Pages

Friday, December 6, 2013

ලක්‍ෂ්මන් හුළුගල්ලගේ වාසි පැත්තට හෝයියා

ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්‌ථානය හිටි හැටියේම අහෝසි කර දැමීමට රජය ගත් පියවර එක්‌තරා අන්දමක ආන්දොලනාත්මක සිදුවීමක්‌ ලෙස සැලකිය හැක.

නැගෙනහිර සහ වන්නි මානුෂීය මෙහෙයුම් පැවැති සමයේ ජනමාධ්‍ය වෙත තොරතුරු ලබාදීම සහ එල්.ටී. ටී.ඊ. ය විසින් ගෙන ගිය හමුදා විරෝධී අසත්‍ය ප්‍රචාරයන් නිවැරැදි කර නිසි පිළිතුරු සැපයීම වැනි සේවයක්‌ සැලසූ එම මාධ්‍ය මධ්‍යස්‌ථානය යුද්ධය අවසන් වූ පසුවද වසර 4 1/2 ක්‌ වැනි කාලයක්‌ තවදුරටත් ක්‍රියාත්මකව තිබියදී ඉකුත් 01 වැනිදා මෙම හදිසි අහෝසි කිරීම සිදුවිය.

ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්‌ථානය ආරම්භයේ සිට එහි අධ්‍යක්‍ෂ ජනරාල් වශයෙන් කටයුතු කළ ලක්‍ෂ්මන් හුළුගල්ල මහතාගේ එම තනතුර ද ඒ අනුව අහෝසි විය.

ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්‌ථානය හෙවත් MCNS නමින් හැඳින්වූ එම මධ්‍යස්‌ථානයෙන් එකල ප්‍රධාන වශයෙන් සිදුවූයේ මාධ්‍ය සාකච්ඡා සඳහා මාධ්‍යවේදීන් එම ස්‌ථානයට ගෙන්වා ගැනීමය.

ඒ සඳහා ඔවුන් භාවිතා කළ ක්‍රමවේදය වූයේ අසවල් දින අසවල් වේලාවට අසවලාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ පැවැත්වේ. කරුණාකර එයට ඔබ ආයතනයේ මාධ්‍යවේදියකු සහභාගි කරවන්න යනුවෙන් එවන ෆැක්‌ස්‌ පණිවිඩයයි.

ඒ අනුව එකල ලක්‍ෂ්මන් හුළුගල්ල මහතා පිරිවරා ගත් හමුදා ප්‍රධානීන් ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ පවත්වා වත්මන් ආරක්‍ෂක තත්ත්වය මාධ්‍යවේදීන්ට පැහැදිලි කිරීම සිදු කළේය. 

එහිදී ලක්‍ෂ්මන් හුළුගල්ල මහතාට හිමිවූයේ අද්විතීය ස්‌ථානයකි. සියල්ල සිදුවූයේ ඔහුගේ ප්‍රමුඛත්වයෙනි.

එසමයෙහි සැවොම ඔහුගේ යටත්වැසියෝ වූහ. පසුකලෙක ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය බවට ව්‍යාප්ත වූ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට පසුව සිටි සුපිරි බලවතා ලෙස පෙනී සිටි ඔහුගේ අණසකට මාධ්‍යවේදීන් පමණක්‌ නොව ආරක්‍ෂක හමුදා ප්‍රධානීහු පවා යටත් වූහ. එය සත්‍යයකි.

ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ සිදුවන සියලු මාධ්‍ය කටයුතු සිදු වූයේ හුළුගල්ලේ මහතාගේ උපදෙස්‌ සහ මෙහෙයවීම මතය. ඒ නිසා ආරක්‍ෂක අංශ පමණක්‌ නොව රජයට කඩේ යන මාධ්‍යවේදීහු පවා ඔහුට බිය වූහ. 

ඒ නිසාම හුළුගල්ල මහතා යනු එක්‌සත් ජාතික පාක්‍ෂිකයකුව සිට පසුව චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියට සමීප වී සුප්‍රකට ව්‍යාපාර ගනුදෙනුවලට චෝදනා එල්ල වූ වාසි පැත්තට හෝයියා කියන චරිතයක්‌ බව සියල්ලන් විසින්ම අමතක කරන ලදී.

කෙසේ වෙතත් ඔහුගේ ව්‍යාපාරික හා අවස්‌ථාවාදී දේශපාලන පිළිවෙත අනුව වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සමීපව එමගින් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේද හිත දිනාගනිමින් වත්මන් රජයේ අති ප්‍රබලයකු බවට පත්විය. 

වාසි පැත්තට හෝයියා කියන දෙබිඩි චරිතවලට රෙද්ද අස්‌සේ හොවාගෙන "කනවෝ කනවෝ" යෑයි කියන්නට ඉඩ නොතබා ආරක්‍ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ යුද. නාවික, ගුවන්, පොලිස්‌, සිවිල්, ආරක්‍ෂක, ජාතික ශිෂ්‍ය භට, වෙරළාරක්‍ෂක බළකායන් ඇතුළු සමස්‌ත ආරක්‍ෂක හමුදා ආයතනයන්හි ප්‍රධානීන් කුඩු කෑවුන්ගේ තත්ත්වයට පත් වීමට පෙර මෙසේ සත්‍ය තත්ත්වය හෙළිදරව් වීම ජාතියේම වාසනාවකි.

එසේ හෙළිදරව් නොවිනි නම් මෙම සියලු චෝදනා සහ අපවාද බැර වනුයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන්ගේ ගිණුමට බව නිසැකය.

සිරිමෙවන් කස්‌තුරිආරච්චි
http://www.divaina.com/2013/12/06/feature.html

Pic from | https://www.google.lk/search?q=laxman+hulugalle&espv=210&es_sm=93&source=lnms&tbm=isch&sa=X&ei=rW6hUrP0LdHHrQfZ7IHICA&ved=0CAcQ_AUoAQ&biw=1280&bih=898#facrc=_&imgdii=_&imgrc=1Oz_0FBozP22qM%3A%3B2B3Ay-vywpIwtM%3Bhttp%253A%252F%252Fwww.lankatruth.com%252Fhome%252Fimages%252Fdaily%252F2013%252FNovember%252F2%252Fhulugalle-lankatruth_thumb307_.jpg%3Bhttp%253A%252F%252Fwww.lankatruth.com%252Fhome%252Findex.php%253Foption%253Dcom_content%2526limitstart%253D230%3B307%3B205

සබැඳි ලිපි -
[

සුපිරි රජකාරී අවශ්‍යතා, සූදු පිටිය, අනියම් පෙම නිසා නිදිවදින නීතිය සහ හුලාගේ කතාවhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_8585.htmlආශ්චර්යයක මහත! අපරාධය වැටලූ 23ම අකාර්යක්ෂමයි. ඇස් කන් පියා සිටි අය දක්ෂයි, කාර්යක්ෂමයි, විශිෂ්ඨයි! | 'සූදු පළ වැටලූ පොලිසියේ 23 දෙනා මාරු කළේ රාජකාරිය අකාර්යක්‍ෂම නිසා' - අගමැතිhttp://denethharinna.blogspot.com/2013/11/23-23.htmlසුපිරි බූරු පිටිය සමඟ පැන නැඟි සුපිරි රජකාරී අවශ්‍යතාhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_1958.htmlඅපරාධ මර්ධනයට උපහාර! සුපිරි බූරුපිටිය වැටලූ පොලිසියේ 23ට සුපිරි මාරුවක්‌http://denethharinna.blogspot.com/2013/11/23.html
]

0 comments: