Pages

Tuesday, December 3, 2013

ගම් වැදී අලින්ට අත්වී ඇති ඉරණමට වඩා ඛේදවාචකයක්‌ ගෝනුන්ට අත්නොවීමට

පසුගිය දිනක අප හෝර්ටන් තැන්නට ගියේ නෙලූමල් දැකබලා ගන්නටය. ඒ වනවිටත් දෙස්‌ විදෙස්‌ සංචාරකයන් දහස්‌ ගණනක්‌ හෝර්ටන් තැන්නට ළඟා වී සිටි අතර ඔවුන් පැමිණි වාහන නවතා තැබීමට නොහැකි තරමට රථගාල පිරීගොස්‌ තිබුණි. බේකර්ස්‌ ඇල්ල හා ලෝකාන්තය පිවිසුම් දොරටුව අසලට ගොස්‌ සුළු මොහොතක්‌ එහි රැඳී සිටි අපට දැකගත හැකි වූයේ වන නිලධාරීන්ගේ ඉස්‌පාසුවක්‌ නැති රාජකාරි ක්‍රියාවලිය හා බුරුතු පිටින් ඇදී ආ දෙස්‌ විදෙස්‌ සංචාරකයන් මනාව හැසිරවීමට ඔවුන් දැරූ අප්‍රමාණ උත්සාහයයි. දුම්වැටි, ගිනි පෙට්‌ටි, ගිනි දල්වන උපකරණ, ඉටි කොළ, පොලිතින්, ප්ලාස්‌ටික්‌ ආදී පරිසර විනාශකාරී ද්‍රව්‍යයන් සියල්ල නිසි පරීක්‍ෂාවකට ලක්‌කර ඒවා එම පිවිසුම් දොරටුව අසල රඳවා ගන්නට වන නිලධාරීහු දැඩි ප්‍රයත්නයක නිරත වූහ. පරිසර හානිකර කිසිදු ද්‍රව්‍යයක්‌ හෝර්ටන් තැන්නට ගෙන යැමට මෙහිදී කිසිදු ඉඩක්‌ නොලැබිණි. පරිසරය රැක ගන්නට මෙම නිලධාරීන් දරන උත්සාහයට පරිසරයේම ජීවී අංශුවක්‌ වන මිනිස්‌ සත්වයා මීට වඩා සහායක්‌ දැක්‌විය යුතු බව මෙහිදී අපට හැගුණි. ඒ සඳහා මිනිසුන්ගේ පරිසරය පිළිබඳ ආකල්ප හා හැඟීම් වෙනස්‌ විය යුතුමය. පරිසරයට හානි නොකිරීම පුරුද්දක්‌ ලෙස කුඩා අවධියේ පටන් ප්‍රගුණ කළ යුතුය.

කැලේ තෘණ වර්ග බුදිමින් තම වර්ගයා රැකගෙන ආ හෝර්ටන්තැන්නේ ගෝනුන්ට අද අත්වී ඇති ඉරණම දැකීමෙන් අප සිත් කම්පාවට පත්විය. වාහනවල හා එළිමහනේ තැන තැන සිට බත් සමග වෙනත් ආහාර ගනිමින් සිටි දේශීය සංචාරකයන් තමා ගන්නා ආහාරවලින් කොටසක්‌ ගෝනුන්ටද දෙන්නට විය. ගෝනුන්ද තණකොළ, තෘණ වර්ග අතහැර බත්, ඉඳිආප්ප, පිට්‌ටු ආදිය රස කර කන අයුරු අපි දුටිමු. ගෝනුන් ළඟට ගෙන්වා ගැනීම සඳහා මෙසේ ආහාර ලබා දුන්නත්, එහි අනිසි ප්‍රතිවිපාක පිළිබඳ මිනිසුන්ට කිසිදු දැනීමක්‌ නැති බව මෙයින් පැහැදිලි විය.

ගමේ කොස්‌, දෙල්, පළා වර්ග ආහාරයට ගත් අපේ රටේ ගැමි ජනයා, දුක්‌ මහන්සියෙන් වගා කළ කුඹුරෙන් ගත් සහලින් බත සරිකර ගත් ස්‌වාධීන, සාඩම්බර ජාතියක්‌ ලෙසින් නිවහල් ජීවිත ගත කළහ. ඒ සඳහා ඔවුන්ට අහස උසට මුදල් උපයන්නට ද වුවමනා වූයේ නැත. එහෙව් ගැමි පවුල විසිරුවමින්, ගොවියන්ව සහ ඔවුන්ගේ අඹුවන්ව නගරයේ රැකියාවලට යොමු කරමින් මහන්සි නොවී, මාසෙට නිශ්චිත මුදලක්‌ වැටුපක්‌ ලෙස ගෙවමින් බහුජාතික සමාගම්වල වහලුන් බවට පත්වන්නට ගොවියන්ටත්, අඹුවන්ටත් සිදු වූයේ නොදැනීමය. ක්‍රම ක්‍රමයෙන් කුඹුරු වැසී ගිය අතර උයාගෙන කෑ දර ළිප වෙනුවට ක්‍ෂණික ළිප් සමග ලෙඩ රෝග කන්දරාවක්‌ ද හිමිවිය. ගෙදර යන ගමන් අරගෙන යන්නට ඕනෑ තරම් ක්‍ෂණික ආහාර වර්ග අද ඇත. ඒවාට බොහෝ දෙනකු හුරුවී සිටී. මෙයින් අපගේ සාමාන්‍ය ජන ජීවිතය සුණුවිසුණු වී ගියා පමණක්‌ නොව හිතේ තිබුණු සතුට, සැහැල්ලුව මෙන්ම ගතේ තිබූ නිරෝගී බවද විනාශ විය. වන සතුන්ටද සිදු වූයේ මේ දෙයමය. කැලේ කොළ අතු කෑ අලින්ට බත් දුන්නේ මිනිසුන්ය. දැන් අලින් ගම් වැදී මුළුතැන් ගෙයක්‌ ගෙයක්‌ පාසා බත්, ලුණු, එළවළු, පලතුරු සොයමින් යති. එහිදී උන්ට ඉදිරියට හමුවන්නේ බිත්තියක්‌ නම් එය විනාශ කර දමති. හමුවන්නේ මිනිසෙක්‌ නම් එයද උන්ගේ ගමනට බාධාවක්‌ වන බැවින් විනාශ කර දමනු ඇත. අලින්ට කැලේ ඉන්න නොදුන්නේ මිනිසුන්මය. අද අලි මිනිසුන් ළඟට පැමිණ සිටිති. දැන් එලවා ගන්නට නොහැකි තරම් විශාල අර්බුදයක්‌ බවට අලි ගම්වැදීම දැක්‌විය හැකිය.

යම් මතු දිනක (වැඩි කල් යන්නට මත්තෙන්) හෝර්ටන් තැන්නේ ගෝනුන් ද ගම් වැදී බත්, ඉඳිආප්ප, පිට්‌ටු ඉල්ලා මුළුතැන් ගෙවල්වලට ගෝන අං තට්‌ටුවලින් අනිනු ඇත. අලින්ට අත්වී ඇති ඉරණමට වඩා වැඩි බිහිසුණු ඛේදවාචකයක්‌ ළඟදීම ගෝනුන්ට අත්වනු ඇත. එබැවින් මෙය නවතා දැමීමට බලධාරීන්ගේ ඇස්‌ ඇරිය යුතුවේ.

http://www.divaina.com/2013/12/03/feature04.html

0 comments: