Pages

Sunday, October 6, 2013

වෙළෙඳ පොළේ ඇති තීන්ත ප්‍රමිතියට තිබේදැයි සොයා බැලේ

වෙළෙඳපොළේ ඇති තීන්තවල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නියම කරන ලද ඊයම් ප්‍රමාණයට වඩා වැඩි ඊයම් ප්‍රමාණයක්‌ අන්තර්ගත ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා සියලුම තීන්ත වර්ගවල සාම්පල ලබා ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ (04 වැනිදා) සිට පියවර ගෙන ඇත.

සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස්‌ මත එම පියවර ගත් බව පාරිභෝගික අධිකාරියේ සභාපති රූමි මර්ෂුක්‌ මහතා පැවසීය.

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 12 (2) වගන්තියට අනුව සෑම නිෂ්පාදන ආයතනයන්, වෙළෙඳුන් නියමිත ඊයම් ප්‍රමාණයට අනුව තීන්ත නිෂ්පාදනය, ආනයනය, ඇසුරුම, තොග වශයෙන් හෝ සිල්ලර වශයෙන් බෙදා හැරීම, ගබඩා කිරීම සහ විකිණීම විධානය කර ඇත.

අවසරලත් ඊයම් ප්‍රමාණයට වඩා වැඩි ඊයම් සහිත තීන්තවලින් ළමුන්ගේ ශරීරයට ඊයම් ඇතුළුවීමේ අවදානමක්‌ පවතින බවට හෙළිවී තිබීම නිසා පාරිභෝගික අධිකාරිය මගින් 2011.09.30 දින අංක 1725/30 දරන අතිවිශේෂ ගැසට්‌ පත්‍රයක්‌ මගින් තීන්තවල අඩංගු විය හැකි උපරිම ඊයම් ප්‍රමාණය ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව උපරිම ප්‍රමාණයන්ට වඩා වැඩි ඊයම් සහිත තීන්ත නිෂ්පාදනය කරනු ලබන ආයතනයන්ට සහ වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

ලසිත දුමින්ද
http://www.divaina.com/2013/10/05/news29.html

0 comments: