Pages

Monday, December 2, 2013

මුරලි ද්‍රෝහියෙක්‌ කරන්නට හදන ටී. එන්. ඒ. එකේ කොටි හඬ

මුරලි චැනල් 4 නිරුත්තර කළ ආකාරය දැන් ලෝකයම දන්නේය. ජාති භේද, දේශපාලන කුහකකම්, අවස්‌ථාවාදී පටු ලාභ නොබලා රටක්‌ ලෙස කල්පනා කරන්නේ නම් මුරලි කීවේ කිවයුතුම කතාවකි. එය කීවේ කිවයුතුම මොහොතකය.

මේ කතාව ජාති ආගම් භේද නොසලකා රටට ආදරය කරන රට ලෝකය ඉදිරිපිට හෑල්ලු වීම අපේක්‍ෂා නොකරන මිනිස්‌සු මහත් අභිනන්දනයට ලක්‌ කළහ. එහෙත් තවත් පිරිසකට මේ මොහොත වන විට මුරලිගේ කතාව මහා වේදනාවක්‌ උපදවා තිබේ. එසේ මුරලිගේ කතාවෙන් මහා කම්පනයට පත්ව ඇත්තේ දෙමළ ජාතික සන්ධානයයි.

මුත්තයියා මුරලිදරන් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරන ලද මේ ප්‍රකාශය ශ්‍රී ලාංකිකයන් අගය කළ නමුත් දෙමළ ජාතික සන්ධානයට දැන් ඔහුගේ ප්‍රකාශය වහ කදුරු වී ඇත. එල්. ටී. ටී. ඊ. ය සිටියේ නම් මේ මුත්තයියා මුරලිදරන්ව මරාගෙන මැරෙන බෝම්බකාරියක්‌ එවා මරාදමන්නට තරම් වෛරයක්‌ දැන් දෙමළ ජාතික සන්ධානය විසින් මුරලි කෙරෙහි ඇති කරගෙන තිබේ. දෙමළ ජාතික සන්දානය දැන් මුත්තයියා මුරලීදරන්ව හංවඩු ගසා ඇත්තේ දෙමළ ජාතිය මුළු ලෝකයටම පාවාදුන් අයෙකු ලෙසිනි.

එදා නීලන් තිරුචෙල්වම් ලක්‍ෂ්මන් කදිරගාමර් වැනි පුද්ගලයන්ට අකාලයේ මරු වැළඳ ගැනීමට සිදුවූයේ දෙමළ ජනතාව හා එල්. ටී. ටී. ඊ. ය විවේචනය කිරීමයි. මරාගෙන මැරෙන බෝම්බකරුවන් හා ස්‌නයිෆර්කරුවන් යොදා ඔවුන්ව ඝාතනය කරනු ලැබුවේ දෙමළ ජාතිද්‍රෝහීන් ලෙස සලකමිනි. මේ ලැයිස්‌තුවේ සිටි ඩග්ලස්‌ දේවානන්දාව ඝාතනය කිරීමට අවස්‌ථා දහතුනකදීම උත්සාහ කළත් කිසියම් පෙර පිනක්‌ පලදීම නිසා ඔහුට ජීවත්වීමේ වාසනාව උදාවිණි.

අද මුත්තයියා මුරලිදරන්ව ඝාතනය කිරීමට මරාගෙන මැරෙන බෝම්බකරුවන් නොමැති නිසා දෙමළ ජාතික සන්ධානය වර්තමානයේදී දේශපාලනය යොදාගෙන තිබේ. මුත්තයියා මුරලිදරන්ට එරෙහිව මුලින්ම නැගී සිටියේ යාපනයේ චාවකච්ෙච්රි නගර සභාවයි. නගර සභාවේ මාසික රැස්‌වීමේදී මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශය මුළුමනින්ම හෙළා දකිමින් යෝජනාවක්‌ සම්මත කොට තිබේ. මුරලිදරන්ට ශ්‍රී ලංකාවේ දෙමළ වැසියන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් එවැනි ප්‍රකාශයක්‌ කිරීමට අයිතියක්‌ නොමැති බව කියා සිටින චාවකච්ෙච්රි නගර සභාවේ බලයට පත්වී සිටින දෙමළ ජාතික සන්ධානයේ පිරිස්‌ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් මුත්තයියා මුරලිදරන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බවද අවධාරණය කොට තිබේ.

චාවකච්ෙච්රි නගර සභාව විසින් සම්මත කර ගනු ලැබූ මෙම යෝජනාව අද එතැනින් නතර වී නොමැත. චාවකච්ෙච්රි ප්‍රාදේශීය සභාවටද දැන් එම උණ පැතිරී තිබේ. ඔවුන්ද ඉහත කී පරිද්දෙන්ම හෙළාදැකීමේ හා සමාව ගත යුතු යෝජනාවක්‌ සම්මත කරගෙන ඇත්තේ ඔවුන්ගේ මාසික සභා වාරයේදීය. මෙය මෙතැනින් නතර වන බවක්‌ පෙනෙන්නට නොමැත. සී. වී. විග්නේශ්වරන්ගේ ප්‍රධාන අමාත්‍ය ධුරයෙන් යුත් උතුරු පළාත් සභාවටද මේ යෝජනාව ගෙන ඒමට දැන් මන්ත්‍රීවරු කීප දෙනෙකු පිඹුරුපත් සකස්‌ කරමින් සිටිති. එය එතැනින්ද නතර වේයෑයි සිතිය නොහැක. සෑම දේකටම උද්ඝෝෂණ උපවාස පවත්වන දෙමළ ජාතික සන්ධානය උතුරේ වැසියන් ලවා මුරලිට එරෙහිව පෙළපාලි යාමටද කටයුතු සුදානම් කරනවාට කිසිදු සැකයක්‌ නොමැත. තත්ත්වය මෙසේ නම් මුරලිගේ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරන්නේ කුමක්‌ද? මේ රටේ සිංහල හා දෙමළ වශයෙන් ජීවත්වන වැසියෝ සදාකාලිකවම වෛරකරුවන් පිරිසක්‌ ලෙස මේ රටේ ජීවත් විය යුතුය යන්න ඔවුන්ගේ තර්කයයි. යුද්ධය යනු සිංහල - දෙමළ කෝලහාලයක්‌ ලෙස අර්ථ දැක්‌වීමට මේ පිරිස උත්සාහ කරනු ලබන්නේ ඉදිරියේදී ඇතිවිය යුතු ජාතීන් දෙක අතර සුහදත්වයට තව තවත් පලුදු ඇති කරමිනි. ඔවුනට අවශ්‍ය වන්නේ ජාතීන් අතර සහයෝගීතාවය හෝ රට සංවර්ධනය කරවීම නොව ඔවුනගේ ඊනියා දේශපාලන මතිමතාන්තර උලුප්පාලමින් සදාකාලිකව දෙමළ ජනතාව ඉදිරියේ කෙරුම්කාරයන් වීමට බව ඉතා පැහැදිලිය.

මුරලිට එරෙහිව මේ යෝජනාවන් මුලින්ම සම්මත වූයේ යාපනයේ චාවකච්ෙච්රියෙනි. විහිළුවට වුවත් අපේ රටේ බොහෝ දෙනෙකු කියා සිටින්නේ ලංකා ආණ්‌ඩුවට අයත් නොවන ආණ්‌ඩුවක්‌ ඇත්තේ "සියඹලාණ්‌ඩුවේ" බවය.

එසේම ලංකාවේ කච්ෙච්රි ක්‍රමයට අයත් නොවන කච්ෙච්රියක්‌ "චාවාකච්ෙච්රියේ" තිබීම නිසා හෝ ඔවුහු මුරලිට එරෙහිව යෝජනා සම්මත කොට ගෙන තිබේ. ඇත්ත ඇති සැටියෙන්ම කිවහොත් අද උතුරු පළාත් සභාවේ පවතින්නේද එවැනිම තත්ත්වයකි. එහි ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළුව දෙමළ ජාතික සන්ධානයේ මුළු නඩයම කටයුතු කරන්නේ උතුරු පළාත් සභාව උතුරට අයත් නොවූ වෙනම පළාතක්‌ වෙනම රාජ්‍යයක්‌ ලෙස සලකාගෙනය.

මුරලිදරන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ සියලු දෙනාම ඉදිරියේදී නැගී සිටිනු ඇත. එහෙත් මුරලි කළ එක්‌ ප්‍රකාශයක සඳහන් වන්නේ කාන්තාවන් තිස්‌ දෙනෙකු පමණ එකතු වී උතුරේ උද්ඝෝෂණය කිරීම තුළින් එය උතුරේ සමස්‌ත හඬ නොවන බවය. එදා මේ කාන්තාවන් උද්ඝෝෂණය කළේ යුද්ධයේදී අතුරුදන් වූ තම ඥතීන් සොයා දෙන ලෙස ඉල්ලමිනි. ඩේවිඩ් කැමරන්ද ඔවුන්ට සවන් දුන්නා පමණක්‌ නොව ශ්‍රී ලංකාවේ සිට ලන්ඩනයට ගොස්‌ එහි පාර්ලිමේන්තුවේදී පාරම් බෑවේය. නමුත් යුද්ධයේදී අතුරුදන්වී ඇතැයි කියන පුද්ගලයන්ගේ සැබෑ තත්ත්වය දැන් කරළියට පැමිණෙමින් පවතී.

මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණන් වරෙක සඳහන් කළේ යුද සමයේදී පුද්ගලයන් එක්‌ලක්‍ෂ තිස්‌ හතර දහසක්‌ අතුරුදන් වී සිටින බවය. එම ප්‍රකාශය සම්බන්ධයෙන් රහස්‌ පොලිසියද උන්වහන්සේගෙන් කටඋත්තර ලබා ගත්තේය. ඊට පසුව මේ රටේ අතුරුදන්වූවන් වෙනුවෙන් පෙනී සිටින දේශීය හා විදේශීය සංවිධාන ප්‍රකාශ කොට සිටියේ යුද්ධයේදී පුද්ගලයන් 65000 කට ආසන්න ප්‍රමාණයක්‌ අතුරුදන් වී ඇති බවය.

ජනාධිපතිවරයා උතුරේ අතුරුදන්වූ පුද්ගලයන් සම්බන්ධයෙන් කරුණු සොයාබැලීම සඳහා විශේෂ කොමිෂන් සභාවක්‌ පත්කළේ මේ අතරතුරය. උතුරේ පිරිස්‌ දින ගණන් කරුණු හා තොරතුරු සොයමින් එම කොමිසමට කරුණු ඉදිරිපත් කිරීමට උත්සාහ දැරීය. එහෙත් අවසානයේදී යුද්ධය ආරම්භ වූ දින පටන් මේ දක්‌වා මුළු උතුරු පළාතෙන්ම පුද්ගලයන් අතුරුදන් වී ඇත්තේ 2001 දෙනෙකු පමණක්‌ බවට තොරතුරු වාර්තා වී තිබේ. ඔවුන්ගෙනුත් විදේශීය රටවල සැඟවී සිටින පිරිස අඩුකළ විට නියත වශයෙන්ම අතුරුදන්වී ඇත්තේ ඉතාම සුළු පිරිසක්‌ බව පැහැදිලිය. මුරලි මේ තත්ත්වය ඉතා හොඳින් අවබෝධ කරගෙන තිබුණි. බෝඩ්ලෑලි උස්‌සාගෙන කාන්තාවන් තිස්‌ දෙනෙකු පමණ කියා සිටින්නේ සමස්‌ත උතුරේම කතාවක්‌ නොවන බව දැන් ඉතාම පැහැදිලිය.

මුරලි ක්‍රිකට්‌ ගැසුවේ රට වෙනුවෙන්ය. ඔහු රට වෙනුවෙන් කතා කළේ මුදල් ලබාගැනීමට නොවේ. රජය සතුටු කිරීමටද නොවේ. එහෙත් එල්. ටී. ටී. ඊ. යේ මහා මුදල් සම්භාරයක්‌ හිමිකරගෙන රාජ්‍ය ආරක්‍ෂාව ලබමින් යෙහෙන් වැජඹෙන කුමරන් පද්මනාදන් හෙවත් කේ. පී. වැන්නවුන් මුළු දෙමළ ජාතියම විනාශ කරමින් රජයෙන් තාන්න මාන්න ලබාගැනීමට විවිධ ප්‍රකාශ කරනු ලබයි. ඔහු උතුරු පළාත් සභා මැතිවරණය ඔන්න මෙන්න කියා තිබියදී කිලිනොච්චියේදී විශේෂ මාධ්‍ය හමුවක්‌ පවත්වා දෙමළ ජාතික සන්ධානයත් එහි මන්ත්‍රීවරුනුත් පට්‌ට ගසමින් කතා කළේය. එහෙත් මුරලිට අද විරුද්ධ වූ දෙමළ ජාතික සන්ධානයේ පිරිස එදා නිහඬව සිටියේ කැන්ද ඇට කෑ රිළවුන් පිරිසක්‌ මෙනි. ඔවුන් එදා කේ. පී. ට එරෙහිව කිසිදු යෝජනාවක්‌ සම්මත නොකළහ. එසේ නම් දෙමළ ජාතික සන්ධානයේ මේ පිරිස්‌ නාඩගම් නටන්නේ කා වෙනුවෙන්දැයි යන්න දිනෙන් දිනම මේ රටේ ජනතාවට ඉතා පැහැදිලි වනු ඇත..

දිනසේන රතුගමගේ
http://www.divaina.com/2013/12/01/feature09.html

0 comments: