Pages

Tuesday, December 3, 2013

ශ්‍රීධරන්ගේ ඊනියා ප්‍රකාශය

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් මහතා විසින් නොබෝදා පාර්ලිමේන්තුවේදී ජනඝාතක, ජනපීඩක ෆැසිස්‌ට්‌වාදී ප්‍රභාකරන් ජාතික වීරයකු හා විමුක්‌තිකාමියකු ලෙස හුවා දැක්‌වීමට දරන ලද දීන ප්‍රයත්නය පිළිකුලෙන් යුතුව හෙළා දකිමින්ම අපි අද මේ තීරුව ආරම්භ කරමු. දැන් ඒ මුග්ධ ක්‍රියාවට දසතින් විරෝධය ද නැගෙමින් තිබේ.

එදා ශ්‍රීධරන් මන්ත්‍රීවරයාට ප්‍රබල ප්‍රතිචාරයක්‌ දැක්‌වූ එස්‌. බී. දිසානායක උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා මෙන්ම විපක්‍ෂයේ අනෙක්‌ මන්ත්‍රීවරුන් පිළිබඳව ද අපි සතුටු වන්නෙමු. දෙමළ සන්ධානයේ දේශපාලනය කුමක්‌ වුවත් එමගින් මේ රට විනාශ කළ අධමයකුට මේ රටේ උත්තරීතර, ගෞරවනීය ආයතනය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ මහ දෙවොල ද වන පාර්ලිමේන්තුව තුළදී එබඳු වීර භූමිකාවක්‌ පිරිනැමීමම එම ආයතනයේ අභිමානයට කරන ලද ඓතිහාසික වරදක්‌ බවද අපි දැඩි සේ අවධාරණය කරන්නෙමු.

ජාතික වීරයන් හා විමුක්‌තිකාමීන් මනින මිණුම් දණ්‌ඩ ප්‍රචණ්‌ඩත්වය හා ම්ලේච්ඡත්වය නම් ප්‍රභාකරන්ට ඒ සඳහා ඕනෑවටත් වඩා සුදුසුකම් තිබේ. පාර්ලිමේන්තුවේම විපක්‍ෂ නායක ධුරය ද හෙබවූ දෙමළ ජාතික නායකයකු වූ අමිර්තලිංගම් මහතා ප්‍රමුඛ දෙමළ දේශපාලන ක්‍රියාධරයන් තිරශ්චීන ලෙස ඝාතනය කළ ප්‍රභාකරන්ගේ ඝාතන ලැයිස්‌තුවේ දිග පළල ශ්‍රීධරන් ගරු මන්ත්‍රීතුමා නොදන්නෙහිද? ලක්‍ෂ්මන් කදීර්ගාමර්, නීලන් තිරුචෙල්වම් වැනි මානව හිතවාදී විද්වතුන් ඝාතනය කරන ලද්දේත් මෙම ලේ පිපාසිත ඊනියා වීරයා බව ඔහු නොදන්නෙහිද? ජනාධිපති ආර්. ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණි දිසානායක, නඩරාජා රවිරාඡ්, මහේෂ්වරන් වැනි දේශපාලනඥයන් මෙන් ඉන්දීය අගමැති රජිව් ගාන්ධි මහතාත් ඝාතනය කළ අධමයකුට විමුක්‌තිකාමීත්වයේ කීර්ති නාමය ප්‍රදානය කිරීම ගැන ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ලැඡ්ජා විය යුතුය.

පන්සල්, පල්ලි, කෝවිල් ඝාතන භූමි බවට පත් කළ ප්‍රභාකරන් මනුෂ්‍යත්වයේ විශිෂ්ට ආයතන ලෙයින් නැහැවූ පිසාචයෙකි. ලෝක බෞද්ධයන්ගේම පූජාවට ලක්‌වූ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ වසන ශුද්ධ වාසයට මෙන්ම බෞද්ධ ජනතාවගේම මුදුන් මල්කඩ බඳු වූ ශ්‍රී දළදා මාලිගාවට ද පහර දුන්නේ මේ ඊනියා වීරයා නොවේද? එපමණක්‌ ද උතුරේ හා නැගෙනහිර මුස්‌ලිම් ජනතාවට ඔවුන්ගේ පල්ලිවලට ද ප්‍රහාර එල්ල කළ ෙද්‍රෝහියකු ගැන එබඳු සඳහනක්‌ කිරීම මනුෂ්‍යත්වයේ උතුම් සාරධර්මවලට අවමානයක්‌ නොවේද?

මෙම ඊනියා වීරයාගේ වීරත්වයේ මහිමය අපි තිස්‌ වසරක්‌ මුළුල්ලේ දිටිමු. කිරි දරුවන්, මව්වරුන්, ගම්වල අන්ත දිළිඳු අහිංසක ජන කොටස්‌ රෑ නිදි පැදුරුවලම පෙති ගසා මරා දැමූ නීචයකු වූ ප්‍රභාකරන්ට වීරත්වය පිරිනැමිය හැකි වන්නේ ද එබඳුම මුග්ධ මනසක්‌ ඇති කෙනකුට පමණි. අරන්තලාවේ භික්‍ෂු ඝාතනය කළ වනචර සාහසිකයා එමගින් ලොවට හෙළි කළ කෲර මානසිකත්වය කෙබඳුද? ගෙවී ගිය තිස්‌ වසරක භීෂණයේ මැවුම්කරු වූ ප්‍රභාකරන්ගේ ආගම ඝාතනය මිස වෙන දෙයක්‌ නොවේ.

ප්‍රභාකරන් හැමවිටම සිය මතය ප්‍රකාශ කළේ ද බෝම්බයෙන්, උණ්‌ඩයෙන් හෝ වෛරයෙන් හා විනාශයෙන් පමණි. ඔහු මුළු රටම ලෙයින් නැහැවූ පව්කාර කාලකන්නියෙකි. ඒ පාපයේ ශාපයට ඔහුට තව කල්ප ගණනක්‌ වන්දි ගෙවීමට සිදුවන බව බොදු ඇසින් දකින අය කියති. කවර ආගමික දෘෂ්ටියකින් බැලුවත් ඔහු කළ අපරාධ, බිහිසුණු ම්ලේච්ඡ හා ගර්හිත ඒවා බව නිසැකය.

මෙබඳු මෘගයකු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කතා කිරීම පවා බරපතළ ක්‍රියාවකි. අදත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ප්‍රභාකරන්ගේ ඊනියා විමුක්‌ති සංවිධානය තහනම් කර තිබේ. ලෝකයට පෙනෙන්නට තහනම් කර යටින් කොටින්ට කත් අදින බටහිරයන් ගැන අපට විශ්වාසයක්‌ නැත. කැමරන් කියන්නේ ද ශ්‍රීධරන් වර්ගයේම අපතයෙකි.

ශ්‍රී ලංකාවේ ප්‍රභාකරන්ගේ සැහැසිකම්වලට උඩින් පැන මෙහේ යුද අපරාධ ගැන තප්පුලන කැමරන්ලාට පලස්‌තීනයේ සිදුවන ඊශ්‍රායල අපරාධ නොපෙනේ. එහෙව් කැමරන්ලාට ශ්‍රීධරන්ලා සමග එක්‌ව කිසිදු අවහිරයකින් තොරව ප්‍රභාකරන් වීරයකු කිරීමට ද බැරි නැත. එහෙත් මේ මාතෘභූමිය තුළ ප්‍රභාකරන් යනු සාපරාධී, සාහසික ම්ලේච්ඡයකු පමණක්‌ බව අපි ශ්‍රීධරන්ටත් ඔහුගේ නඩයටත් මතක්‌ කරමු.

ප්‍රභාකරන් නමැතිs වියරු මිනිසා දුටු සිහිනය තවමත් කර තබාගෙන යන දෙමළ ඩයස්‌පෝරාව ප්‍රමුඛ බටහිර නඩය අදත් දෙමළ ජනතා නියෝජිතයන්ගේ කටහඬ පාවිච්චි කරන බවට අපට සැකයක්‌ නැත. එහෙත් දෙමළ ජනතා නියෝජිතයන් අතර ද හෘදය සාක්‍ෂියක්‌ සහිත, ජාතික සමගිය අපේක්‍ෂා කරන පිරිස්‌ සිටිතියි අපි විශ්වාස කරමු. දෙමළ ජාතික සන්ධානයට අප යෝජනා කරන්නේ ද මෙබඳු ම්ලේච්ඡයකු කර තබාගෙන යැමෙන් තම ජනතාවට සේවයක්‌ කළ නොහැකි බවය.

එදා ප්‍රභාකරන්ගේ තුවක්‌කුවට මරණ වරෙන්තුවට බියෙන් පසු බසින්නට සිදුවූ දෙමළ ජාතික සන්ධානයට අද ප්‍රභාකරන් විසින් සිය මනසට රිංගවන ලද ඊළාම්වාදී විෂබීජවලින් මොළය නරක්‌ කර ගැනීමට වුවමනාවක්‌ ද නැත. දැන් ඔවුන්ට ඉතා පැහැදිලිවම මාවතක්‌ විවෘත වී තිබේ. ඒ මාවත ඔස්‌සේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය භාවිත කිරීමට දෙමළ ජනතාවට ද නිදහසක්‌ තිබේ. එනිසා ඒ ජනතාව යළිත් විනාශය කරා යොමු කළ යුතු නැත.

ප්‍රභාකරන් අහිමි කළ ජීවිත බොහෝය. අදත් උතුරේ ජනතාව තුළ ඒ කඳුළු වියෑකී නැත. තම ළබැඳියන්, නෑ හිතවතුන් වෙනුවෙන් ඔවුන්ට සෝකවීමට, සිහිපත් කිරීම්වලට ඉඩ තිබිය යුතුය. එහෙත් ඒ නෑයන් වෙනුවෙන් දල්වන පහනකින් ප්‍රභාකරන් සිහි කළ හැකිද? සිහි කළ යුතුද? සත්තකින්ම ඒ නෑසියන් උදුරාගත්, ඔවුන් විපතට ඇද දැමූ කුරිරුම මිනිසා වෙනුවෙන් දල්වන පහන වුවද අපරාධයක්‌ නොවේද?

තතු මෙසේ හෙයින් රටක්‌ භීතියෙන්, ත්‍රාසයෙන් මුසපත් කළ භීෂණය ඝාතනය ඔස්‌සේ සිව් දිගින් රුධිර ගංගා ගලා යැමට සැලැස්‌වූ පව්කාර, අධම, නීච, දේශෙද්‍රෝහී, අශිෂ්ට, දුෂ්ට, ජාතිභ්‍රෂ්ට, මෘගයකු, වීරයකු හෝ විමුක්‌තිකාමියකු නොවන බව ශ්‍රීධරන් ගරු මන්ත්‍රීතුමාටත් ඔහු පසුපස සිටින සියලු දෙනාටත් අපි අවධාරණයෙන් සිහිපත් කරමු. එසේම මෙම පාර්ලිමේන්තුවේ සිටින සියලුම ගරු මන්ත්‍රීවරුන්ගෙන් ද ශ්‍රීධරන්ගේ එම ප්‍රකාශය හෙළා දකින ලෙස ද ඉල්ලමු. පාර්ලිමේන්තු වරප්‍රසාද ප්‍රයෝජනයට ගනිමින්, මේ මාතෘ භූමිය වැනසූ මේ වර්ගයේ අධමයන්ට කීර්ති ප්‍රශංසා පිරිනැමීමට අවස්‌ථාව ලබා නොදෙන ලෙස ද අපි ඉල්ලා සිටිමු.

http://www.divaina.com/2013/12/01/editorial.html

Pic from | https://www.google.lk/search?q=sridharan&source=lnms&tbm=isch&sa=X&ei=sk2dUq3qMMWikgX_6YEg&ved=0CAcQ_AUoAQ&biw=1280&bih=898#q=sridharan+mp&tbm=isch&facrc=_&imgdii=_&imgrc=HtmrNmMH3DcL3M%3A%3BSd3XwDjrtdESJM%3Bhttp%253A%252F%252Fwww.globaltamilnews.net%252FPortals%252F0%252FTna%252520Trinco1.JPG%3Bhttp%253A%252F%252Fwww.globaltamilnews.net%252FGTMNEditorial%252Ftabid%252F71%252FarticleType%252FArticleView%252FarticleId%252F58598%252Flanguage%252Fen-US%252FWhile-We-Lament-with-Hunger-President-plays-World-Cup-Cricket-and-Enjoys-Kiribath-Anandasankari.aspx%3B441%3B331

0 comments: