Pages

Wednesday, December 4, 2013

'රට විරුවෝ!' - වහල් මව් මාකට් කිරීම

සුද්දාගේ කාලයේ ඔවුන්ගේ සපත්තු පිස දැමූ වකවානුවක්‌ ගැන තවමත් මහා හඬින් දෙසාබාන අපගේ බොහෝ බංකොලොත් දේශපාලන නායකයන්හට මැද පෙරදිග ගොස්‌ දස වඳ විඳිමින් ඔවුන්ගේ දුප්පත් දරුමල්ලන්ගේ අනාගතය වෙනුවෙන් දිවි පරදුවට තබා දාස මෙහෙවරෙහි යෙදීම රටට විදෙස්‌ මුදල් සොයා දෙන මහා සම්පතක්‌ ලෙස පෙනීම සමස්‌ත කාන්තා සංහතියටම කරනු ලබන නින්දාවක්‌ ලෙස කාන්තා විමුක්‌තිය ගැන සමුළු පවත්වන හා කතා කරන නෝනලාටද නොපෙනීම අතිශයින්ම ඛේදජනකය. අමාත්‍යාංශ ඇතිකොට විදේශ සේවා කාර්යාංශ හරහා රාජකාරි මට්‌ටමින් සිදු කරනු ලැබුවත් මෙම කාර්යය තමාගේ බිරිඳ නැතහොත් දියණිය පිට දේශක්‌කාරයන්ගේ ගෙවල්වල මෙහෙකාරකමට යෑවීමයි මෙහි යථාර්තය. ලොව ප්‍රථම රාජ්‍ය නායිකාව බිහි කළ තවත් කාන්තාවක්‌ වසර 12 ක්‌ රජ කළ රටක කාන්තාවන්ට මෙවැනි ඉරණමක්‌ අත්වීම ගැන නිදහසින් පසු රට කළ සෑම රජයක්‌ම මෙන්ම ආගමික නායකයන් හා කිසිදු පලදාවක්‌ නැති වසර සිය ගණන් පැරණි අධ්‍යාපනයක්‌ කර තබා ගෙන ඉබාගාතේ යන සරසවි ඇදුරු මහැදුරන් යන සෑම දෙනෙකුම වගකිව යුතුය. මෙම කාන්තාවන් විඳින දුක්‌ ගැහැට හා ශාරීරික හා මානසික පීඩාවන් කොපමණ දැයි කිසිවකුට රහසක්‌ ද නොවේ. එසේ විදෙස්‌ ගතවන මව්වරුන්ගේ මල් වැනි දියණියන් ඔවුන්ගේම පියවරුන් බාප්පලා මහප්පලාගෙන් විනාශවී පවුල් පදනම් බිඳ වැටෙන තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වීමද රහසක්‌ නොවේ. සුද්දාගේ කාලයේවත් අප කාන්තාවන් මෙතරම් දුක්‌ ගැහැට විඳි බවක්‌ තිබුනා දැයි කියන්නට තරම් ඉතිහාසය පිළිබඳ ගැඹුරු දැනුමක්‌ නැතත් 21 ශත වර්ෂයේ දී මෙසේ සිදු වීම අප රටේ ගරා වැටී ඇති අධ්‍යාපනය හා කාන්තා අයිතීන් හා සුරක්‌ෂිත භාවය ගැන ලොවටම විදහා පෙන්වීමකි. අසල්වාසී ඉන්දියාව වසරකට ලක්‌ෂ ගණනින් ඉංජිනේරුවන් හා තාකෂණ විද්‍යාඥයන් ලොව දස දෙසට යවද්දී අප රටේ දේශපාලකයන්ට කඩේ යන අර්ථ ශාස්‌ත්‍රඥයන් හා සරසවි ඇඳුරන් හා අදාළ පරිපාලකයන් හා මැති ඇමතිවරුන්ට මෙම කාන්තා විදෙස්‌ රැකියා තත්ත්වය පෙනෙන්නේ රටේ හා ජාතියේ සංවර්ධනයට විදෙස්‌ මුදල් සපයන්නා වූ මහඟු සේවයක්‌ හා සම්පතක්‌ ලෙසටය. එම කාන්තාවන්ගෙන් සැලකිය යුතු ගණනක්‌ ආපසු රටට පැමිණෙන්නේ සදාකල් රෝගාතුරයන් ලෙසට මෙන්ම මළ මිනී ද ලෙසටය. මේ අප රටේ නිදහස්‌ අධ්‍යාපනයේ ප්‍රතිඵලද? නැතහොත් ඔය දේශපාලකයන් උදේ හවස නිතර දොඩන ආශ්චර්යයේ ස්‌වභාවයද? දැනට මේ මැද පෙරදිග දාස මෙහෙවරින් ලබන ආදායම රටට විදෙස්‌ විනිමය ලබා දෙන ප්‍රධාන මාර්ගය බව සමහරු මහත් අභිමානයෙන් කථා කරති. මෙම පවතින ගරා වැටුනු අධ්‍යාපනය තවත් වසර දහයක්‌ පමණ පැවතුනහොත් (එසේ පවතිනු නිසැකය) වැඩි කලක්‌ ගතවීමට පෙර එය රටේ විදෙස්‌ විනිමය උපයන එකම අංශය වීමට බොහෝ ඉඩ කඩ ඇත. එදිනට අපට ආශ්චර්යයේ සුවය හා සුවඳ ලබා දෙනු ඇත. මන්ද උපාධිධාරිනියන්ටත් ලඟදීම ඔය ගොඩට එකතුවීමට සිදුවන නිසයි. දවසේ රූපවාහිනී නාලිකාවල පෙන්වන හා පුවත්පත්වල පළවන දැන්වීම්වලින් වැඩිම ගණනක්‌ ඇත්තේ විදේශ රැකියා සපයන ආයතන පිළිබදවය. විශේෂයෙන්ම ටෙලි නාට්‍යය විකාශනය වන අතර තුර මේවා බහුලය. 

ඉන්දියාවේ කේරලය වැනි ජනාධික ප්‍රාන්තවලින් සුළු සංඛ්‍යාවක්‌ හා ඉන්දුනීසියාවේ දුප්පත් ග්‍රාමීය ප්‍රදේශවලින් ද අධික කාන්තාවන් සංඛ්‍යාවක්‌ මැද පෙරදිග මෙහෙකාර සේවයට ගොස්‌ ඇත. ඉන්දුනීසියානු කාන්තාවන්ට ඉහළ වැටුප් ගෙවන්නේ ඔවුන් මුස්‌ලිම් කාන්තාවන් නිසා වන අතර ඒ නිසාම ඔවුන්ට මුහුණදීමට සිදුවන ගැහැටද ඉතා අඩුය. අනිත් අතින් ඉන්දියාව එම තත්ත්වය නැති කිරීමට දිගු කාලීන වශයෙන් ඉතා ශක්‌තිමත් ආර්ථික සංවර්ධනයකට දැනටමත් අවතීර්ණ වී ඇත. වර්ෂ 2025 පමණ වන විට ඉන්දියාව ලොව අධ්‍යාපන හා තාක්‌ෂණික අතින් කේන්ද්‍රස්‌ථානය කිරීමට දැනටමත් අවතීර්ණ වී ඇති අතර එරටේ කාන්තාවන් වැඩි දෙනෙකුට විශාල ගැටලුවක්‌ව පවතින දෑවැදි ප්‍රශ්නය විසඳීමේ ක්‍රියාමාර්ගයක්‌ හැටියට උසස්‌ අධ්‍යාපනය නැතහොත් උපාධිය ස්‌ත්‍රීන්ගේ දෑවැද්ද බවට පත් කිරීමට එහි උසස්‌ අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ කටයුතු දැනටමත් සලසා ඇත. එමෙන්ම ඉන්දියාව බංග්ලා දේශය හා පාකිස්‌තානයේ මුස්‌ලිම් ආගමික නායකයන් සංස්‌කෘතික හේතු සලකා ඒ රටවල කාන්තාවන් මැදපෙරදිග ගෘහ සේවයට යැමේ අවස්‌ථාවන් නැති කරමින් හා සීමා කරමින් ඇත. නමුත් පෙරදිග ශ්‍රේෂ්ඨ මුතු ඇටයේ කාන්තාවන් රටට විදෙස්‌ විනිමය හොයන්නට වහල් මෙහෙයට යාමට අනුබල දීමෙන් අප සංස්‌කෘතියට අමු අමුවේ සිදුවන්නා වූ මෙම හානිය ගැන නම් අප ජාතිය ගොඩගන්නට, මස්‌ කඩ වසන්නට, කැසිනෝ නවත්වන්නට, උදේ හවස මාධ්‍ය ඔස්‌සේ බෙරිහන් දෙන ආගමික නායකයින්ට නොපෙනීම ජාතියේ අභාග්‍යයකි. 

මැද පෙරදිග මෙහෙකාර සේවයට යන කාන්තාවන් මුහුණ දෙන අන්තරාදායක තත්ත්වයන් පිළිබඳව විවිධ වාර්තා පුවත් පත් ලිපි ශාස්‌ත්‍රීය ලිපි හා ග්‍රන්ථ විශාල සංඛ්‍යාවක සඳහන් වන අන්දමට අඩුම වැටුපක්‌ මෙන්ම වැඩිම අවදානම් තත්ත්වයක්‌ ඇත්තේ ශ්‍රී ලාංකික කාන්තාවන්ටය. නීතිමය රැකවරණද (සේවය කරන රටවලින් හා ශ්‍රී ලංකාවෙන්) අඩුවෙන්ම ඇත්තේද මොවුන්ටය. International Migration, Integration and Social Cohesion in Europe (IMISCOE) නමැති යුරෝපා සංවිධානයක පර්යේෂණ අංශයක්‌ මඟින් පළකොට ඇති Nayla Monkarbel නමැති අයකු විසින් පී. එච්. ඩී. උපාධියක්‌ සඳහා රචිත Sri Lankan Housemaids in Lebanon, A Case of Symbolic Violence and Everyday Forms of Resistance පර්යේෂණ ග්‍රන්ථය (පිටු 250) මඟින් ලෙබනනයේ මෙහෙකාරකම්හි නිරත ලාංකික කාන්තාවන්ට අත්ව ඇති වද හිංසාකාරී තත්ත්වයන් මෙන්ම ඔවුන්ගේ පවුල් තොරතුරු දුප්පත්කම පවුල් ආරවුල් මෙන්ම එරටේ සිටින ශ්‍රී ලංකා විදෙස්‌ සේවා නියෝජිතයන් හා කළ නීරස සාකච්ඡාවන් හා දුක්‌ ගැහැටවලට ලක්‌ වූ කාන්තාවන් හා කළ සාකච්ජාවන් සවිස්‌තරාත්මකව ඉදිරිපත් කොට ඇත. ඒවා කියවන විට මා හට නම් ඇති වන්නේ අප රට ගැන මහත් කලකිරීමකි. එම කෘතිය ශාස්‌ත්‍රීය පදනමක්‌ ඇති පී. එච්. ඩී. උපාධියකට සුදුසු මට්‌ටමක නැත. අප රටට එරෙහිව ලියූ එකක්‌ යෑයි බෙහෙවින් සිතිය හැකිය. එහෙත් එහි සඳහන් කරුණු බොහොමයක්‌ සාවද්‍ය යෑයි ඉවත දැමියද නොහැක. සමහර කරුණු ලබා ගෙන ඇත්තේ එරට ශ්‍රී ලංකා විදේශ සේවයේ නිරත උසස්‌ නිලධාරීන්ගෙනි. එම කෘතියේ කිසිදු කොටසක්‌ උපුටා දැක්‌වීම හෝ වෙනත් අයුරකින් පළකිරීම කතුවරයාගේ අවසරයකින් තොරව කළ නොහැකි බැවින් මෙහි උපුටා නොදක්‌වන නමුත් එහි ISBN අංකය 978 90 8964 0512 හා e-ISBN අංකය 978 90 4850 6361 ලෙස සඳහන් කොට ඇත. මෙම ග්‍රන්ථයෙහි තත්ත්වය කුමක්‌ වුවද ශාස්‌ත්‍රීය ලෙස පිළිගත හැකි ලිපි හා අනිකුත් ලියෑවිලි බහුලව ඇත. ඒ බොහොමයක සෙසු ආසියාතික රටවල් හා සැසඳීමේ දී ලාංකික කාන්තාවන්ගේ වැඩි අවදානම් බව අඩු වැටුප් හා අඩු නීතිමය රැකවරණ පිළිබඳව කරුණු සඳහන්ව ඇත. වොෂින්ටන් නගරයේ පිsහිටා ඇති Middle East Institute ආයතනය මඟින් මැද පෙරදිග සංක්‍රමණ හා ගෘහ සේවා කාන්තාවන් සම්බන්ධ ලිපි පළකොට ඇති අතර පර්යේෂණද පවත්වමින් සිටී. 

2005 වර්ෂයේ නිල වාර්තාවන්ට අනුව මැද පෙරදිග සිටින ලාංකික සේවකයන් ගණන දශ ලක්‌ෂ 1.2 ක්‌ වන අතර ඉන් 800000 ක්‌ මෙහෙකාර සේවයේ නිරත කාන්තාවන්ය. (2008 දී 1 792 368 කි. මුළු ජනගහනයෙන් සියයට 9 කි). නමුත් විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය සඳහන් කරන අන්දමට එම සංඛ්‍යාවෙන් සියයට 40 ක්‌ පමණ අමතර සංඛ්‍යාවක්‌ නීති විරෝධී අන්දමට එහි සේවය කරන බව වාර්තා වේ.

මෙම අදහස්‌වලට මා හා එකඟ නොවන්නෙකුට ඇසිය හැකියි ඉන්දියාව බංග්ලාදේශය නැතහොත් ඉන්දුනීසියාවට එසේ කළ හැකි නම් අපට බැරි මන්ද කියල. නමුත් ඉන්දියාවේ ජනගහනය කෝටියකටත් වඩා වැඩිය. ඉන්දුනීසියාවේ හා බංග්ලාදේශයේ පිළිවෙලින් දශලක්‌ෂ 238 හා 164 කි. එමෙන්ම මැද පෙරදිග වෙසෙන ඉන්දියානුවන්ගේ ගණන දශලක්‌ෂ 5 ක්‌ වැනි ඉතාම සුළු පිරිසකි. ඒ අයගෙන්ද වැඩි ගණනක්‌ නියෑලී සිටින්නේ උසස්‌ රැකියාවලය. එනම් ඉංජිනේරු, වෛද්‍ය හා අනිකුත් වෘත්තිමය රුකියාවලයි. ඔවුන්ට ඉහළ වැටුප් ගෙවන අතර සිය පවුල් සමඟ ගොස්‌ ළමයින්ට හොඳ අධ්‍යාපනයක්‌ ලබා දෙමින් උසස්‌ ලෙස ජීවත්වන තත්ත්වයක්‌ ඇත. එමෙන්ම ඉන්දියානු රජයද ඔවුන් සම්බන්ධයෙන් වඩාත් සුභදායී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරයි. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සැසඳිය යුත්තේ එම රටවල් සමඟ නොව අප රටට නිදහස ලැබෙන විට ලොව ඉතාමත් පහල මට්‌ටමක පැවති එහෙත් අද ඇමරිකාව ඇතුළු අනිකුත් ප්‍රබල බටහිර රටවල් අභිබවා යාමට හැකි ආර්ථික තත්ත්වයක සිටින, විශාලත්වයෙන් හා ජනගහනය අතින් අපට සමාන සිංගප්පූරුව, කොරියාව, හොං කොං, මලයාසියාව හා තායිවානය වැනි රටවල් සමඟය. එදා ඒ සියලු රටවලට වඩා ඉහළ ආර්ථික මට්‌ටමකින් අප රට පැවැති බවට එම රටවල් පවා පිළිගෙන තිබුනත් අද එම රටවල් ඉදිරියේ අප රට මැක්‌කෙකු වැනිය. අපි අද ආශ්චර්යක්‌ ගැන දවල් සිහින බලනවා නම් එම රටවල් දිව්‍ය ලෝකවල් කියා කිව්වත් ප්‍රමාණවත් නැත. අපට තරම් භෞතික සම්පත් එදා ඒ බොහෝ රටවලට නොතිබුණු අතර අපට වඩා බෙහෙවින් දේශපාලන ගැටලු යුද තත්ත්වයන් ඒ රටවලට පැවැති බව නොදන්නා අයකු නැත. ඔවුන් අද ආසියාවේ කොටි (Asian Tigers) යන ආර්ථික විරුදාවලියෙන් හඳුන්වයි. (ලංකාවේ කොටි අර්ථයෙන් නොවේ) ඔවුන්ද අප රට මෙන්ම එකල එංගලන්තය හා සෙසු බලවත් රටවල යටත් විජිත පාලනයන්ට යටත්ව පැවති අතර ඒවා බොහොමයක්‌ නිදහස ලබා ගත්තේද අපටත් පසුවය. නමුත් ඔවුන් එතැන් පටන් සුද්දාට හෝ ඔවුන් යටත්කොට ගෙන සිටි ජාතීන්ට බැන වදිමින් ඔවුන් දෙන දේ කමින් ජනතාව රවට්‌ටන දේශපාලනයක නිරත වූයේ නැත. ඒ වෙනුවට ඔවුන් කළේ ඌරගේ මස්‌ උගෙ ඇඟේම තබා කපන්නාක්‌ මෙන් ආර්ථික අතින් එවකට ප්‍රබලව ඔවුන් යටත් කරගෙන සිටි රටවලින්ම හොඳ දේ රැගෙන තම රටවල අනන්‍යතාවයද රැකගෙන එම සියලු ප්‍රබල රටවල් අභිබවා යන තරමට ශක්‌තිමත් ජාතීන් බවට පත්වීමයි. එදා සිංගප්පූරු රටේ නායකයා ශ්‍රී ලංකාව ගැන කීවා යෑයි කියන කථාව අද ඔබාමා ඇතුළු බටහිර රටවල නායකයන් මෙම පුංචි ආසියානු කොටින් දෙසට ඇඟිල්ල දිගුකොට තම ජනතාවට කියන තැනට පැමිණ ඇතැයි කීම අප දේශපාලකයෝ පිළිගැනීමට අකමැති වුවද සත්‍යය හා යථාර්ථය එයයි. 

මේ පුංචි කොටි පැටව් ටික ඔවුන් යටත් කොටගෙන සිටි ප්‍රබලයන්ගෙන් ගත් ප්‍රබලම හා නිවැරදිම අවිය වූයේ අධ්‍යාපනයයි. විශේෂයෙන්ම උසස්‌ අධ්‍යාපනයයි. යටත් විජිත මට්‌ටමින් පැවති අධ්‍යාපනය පැවතියේ එම අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතාවලට බව මිස තම රටවලට අවශ්‍ය අන්දමට නොවන බව තෙරුම් ගැනීමට එම පොඩි රටවලට ඔවුන් නිදහස ලබනවාත් සමගම හැකි විය. ඔවුන් හතුරාගෙන් වුවද නිවැරදි හොඳ දේ ලබා ගැනීමට කිසිසේත් ලජ්ජා වූයේවත් පසුබට වූයේවත් නැත. හැකි තරම් කඩිනම් වූහ. සෘජුවම හාර්වර්ඩ්, ඔක්‌ස්‌පර්ඩ්, කේම්බිජ් ආකෘති මෙන්ම එම විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන්ගේ සේවයද ලබා ගැනීමටද හැකි වීය. 

එහෙත් අප තවමත් සුද්දා පට්‌ටා ගහමින් ඔවුන් දෙන දේ කමින් අපට කිසිදු අයුරකින් ගැලපීමක්‌ නැති උන් අපට එදා දුන් නමුත් දැනට උන් ළඟවත් නැති පුස්‌ කමින් තිබෙන එම කාලකණ්‌ණි අධ්‍යාපන මළකඳ කර තබා ගෙන ආශ්චර්යයේ මළ බෙරේ වයමින් රටම කනත්තට ගෙන යමින් සිටිමු. අප රටේ අධ්‍යාපන හා උසස්‌ අධ්‍යාපන බලධාරීන් හා විශේෂයෙන් සරසවි ඇදුරන් ඇතුළු උගතුන් එම ගමන තවත් කඩිනම් කරමින් සිටින බව නොකියාම බැරිය. වසර 12 ට පමණ කාලයක්‌ දෙවරක්‌ම රට පාලනය කළ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මෑතදී ප්‍රකාශ කළේ තම පියාගේ පාලන සමයේ ගත් වැරදි තීරණයක්‌ (ඉංග්‍රීසි අධ්‍යාපනයට වැට බැඳීම) හේතුවෙන් අද අප මෙවන් පහත් තත්ත්වයකට වැටී ඇති බවයි. එතුමිය රට භාර ගත් දිනයේ එම ප්‍රකාශය නිකුත්කොට නිසි ක්‍රියා මාර්ග එදා ගත්තේ නම් එම ප්‍රකාශයේ වටිනාකම කියා නිම කළ නොහැකි බව රටම පිළිගනු ඇත. එමෙන්ම පසුගිය කාලය තුළ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා හා තවත් ඇමැතිවරුන් කීප දෙනෙකු විසින්ම පවතින අධ්‍යාපන ක්‍රමය අදට නොගැලපෙන බව ප්‍රකාශ කරනු ලැබීය. අධ්‍යාපන ඇමැතිවරයාගේ එම ප්‍රකාශ සත්‍ය මෙන්ම වටිනා අදහස්‌ බව සඳහන් කළ යුතුය. ගුණවර්ධන ඇමතිතුමනි ඔබ තවමත් ප්‍රමාද නැත. හැබැයි උසස්‌ අධ්‍යාපන ඇමැති තුමා වාගේ අනාගන්නේ නැතිව හරියට වැඩේට බැස්‌සොත් ඔබට රටම ආශිර්වාද කරාවි. හැබැයි පරිස්‌සමින්. වැඩේ අතුරේ යනවාටත් වඩා භයානකය, කටුකය. 

අවසාන වශයෙන් අකමැත්තෙන් වුවද (මා ද සරසවි ඇදුරකු බැවින්) කිවයුතු සත්‍යයක්‌ ඇත. එනම් මෙම අවාසනාවන්ත තත්ත්වයට සෘජුවම වගකිව යුත්තේ අප සරසවි ඇදුරු ප්‍රජාව බවයි. රටට ගැලපෙන හා ජාත්‍යන්තර තලයේ තැබිය හැකි මෙන්ම උසස්‌ රැකියා වෙළඳපොළට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක්‌ බිහි කිරීමේ මූලික වගකීම ඇත්තේ ඔවුන් අතය. පවතින තත්ත්වයන් යටතේ කෙසේ හෝ ජනතාවට රැකියා මාර්ග සැපයීමට රජයන්ට විවිධ විකල්ප තෝරා ගැනීමට සිදුවනු ඇත. එබැවින් 21 ශත වර්ෂයට ගැලපෙන පාසල් හා උසස්‌ අධ්‍යාපන රටාවක්‌ ඇති කිරීමේ කාර්යය ඉටු කළ යුත්තේ සරසවි ප්‍රජාව මිස දේශපාලකයන් නොවේ. සරසවි පීඨ දෙකක්‌ තුනක්‌ හැරෙන්නට අපගේ සරසවි පීඨ එම ජාතික අරමුණ සම්පූර්ණයෙන්ම නොසලකා ඇති බව කනගාටුවෙන් වුවද ප්‍රකාශ කරන්නට සිදුව ඇත.

එච්.එම්. නවරත්න බණ්‌ඩා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, බාහිර මහාචාර්ය නිව්යෝර්ක්‌ සිටි විශ්වවිද්‍යාලය (CUNY) 
http://www.divaina.com/2013/12/04/feature.html

Pic from | https://www.google.lk/search?q=housemaids+sri+lanka&source=lnms&tbm=isch&sa=X&ei=2teeUsqdHMaBlAXJ04HQAw&ved=0CAcQ_AUoAQ&biw=1280&bih=898#facrc=_&imgdii=_&imgrc=UtEdARMnPRtg7M%3A%3BnwKh3QL4A8U-4M%3Bhttp%253A%252F%252Fwww.sangam.org%252Farticles%252Fview2%252F1015.h4.jpg%3Bhttp%253A%252F%252Fwww.sangam.org%252Farticles%252Fview2%252F%253Fuid%253D1015%3B184%3B256

0 comments: