුණොත් ඒක මම බලාගන්නම් මම තේරීම් කමිටුවත් එක්‌කත් කතා කරන්නම් කියල. ඔයා ෙෆේල් වුණොත් ඔයාගෙ සුපුරුදු තැන දෙන්නම් කියලත් කිව්වා. ඊට පස්‌සෙ දවසෙ එයාට නෙට්‌ එකේ අලුත් බෝලෙට ගහන්න දුන්නා. කළුත් ඕපන් කරපු පළමු මැච් එකේදිම 60 ක්‌ද කොහෙද ගැහුවා.

නව අත්හදා බැලීම් මතින් අර්ජුන නායකත්වයෙන් පරිපූර්ණ භාවයට පත්වෙමින් සිටියේය. දිනෙන් දින 1996 ලෝක කුසලාන තරගාවලිය අතපොවන මායිමට පැමිණියේය. 96 ලෝක කුසලානයට වසර එක හමාරකට පෙර අර්ජුන සිය සංචිතය සැලසුම් කළේය. ඒ පහළොස්‌ දෙනා අතර නොසිටි එකම ක්‍රීඩකයා වූයේ මාවන් අතපත්තුය. නමුත් අසංක ගුරුසිංහට ආබාධයක්‌ ඇතිවුණොත් තට්‌ටු දාමින් කඩුල්ලේ රැදී සිටීමට පිතිකරුවකු අවශ්‍ය විය. එබැවින් මාවන්ට සංචිතයට ඒමට හැකියාව ලැබිණි.

එදා ලෝක කුසලානයට යන විට අර්ජුන රණතුංග ඇතුළු පිරිසට එම ලෝක කුසලාන ජයගැනීම සිහිනයක්‌ විය. නමුත් හොඳින් ක්‍රීඩා කරමින් උපරිම තැන ගැනීම කණ්‌ඩායමේ අරමුණ විය. 

ලෝක කුසලාන තරගාවලියේදී සිදුවූ අපුරූ සිදුවීම්, අර්ජුන සිය සහෝදර ක්‍රීඩකයන්ට නවාතැන් ලබාදුන් අයුරු, 96 අවසන් මහ තරගයට පෙර අර්ජුන ටැක්‌සියක ගිය අයුරු සහ තවත් අපි නොදත් බොහෝ දේ අර්ජුන රණතුංග නැමැති ක්‍රිකට්‌ වීරයාගේ මතකයේ තවමත් ග්‍රහණය වී තිබේ. ඒ මතකයේ තවත් අපූරු සිදුවීම් ලබන සතියේදී දැන ගනිමු.

අසේල විතාන 
http://www.divaina.com/2013/12/01/feature07.html

සබැඳි ලිපි -

අර්ජුන ක්‍රිකට් අතීතය ස්මරණය කරයිhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_25.html
]

0 comments: