Pages

Sunday, October 6, 2013

බංග්ලාදේශය සමග ගිවිසුමක්‌ බාල බෙහෙත් ගෙන්වන ඉන්දීය සමාගම් 12කට දොර වැසෙන ලකුණු

බංග්ලාදේශ රජය හරහා කෙළින්ම මෙරට රජයේ රෝහල් සඳහා බෙහෙත් මිලදී ගැනීම ඇරැඹුණු පසු දැනට රෝහල්වලට බෙහෙත් සපයන ඉන්දීය බෙහෙත් සමාගම් 12 ක්‌ තත්ත්වයෙන් බාල බෙහෙත් වර්ග සැපයීමේ චෝදනා මත තහනම් කිරීමට පියවර ගන්නා බව ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්‍ෂ වෛද්‍ය හේමන්ත බෙණරගම මහතා පෙරේදා (03 දා) පැවැසීය.

මෙසේ තහනම් කිරීමට නියමිත බෙහෙත් සමාගම් 12 අතර පසුගියදා තත්ත්වයෙන් බාල බෙහෙත් වර්ග සැපයීමේ චෝදනා මත තහනම් කර නැවත එම තහනම ඉවත් කරනු ලැබූ ඉන්දීය බෙහෙත් සමාගම් 4 ද වන බව වෛද්‍ය බෙණරගම මහතා කීවේය.

දැනට එම සමාගම් තහනම් නොකරනුයේ වෙනත් සමාගම් හරහා කඩිනමින් බෙහෙත් වර්ග සපයා ගත නොහැකිවීම නිසා බවද ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්‍ෂවරයා කීවේය.

ඉකුත් ඔක්‌තෝබර් පළමුවැනිදා සිට තහනම් කළ ඉන්දීය බෙහෙත් සමාගම් 4ක එම තහනම ඉවත් කරන ලද්දේ රජයේ රෝහල්වල බෙහෙත් හිඟයක්‌ හටගැනීම වැළැක්‌වීමේ පියවරක්‌ වශයෙන් තාවකාලිකව බව ද ඔහු සඳහන් කළේය. එම බෙහෙත් සමාගම් සපයන ලද තත්ත්වයෙන් බාල බෙහෙත් වර්ග 6 ක්‌ මෙරට භාවිතයෙන් ඉවත් කර ඇති අතර රජයේ රෝහල්වල භාවිතය සඳහා අවසරය ලබා දී ඇත්තේ එම සමාගම් විසින් නිපදවූ ගුණාත්මක බවින් හොඳ තත්ත්වයේ පවතින බෙහෙත් වර්ග 116 ක සංඛ්‍යාවන්ට පමණක්‌ බවත් වෛද්‍ය බෙණරගම සඳහන් කළේය.

අදාළ සමාගම්වල බෙහෙත් වර්ග භාවිතයෙන් ඉවත් කළ පසු ඒ වෙනුවට කඩිනමින් විකල්ප බෙහෙත් වර්ග සපයා ගත නොහැකි වීම නිසා ජීවිතාරක්‌ෂක බෙහෙත් වර්ග හිඟයක්‌ ඇති වීමේ අවදානමක්‌ තිබූ බව ඔහු කීවේය.

බංග්ලාදේශ සෞඛ්‍ය ඇමැතිවරයා ළඟදීම ශ්‍රී ලංකාවට පැමිණ මෙරට රජය සමඟ බෙහෙත් වර්ග සැපයීමේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට නියමිතය.

මේ අතර සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙනුයේ බංග්ලාදේශ රජය විසින් නිෂ්පාදනය කරනු ලබන බෙහෙත් වර්ග සෘජුවම මෙරටට ලබා ගැනීමට පියවර ගත් පසු මෙරට පුද්ගලික අංශයේ බෙහෙත් සැපයීමේ ඒකාධිකාරය බිඳ වැටීම මෙන්ම තත්ත්වයෙන් බාල බෙහෙත් සැපයීම නතර වනු ඇති බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (03 දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය කෙරිණි.

ඒමන්ති මාරඹේ
http://www.divaina.com/2013/10/05/news12.html

0 comments: