Pages

Friday, December 6, 2013

රට වට බැඳි රන්වැට - 63 වැනි සංවත්සරය

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 63 වැනි සංවත්සරය මෙම මස 09 වැනිදාට යෙදී ඇත. "රට වට බැඳි රන්වැට" යන විරුදාවලිය ලැබූ නාවික හමුදාවේ ඉතිහාසය සැකෙවින් මෙසේය. 

1937 පෙබරවාරි මස 12 වැනි දින ස්‌වෙච්ඡා නාවික සේනාංකය ලෙස ආරම්භ වූ ශ්‍රී ලංකා නාවික හමුදාව 1938 පෙබරවාරි මස 01 වැනි දින නාවික හමුදාවක්‌ ලෙස පිහිටුවීමේ ප්‍රවිෂ්ටයක්‌ ලබා ගන්නා ලදී. 1938 ඔක්‌තෝබර් මස 21 වැනි දින ප්‍රථම වරට ශ්‍රී ලාංකිකයන් 28 දෙනකු බඳවා ගැනීමත් සමගම දේශීයයන්ගෙන් සමන්විත නාවික හමුදාවක්‌ බිහි විය. 1939 වසරේදී නිලධාරීන් 08 දෙනකු සහ නාවිකයන් 50 දෙනකුගෙන් සමන්විත වූ ස්‌වෙච්ඡා උපසේවයක්‌ පිහිටුවන ලද අතර 1941 වර්ෂයේදී එය රාජකීය ලංකා ස්‌වෙච්ඡා නාවික හමුදාව බවට පත් කරන ලදී.

1948 පෙබරවාරි 04 වැනි දින නිදහස ලැබීමෙන් පසුව පෙරට වඩා ශක්‌තිමත් ඉසව්වක්‌ කරා ගමන් කිරීමට නාවික හමුදාවට සිදු විය. 1950 දෙසැම්බර් මස 09 වන දින රාජකීය ලංකා නාවික හමුදාව බිහි වූයේ රාජකීය ලංකා ස්‌වෙච්ඡා නාවික හමුදාව හා රාජකීය ලංකා නාවික ස්‌වෙච්ඡා උපසේවය ඒකාබද්ධ කිරීමෙන් අනතුරුවය. මෙලෙස ආරම්භ වූ ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රමිකව වර්ධනය වෙමින් තාක්‍ෂණික හා වෘත්තීය නිපුණත්වයෙන් පරිපූර්ණ වෙමින් වර්තමානයේදී ලෝකයේ නාවික හමුදාවන් අතර ඉහළ තලයකට පැමිණ ඇත. මෑත ඉතිහාසයේ නාවික යුද අත්දැකීම් ලැබූ ලොව ඇති එකම නාවික හමුදාව ද ශ්‍රී ලංකා නාවික හමුදාවයි.

මානුෂීය මෙහෙයුම් සමයේදී ත්‍රස්‌තවාදීන්ගේ පාවෙන අවි ගබඩාවන් බඳු වූ ඈත දියඹේ යාත්‍රා කළ ත්‍රස්‌තවාදී නෞකා සමූහය තම සීමිත සම්පත් උපයෝගී කොට විනාශ කර විශ්වකීර්තියට පත් ශ්‍රී ලංකා නාවික හමුදාව LTTE අවි ආයුධ සැපයුම් මාර්ග සම්පූර්ණයෙන්ම අඩාලකොට මානුෂීය මෙහෙයුමේ විජයග්‍රහණය සඳහා සෘජුවම දායක විය. කුඩා යාත්‍රා සංකල්පය ලොවට හඳුන්වාදෙමින් මුහුදු ත්‍රස්‌තවාදීන් විමතියට පත් කරමින් ලබාගත් ජයග්‍රහණ නිසා ලෝකයේ බොහෝදෙනාගේ අවධානය දිනා ගැනීමටද ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් විය. රට ජාතිය බේරා ගැනීමේ උදාරතර කර්තව්‍යයේදී අභීත නාවික විරුවන් 734 දෙනකු සිය ජීවිත මව්බිම වෙනුවෙන් පරිත්‍යාග කර ඇති අතර, 368 දෙනෙක්‌ සටනේදී තුවාල ලබා ආබාධිත තත්ත්වයට පත්ව ඇත.

උදා කරගත් සාමයේ ප්‍රතිලාභ මහජනතාවට භුක්‌තිවිඳීමේ අවකාශ සලසාදෙමින් අද ශ්‍රී ලංකා නාවික හමුදාව වර්තමාන නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතාගේ පූර්ණ මගපෙන්වීම යටතේ ස්‌වකීය විශේෂඥ දැනුම, සම්පත් සහ ශ්‍රමය ජාතිය ගොඩනැගීමේ මහා කර්තව්‍යයට සෘජුවම ලබාදෙමින් සිටියි. එමෙන්ම විවිධ ප්‍රජා සත්කාරක සේවාවන් ආරම්භ කිරීමටත් නාවික හමුදාව ක්‍රියාකරමින් සිටින අතර, එසේ සිදු කළා වූ සංවර්ධන ව්‍යාපෘතීන් අතර, සංචාරක කර්මාන්තය නගාසිටුවීම වෙනුවෙන් නාවික හමුදාව විසින් සංචාරක නිකේතන, අවන්හල් සහ සංචාරක බෝට්‌ටු සේවා වැනි ව්‍යාපෘතීන් රාශියක්‌ද ආරම්භ කර ඇත.

අවංකත්වයෙන්, විනයෙන්, නීතිගරුක බවින් හා වෘත්තීය නිපුණත්වයෙන් පරිපූර්ණව පළමුව - දෙවනුව හා තෙවනුවත් "මගේ රට" යන උදාර සංකල්පය මත "රට වට බැඳි රන් වැට" ලෙස එදා මෙන් අදත් අද මෙන් හෙටත් ශ්‍රී ලංකා නාවික හමුදාව මව්බිම රැක ගැනීමට කැපවී සිටී.

මේ අතර මෙරට සංචාරයක නියුතු මහජන චීන සමූහාණ්‌ඩුවේ යුද හමුදා නියෝජිත පිරිස පසුගිය 21 දින ශ්‍රී ලංකා අරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී ජෙනරාල් ජගත් ජයසූරිය මහතා මුණගැසිණි.

මහජන චීන සමූහාණ්‌ඩුවේ නියෝජ්‍ය මාණ්‌ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් වෑන්ග් ගුවාන්ස්‌හෝaං මහතාගේ ප්‍රධානත්වයෙන් සපැමිණි මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ සිටින මහජන චීන සමූහාණ්‌ඩුවේ තානාපති වූ ජියෑංහෝ මහතා විසින් ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී වෙත හඳුන්වා දෙන ලදී.

ජෙනරාල් ජයසූරිය මහතා හා මෙම නියෝජිත පිරිස අතර සිදුවූ සාකච්ඡාවේදී ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන් සමග මනා සහයෝගයකින් යුතුව විවිධ අංශයන්ගෙන් එක්‌ව වැඩ කටයුතු කළ හැකිබව පෙන්වා දුන් වෑන්ග් ගුවාන්ස්‌හෝං මහතා යුද්ධය පැවැති කාලය තුළදී හා යුද්ධයෙන් අනතුරුව සාමය ස්‌ථාපිත වීමෙන් පසුවද චීනය විසින් නිරතුරුවම ශ්‍රී ලංකාවට සිය උදව් උපකාර ලබා දුන් බවද ඉදිරියටත් එය එසේම සිදු කරන බවත් මෙහිදි ප්‍රකාශ කර සිටියේය.

චීනයේ ඇති යුද හමුදා පුහුණු මධ්‍යස්‌ථාන 63 න් 23 කම ශ්‍රී ලංකාව ඇතුළු සෙසු රටවල හමුදා සාමාජිකයන්ට පුහුණුව ලබාදෙන බව පැවසූ ගුවාන්ස්‌හෝං මහතා ඉදිරියේදී චීන ආරක්‍ෂක අධිකාරියේ උපදෙස්‌ මත ඒ සඳහා බඳවා ගනු ලබන ශ්‍රී ලාංකික සාමාජිකයන්ගේ සංඛ්‍යාව තවදුරටත් වැඩි කිරීම සඳහා පියවර ගනු ලබන බව ද මෙහිදී සඳහන් කර සිටියේය. එසේම ත්‍රස්‌තවාදී කටයුතු මැඬලීම සඳහා ශ්‍රී ලාංකික හමුදාව විසින් දක්‌වන ලද උසස්‌ වෘත්තීය නිපුණතාව හා දක්‍ෂතාව මෙහිදී චීන නියෝජිත පිරිසේ ඇගයීමට ලක්‌ විය.

මෙහිදී අදහස්‌ දැක්‌වූ ජෙනරාල් ජගත් ජයසූරිය මහජන චීන සමූහාණ්‌ඩුව විසින් ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන් කෙරේ දක්‌වන උනන්දුව හා ඇගයීම පිළිබඳව මෙහිදී සිය ස්‌තුතිය පුද කර සිටි අතර කලාපයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් අප හමුදාව ඉදිරියේදීත් කැපවී සිය සේවාවන් ලබාදෙන බව ද මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

මේ අතර මෙම සතියේ සිදුවූ තවත් වැදගත් සිදුවීමක්‌ ලෙස නැගෙනහිර සහ වන්නි මානුෂීය මෙහෙයුම්වලදී වීර වික්‍රමයන් පෑ යුද හමුදා කමාන්ඩෝ රණවිරුවන් හට වීර ක්‍රියා පදක්‌කම් පිරිනැමීමද සැලකිය හැක.

මානුෂීය මෙහෙයුමේදී මව්බිම වෙනුවෙන් දිවි පිදූ කමාන්ඩෝ රණවිරුවන්ට ද රණශූර පදක්‌කම් පිරිනැමූ අතර, මියගිය රණවිරුවන්ගේ ඥතීන් විසින් ඒවා ලබාගත් අවස්‌ථාව ඉතා හැඟුම්බර සංවේදී දසුනක්‌ විය.

සිරිමෙවන් කස්‌තුරිආරච්චි
http://www.divaina.com/2013/12/06/feature.html

Pic from | https://www.google.lk/search?q=sri+lanka+navy&espv=210&es_sm=93&source=lnms&tbm=isch&sa=X&ei=ZXihUqLNF8iKrQeQsoHwCQ&ved=0CAcQ_AUoAQ&biw=1280&bih=898#facrc=_&imgdii=_&imgrc=76E8lTzgQXuvrM%3A%3BtYMXY_9naOE0ZM%3Bhttp%253A%252F%252Fwww.lankajournal.com%252Fwp-content%252Fuploads%252F2011%252F02%252Fslnavy1.jpg%3Bhttp%253A%252F%252Fwww.lankajournal.com%252F2011%252F02%252Fsri-lanka-navy-denies-alleged-assistance-to-somalian-pirates%252F%3B512%3B305

0 comments: