Pages

Sunday, December 8, 2013

ශ්‍රේෂ්ඨ ජන නායක මැන්ඩෙලා

දකුණු අප්‍රිකාවේ කළු ජනතාවගේ අයිතීන් උදෙසා සටන් කළ ශ්‍රේෂ්ඨ නායකයකු වූ නෙල්සන් මැන්ඩෙලා මහතා පෙරේදා (5 දා) අභාවප්‍රාප්ත විය. පුරා විසිහත් වසරක්‌ සිරගතව සිටි මැන්ඩෙලා යුග පුරුෂයෙකි. මිය යනවිට ඔහු 95 හැවිරිදි වියේ පසුවිය.

දකුණු අප්‍රිකාවේ බෝතා ජනාධිපති යටතේ 1985 පෙබරවාරි මාසයේදී කොන්දේසි මත නිදහස්‌වීම ප්‍රතික්‍ෂේප කළ මැන්ඩෙලා තම මුළු දිවියම කැප කළේ එරට කළු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස වෙනුවෙනි.

එම සටනේ ප්‍රතිඵලයක්‌ වශයෙන් දකුණු අප්‍රිකානු කළු ජනතාවට ඡන්ද බලය හිමිවිය. 1994 අප්‍රේල් 26 දා දකුණු අප්‍රිකාවේ පැවැති මැතිවරණයෙන් පාර්ලිමේන්තු ආසන 400 න් 252 ක බලය ලබා මැන්ඩෙලා ජනාධිපති ධුරයට පත්විය.

රොබන් සිර ගෙදරදී තමා ඇද වැට්‌ටීමට සුදු පාලනය උත්සාහ කළත් තමා සැමවිටම නැගිට සිටියේ යෑයි මැන්ඩෙලා කියා සිටියේය. ප්‍රසිද්ධ 'නොබෙල්' සම්මානයද, ඉන්දීය, පකිස්‌තාන, ඇමරිකානු රාජ්‍ය සම්මානද ඔහුට හිමිවිය. මැන්ඩෙලාගේ අභාවය ගැන ප්‍රකාශයක්‌ කළ දකුණු අප්‍රිකානු වත්මන් ජනාධිපති ඡේකබ් සූමා දකුණු අප්‍රිකාවට ශ්‍රේෂ්ඨ පුත්‍රයකු අහිමිවූ බව පවසා ඇත.

1968 දී මැන්ඩෙලාගේ මවත් වැඩිමහල් පුත්‍රයාත් වාහන අනතුරකින් මියගිය අතර ඔවුන්ගේ අවමගුල් උළෙලට සහභාගිවීම සඳහා එදා සිටි සුදු පාලක රජය ඔහුට ඉඩදී තිබුණේ නැත.

එහෙත් මැන්ඩෙලා සැළුණේ නැතැයි දකුණු අප්‍රිකානු කොංග්‍රසය හෙළි කළේය.

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ අභාවය ගැන ශෝකය පළකරමින් රටවල් රැසක නායකයන් ප්‍රකාශ නිකුත් කර ඇත.

මැන්ඩෙලාගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

විදේශ රාජ්‍ය නායකයන් රැසක්‌ මැන්ඩෙලාගේ අවමගුලට සහභාගිවීමට නියමිතය.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/12/07/news03.html


Pics from | http://www.divaina.com/2013/12/07/feature04.html

0 comments: