Pages

Sunday, October 6, 2013

කොළඹ - කටුනායක අධිවේගය විවෘත කිරීම 27 දා

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය මෙම මස 27 වැනිදා පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ. නව කැලණි පාලම ප්‍රධාන පිවිසුමේදී ජනාධිපතිවරයා විසින් මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව කටුනායක දක්‌වා සිය රථයෙන් ගමන් කරනු ඇත.

පසුව ප්‍රධාන උත්සවය ජාඇල දී පැවැත්වෙන බව වරාය හා මහා මාර්ග ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල මහතා පැවැසීය.

මාර්ගය විවෘත කිරීමට පෙර දින තුනක්‌ ජනතාවට අධිවේගී මාර්ගයට පැමිණ ක්‍රීඩා කරමින් විනෝද වීමට අවස්‌ථාව සලසා ඇති බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

දිගින් කිලෝමීටර් 25.8 කින් යුත් මෙම අධිවේගී මාර්ගය කටුනායක අන්තර් ජාතික ගුවන් තොටුපළ ප්‍රවේශ මාර්ගය දක්‌වා දිවෙන අතර මාර්ගය අන්තර් හුවමාරු මධ්‍යස්‌ථාන හතරකින් සමන්විතය.

නව කැලණි පාලම, පෑලියගොඩ, ජාඇල හා කටුනායක අන්තර් පිවිසුම් හුවමාරු මධ්‍යස්‌ථාන හතර පිහිටා තිබේ.

ඇමරිකානු ඩොලර් මිලියන 350 ක වියදමින් ඉදි වූ මෙම මාර්ගය මහාමාර්ග අමාත්‍යාංශයේ හා මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්‍ෂණය යටතේ චීන ඉදිකිරීම් සමාගමක්‌ විසින් ඉදිකරන ලදී.

එමෙන්ම මුහුදු වැලි පුරවා මෙරට ඉදිකළ ප්‍රථම අධිවේගී මාර්ගය මෙය වීම විශේෂත්වයක්‌ බව ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අනුර බාලසූරිය
http://www.divaina.com/2013/10/05/news10.html

0 comments: