Pages

Monday, October 7, 2013

උතුරු පළාත් සභාවට ආණ්‌ඩුකාරවරයා අරහං වීම

සී. වී. විග්නේශ්වරන් මහතා අද දින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඉදිරියේ උතුරේ මහඇමැති හැටියට කොළඹදී දිවුරුම් දීමට තීරණය කිරීමෙන් උතුරු පළාත් සභාව දිවුරුම් දීම සම්බන්ධයෙන් පැවැති ප්‍රශ්නයට යම්කිසි විසඳුමක්‌ ලැබී ඇති බව පෙනේ. එසේ නමුත් දෙමළ ජාතික සන්ධානයේ මේ හැසිරීම ගැන අප තුළ යම් සැකයක්‌ උපදී. උතුරේ ආණ්‌ඩුකාර ජී. ඒ. චන්ද්‍රසිරි මහතා ඉදිරියේ දිවුරුම් නොදී මේ ආකාරයට ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දීමට එක්‌ ප්‍රධානම හේතුවක්‌ වන්නේ චන්ද්‍රසිරි මහතා හිටපු හමුදා නිලධාරියෙක්‌ය යන කාරණයයි. ඔහු වැනි අයෙක්‌ උතුරේ ආණ්‌ඩුකාර තනතුරේ සිටීම උතුරේ මිලිටරිකරණයේ එක්‌ සංකේතයක්‌ යෑයි චෝදනා කරන දෙමළ ජාතික සන්ධානය ඔහු ඉදිරියේ දිවුරුම් දී මිලිටරිකරණය පිළිගත් බවක්‌ ලෝකයට පෙන්වීමට අකමැත්ත පලකර සිටී. නමුත් චන්ද්‍රසිරි මහතා යුද හමුදාවේ සිට විශ්‍රාම ගිය නිලධාරියෙකි. ඔහු විශ්‍රාම ගොස්‌ මේ වන විට අවුරුදු ගණනක්‌ ගතවී ඇත. නමුත් අද දින දෙමළ ජාතික සන්ධානය කරන්නේ යුද හමුදාවට පමණක්‌ නොව අනෙක්‌ සියලුම හමුදා අංශවලටද අණදෙන රටේ ප්‍රධාන අණදෙන නිලධාරියා ඉදිරිපිට දිවුරුම් දීමයි. කොටි සංවිධානය පරාජය කිරීමට නායකත්වය දුන්නේත් මේ සේනාධිනායකයාම වන ජනාධිපතිවරයාය. ඔහු හමුදාවට සේවය කර නැති බව ඇත්ත වුවත් නිල ඇඳුමක්‌ කිසිදාක පැළඳියේ නැති බවද ඇත්ත වුවත් නිල ඇඳුම් අඳින සියලුදෙනාටම අණ දෙන්නේ ඔහුය. ඉතින් හිටපු හමුදා නිලධාරියෙක්‌ වන ජී. ඒ. චන්ද්‍රසිරි මහතා ඉදිරියේ දිවුරුම්දීමට නොහැකි යෑයි කියමින් ඔවුන් දිවුරුම් දී ඇත්තේ කා ඉදිරියේද යන්න තේරුම් ගැනීමට තරම් සී. වී. විග්නේශ්වරන්, සම්බන්ධන් හා සුමන්තිරම්ට නොතේරෙනවා විය නොහැක.

"එසේ නම් මේ ආකාරයට ජී. ඒ. චන්ද්‍රසිරි මහතා ඉදිරියේ දිවුරුම් දීමට නොහැකි යෑයි කියමින් කරන මේ විගඩමේ සැබෑ අරුත කුමක්‌ද? මේ සම්බන්ධයෙන් ආණ්‌ඩුවද කල්පනාකාරී විය යුතුය. ඉන්දියාවේද ප්‍රාදේශීය දේශපාලන පක්‍ෂ බලවත්වී විවිධ ප්‍රාන්තවල ජාතික දේශපාලන පක්‍ෂ පරාජය කරමින් ප්‍රාන්ත ආණ්‌ඩු පිහිටුවීමට පටන් ගත් පසු එම ප්‍රාදේශීය ආණ්‌ඩු තමන්ගේ බලය වැඩිකර ගැනීම සඳහා මුලින්ම උත්සාහ කළේ ප්‍රාන්තවල ආණ්‌ඩුකාරවරුන් පත්කිරීම සම්බන්ධයෙන් බලතල ප්‍රාන්ත ආණ්‌ඩුවලට ඈ¹ගැනීමටය. ඉන්දියාවේ ප්‍රාදේශීය දේශපාලන පක්‍ෂ ප්‍රාන්ත තුළ බලය අල්ලා ගැනීමට පටන් ගත් 1967 සිට අද දක්‌වාම මේ උත්සාහය ඉන්දියාව තුළ පවතී. අද වන විට ඉන්දීය මධ්‍යම ආණ්‌ඩුව එන්න එන්නම දුර්වල වී මේ ඉල්ලීමට සම්පූර්ණයෙන්ම යටත් වන තත්ත්වයකට ආසන්න වී සිටී. එය අතිශයින්ම භයානක තත්ත්වයක්‌ බව කිව යුතුය. ඉන්දීය මහ ආණ්‌ඩුවේ අණසක ඔවුන්ගේ ප්‍රාන්ත තුළ ක්‍රියාත්මක වන්නේ ආණ්‌ඩුකාරවරයාගේ බලපෑම නිසාය. ආණ්‌ඩුකාරවරයා පත් කරන්නේ මහ ආණ්‌ඩුවේ නියෝජිතයා හැටියටය. ඉන්දියාවේ ආණ්‌ඩුකාරවරු පත්කරන්නේ ප්‍රාදේශීය ආණ්‌ඩු නම් එම ආණ්‌ඩුකාරයා කටයුතු කරන්නේ එම ප්‍රාදේශීය ආණ්‌ඩු කියන ආකාරයට නම් එතන ඇතිවන්නේ ප්‍රාන්ත ආණ්‌ඩුවක්‌ නොව ස්‌වාධීන රාජ්‍යයකි. 

ඉන්දියාවේද මධ්‍යම ආණ්‌ඩුව හා ප්‍රාදේශීය ආණ්‌ඩු අතර ඇති සම්බන්ධය පිළිබඳව හදාරා බලා 1988 දී වාර්තාවක්‌ පලකළ ආර්. එස්‌. සාකාරියා (Sarkaria‌) කොමිසම් වාර්තාවෙන්ද ඉතා දැඩිලෙස පවසා තිබුණේ ආණ්‌ඩුකාරවරුන් පත් කිරීම හා ඔවුන්ව මෙහෙයවීම සම්බන්ධයෙන් බලතල විවිධ ප්‍රාන්ත ආණ්‌ඩු ඉල්ලා සිටියද එවැනි බලයක්‌ ප්‍රාන්ත ආණ්‌ඩුවලට කිසිසේත්ම දිය නොහැකි බවයි. එවැනි බලයක්‌ ප්‍රාන්ත ආණ්‌ඩුවලට ලැබුණහොත් ඉන් එහාට ඉන්දියාව තනි රටක්‌ හැටියට පැවැතිය නොහැකි බවයි. නමුත් මෑත අවුරුදු වලදී ඉන්දීය මධ්‍යම ආණ්‌ඩුව කොතරම් දුර්වල වී තිබෙනවාද කියතොත් ප්‍රාන්ත ආණ්‌ඩු කියන ඕනෑම දෙයකට හිස නමන තත්ත්වයක්‌ ඉන්දියාවේ ඇතිවී තිබේ. ලංකාවේ පළාත් සභා ක්‍රමයද පදනම් කොට තිබෙන්නේ මේ ඉන්දීය ආණ්‌ඩු ක්‍රමය මතම වන නිසා යම් කිසි පළාත් සභාවක්‌ තමන්ගේ පළාත තුළ සිටින ආණ්‌ඩුකාරවරයා ගැන මැසිවිලි නගන්නේ නම් ඒ ගැන අවධානයෙන් සිටිය යුතුය.

අපේ රටේ ව්‍යවස්‌ථාවේ 154 බී වගන්තියට අනුව සෑම පළාතකම ආණ්‌ඩුකාරවරයෙක්‌ සිටිනු ඇත. එම ආණ්‌ඩුකාරවරයා පත්කළ යුත්තේ අදාළ පළාත් සභාවේ කැමැත්ත අනුව යෑයි කොතනකවත් කියා නැත. එම ආණ්‌ඩුකාරවරයා ජනාධිපතිවරයාගේ අභිමතය පමණක්‌ පරිදි තම ධුරය හොබවනු ඇත. අදාළ පළාත් සභාවට ආණ්‌ඩුකාරවරයා ගැන ප්‍රශ්නයක්‌ ඇත්නම් ඔවුන්ට ආණ්‌ඩුකාරවරයාව ඉවත් කරන්නැයි කියමින් ජනාධිපතිවරයාට යෝජනාවක්‌ කළ හැක. නමුත් මෙවැනි යෝජනාවක්‌ වුවත් කළ හැක්‌කේ නිශ්චිත කාරණා තුනක්‌ සම්බන්ධයෙන් පමණි. ඒ 

(1) ආණ්‌ඩුකාර වරයා විසින් දැනුවත්වම ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝනය කර තිබේ නම්,

(2) ඔහු තමන්ගේ බලතල අයතා ලෙස භාවිත කර තිබේ නම් 

(3) අල්ලස්‌ ගැනීම හෝ වෙනත් අයතා හැසිරීමක නියෑලී තිබේ නම් පමණි. 

මේ සීමිත කාරණා ගැන වුවද ආණ්‌ඩුකාරවරයාට එරෙහිව යෝජනාවක්‌ සම්මත කර ගන්නේ නම් එය පළාත් සභාවේ තුනෙන් දෙකේ බලයකින් සම්මත විය යුතුය. එමෙන්ම ආණ්‌ඩුකාරවරයා ඉවත්කළ යුතු යෑයි මෙවැනි යෝජනාවක්‌ පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ගෙන් අඩුම වශයෙන් අඩක්‌වත් අත්සන් කර නැත්නම් එවැනි යෝජනාවක්‌ බාරගැනීමටවත් පළාත් සභාවේ සභාපති වරයාට බලයක්‌ නැත. මේ ආකාරයට යෝජනාවක්‌ තුනෙන් දෙකේ බලයෙන් සම්මත කර ගත්තත් ජනාධිපතිවරයා එය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින බවත් දහතුන්වන සංශෝධනයේ කොතනකවත් නොමැති වීමද විශේෂත්වයක්‌ බව මෙතනදී කිව යුතුය.

ආණ්‌ඩුකාරවරයා සම්බන්ධයෙන් පළාත් සභාවකට ඇති බලතල ඒ ආකාරයට සීමිත වුවත් ආණ්‌ඩුකාරවරයාත් පළාත් සභාවත් අතර ගැටුමක්‌ නොපැවැතිය යුතු බව අපිද පිළිගනිමු. නමුත් ගැටුමක්‌ නොපැවැතිය යුතු බව යන්නෙන් අදහස්‌ වන්නේ පළාත් සභාවලින් කියන ආකාරයට ආණ්‌ඩුකාරවරු පත් කිරීමත්, කටයුතු කිරීමත් නොවන බවද කිව යුතුය. දකුණේ නම් බොහෝ විට පළාත් සභාවල බලය තිබෙන්නේ ජාතික මට්‌ටමින් බලය හොබවන දේශපාලන පක්‍ෂයටය. එම නිසා දකුණේ මහ ඇමැතිවරුනුත් ආණ්‌ඩුකාරවරුනුත් අතර ගැටුමක්‌ නැත. ඉන්දියාවේද 1967 දක්‌වාම සෑම ප්‍රාන්තයකම මහ ඇමැතිවරුව සිටියේ ඉන්දීය මධ්‍යම ආණ්‌ඩුවේ බලය හොබවන දේශපාලන පක්‍ෂයේම උදවියයි. ඒ කාලයේ ඉන්දියාවේද ප්‍රාන්ත ආණ්‌ඩු හා ආණ්‌ඩුකාරවරුන් අතර ගැටුම් පැවතියේ නැත. ඉන්දියාවේත් ගැටුම් ආරම්භ වූයේ ප්‍රාන්ත ආණ්‌ඩුවේ බලය ප්‍රාදේශීය පක්‍ෂයක්‌ විසිනුත් ආණ්‌ඩුකාරවරයා මධ්‍යම ආණ්‌ඩුවේ බලය හොබවන ජාතික දේශපාලන පක්‍ෂයක්‌ විසින් පත්කර එවීමට පටන්ගත් පසුවය. ලංකාවේද අපි දැන් අත්දැකීමට පටන්ගෙන ඇත්තේ එවැනි දෙයකි. උතුරු පළාතේ බලය අල්ලාගෙන ඇත්තේ ප්‍රාදේශීය දේශපාලන පක්‍ෂයකි. මධ්‍යම ආණ්‌ඩුවෙන් පත්කර ඇති ආණ්‌ඩුකාරවරයා ගැන ඔවුන්ට ප්‍රශ්න ඇත. මෙතනදී අප ඉදිරියේ ප්‍රශ්නයක්‌ ඇත. උතුරේ ආණ්‌ඩුකාරවරයාට දෙමළ ජාතික සන්ධානය කොතරම් අකමැති වුවත් ඔහු මධ්‍යම ආණ්‌ඩුවෙන් පත්කර තිබෙන නිසා දෙමළ ජාතික සංධානයේ සියලුම විරෝධතාවයන් නොතකා ඔහුව දිගටම ඒ ධුරයේම තබා ගන්නවාද? නැත්නම් අලුතින් පත්වී තිබෙන දෙමළ ජාතික සංධානයේ හිත දිනා ගැනීමට සහ ඔවුන් කෙරෙහි මධ්‍යම ආණ්‌ඩුවේ නම්‍යශීලී භාවය පෙන්වීමට ඔහුව එතනින් ඉවත්කොට දෙමළ ජාතික සන්ධානයේ ප්‍රසාදය තිබෙන පුද්ගලයකු එතැනට පත්කරනවාද?

මේ විකල්ප දෙකටම පක්‍ෂව කීමට විවිධ කරුණු ඇත. මධ්‍යම ආණ්‌ඩුව මේ ගැන තරමක්‌ නම්‍යශීලී වීමෙන් ජාත්‍යන්තර ප්‍රජාව අතරද ලකුණු දමාගත හැක. එමෙන්ම දෙමළ ජාතික සන්ධානයෙන් නගන මැසිවිලිවලින් එකක්‌ හෝ අඩුවනු ඇත. නමුත් අනෙක්‌ අතට පළාත් සභාවේ කැමැත්ත නොමැතිව ආණ්‌ඩුකාරවරයකුට පැවතිය නොහැකිය යන කාරණය තහවුරු වුවහොත් මේ රට ඉතා ඉක්‌මනින්ම මහා විනාශයක්‌ කරා ගමන් කරන බව කිව යුතුය. මෙවැන්නක්‌ තහවුරු වීමෙන් සිදුවන්නේ ආණ්‌ඩුකාරවරයා පළාත් සභාව කියන ආකාරයට නැටීමට පටන් ගැනීමය. ඒ කියන්නේ ජනාධිපතිවරයා ඔහුව පත්කළත් පළාත් සභාවේ කැමැත්ත නොමැතිව ඔහුට පැවැතිය නොහැකි වීමයි. ඒ නයින් බලන කල මගේ මතයට අනුව නම් මෙතනදී සිදුවිය යුත්තේ දෙමළ ජාතික සන්ධානයේ හොස්‌ස බිම උලා හෝ ජී. ඒ. චන්ද්‍රසිරි මහතාව ඒ තනතුරේම දිගටම තබා ගැනීමය. 

මෙහිදී දෙමළ ජාතික සන්ධානය විසින් උතුරේ පළාත් සභා ඡන්දයට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැනද අවධානය යොමුවිය යුතුය. එවැනි ප්‍රතිපත්ති ප්‍රකාශනයක්‌ මත බලය පිහිටුවා ඇති පළාත් සභාවක හිත දිනාගැනීමට වුවත් ආණ්‌ඩුකාරවරයා ඉවත් නොකළ යුතුය. මධ්‍යම ආණ්‌ඩුවට මේ ආණ්‌ඩුකාරවරයා ගැන ප්‍රශ්නයක්‌ නැත්නම් පළාත් සභාවට මොන ප්‍රශ්නයක්‌ තිබුණත් ඔහුව බලහත්කාරයෙන්ම ඒ ධුරයේ රැඳවිය යුතුය. "හිත දිනා ගැනීම" යන්න මර උගුලක්‌ බවද අපි අවබෝධ කරගත යුතුය. දෙමළ ජාතික සන්ධානයේ හිත දිනාගැනීමට යෑයි කියා එක්‌ එක්‌ කාරණා සම්බන්ධයෙන් පස්‌සෙන් පස්‌සට යැමට පටන්ගතහොත් එය කෙළවර වන්නේ කොතනින්දැයි කිසිවකුටත් කිව නොහැක. එමෙන්ම ඒ ආකාරයට අඩියක්‌ පස්‌සට ගත්තා යෑයි කියා හිත දිනාගැනීමක්‌ සැබවින්ම සිදුවේද යන්නත් සැක සහිතය. යුද්ධය අවසන් වූ පසු උතුරට කරපු දේවල්වල හැටියට වත්මන් ආණ්‌ඩුව කෙරෙහි විශාල ප්‍රසාදයක්‌ තිබිය යුතු වුවද එවැනි කිසිදු ප්‍රසාදයක්‌ ඇතිවී නැති බව ඡන්ද ප්‍රතිඵලයෙන් මනාවට පෙන්නුම් කෙරේ.

උතුරු පළාතේ කිසිදු සංවර්ධනයක්‌ නොකර වුවත් ඔය ලබාගත් ඡන්ද ප්‍රතිඵලයම ලබාගැනීමට හැකියාව තිබිණි. වෙනකක්‌ තබා දෙමළ ජනතාව ත්‍රස්‌තවාදීන්ගෙන් මුදාගෙන උතුර සංවර්ධනය කිරීම ගැන දෙමළ ජාතික සංවිධානය තුළවත් අබමල් රේණුවක අගය කිරීමක්‌ නැති බව ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්ම පැහැදිලි විය. එවැනි තත්ත්වයක්‌ යටතේ ආණ්‌ඩුකාරවරයා සම්බන්ධයෙන් අඩියක්‌ පස්‌සට ගැනීමෙන් ආණ්‌ඩුවට කොතනින්වත් ලකුණු ලැබෙන්නේ නැත. අඩුම වශයෙන් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් වුවත් ලකුණු ලැබෙන්නේ නැත. උතුරේ කරපු සියලු දේ පෙන්වීමෙන් පසුවත් ආණ්‌ඩුවට නවනීදන් පිල්ලේගෙන් ලැබුණු ලකුණු මොනවාද? උතුරේ ඡන්දය පවත්වා දෙමළ ජාතික සන්ධානයට සම්පූර්ණ බලය ලැබී තිබෙන තත්ත්වයක්‌ යටතේත් අපට ජාත්‍යන්තරයෙන් අසන්නට ලැබුණේ මේ ඡන්දයට යුද හමුදාවත් බලපෑම් කළ බවයි. මේ නිසා ලකුණු දමා ගැනීම යනු හුදෙක්‌ම මිරිඟුවකි. එවැනි මිරිඟුවක්‌ පස්‌සේ පන්නන්නේ නැතුව රටේ ඒකාග්‍රතාවය හෝ රැකෙන පරිදි කටයුතු කිරීම වඩාත් ඥනාන්විතවේ යෑයි මම සිතමි.

ආණ්‌ඩුකාරවරයාට පළාත් සභාව තුළ වැදගත් භූමිකාවක්‌ ඇත. ඒ පළාත් සභාව තුළ මධ්‍යම ආණ්‌ඩුවේ නියෝජිතයා ඔහුය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 154 සී (5) වගන්තියට අනුව පළාත් සභාවට අදාළ විෂයන් සම්බන්ධයෙන් විධායක බලතල සෘජුව තමන් විසින්ම නැතිනම් පළාත් සභාවේ ඇමැති මණ්‌ඩලය හරහා ක්‍රියාත්මක කරන්නේ ආණ්‌ඩුකාරවරයාය. 154 එෆ් වගන්තියට අනුව පළාත් සභාවේ ඇමැති මණ්‌ඩලය පවතින්නේ ආණ්‌ඩුකාරවරයාට තමන්ගේ කටයුතු කරගෙන යැමට උපදෙස්‌ දීමටය. ඔහුට ඒ සම්බන්ධයෙන් ලැබෙන උපදෙස්‌ අනුව කටයුතු කළ යුතු යෑයි කියා තිබුණද පළාත් ඇමැති මණ්‌ඩලයෙන් ලැබෙන ඒ උපදෙස්‌ "අනිවාර්යයෙන්ම" පිළිගත යුතු යෑයි කොතනකවත් කියා නැත.

එමෙන්ම ව්‍යවස්‌ථාවට අනුව ආණ්‌ඩුකාරවරයාට තම අභිමතය පරිදි කටයුතු කළ හැකි තැන් වෙනමම සඳහන් වී ඇත. ව්‍යවස්‌ථාවේ 154 එෆ් (2) වගන්තියට අනුව ආණ්‌ඩුකාරවරයාගේ අභිමතය පරිදි කටයුතු කරන අවස්‌ථාවලදී ඔහුගේ තීන්දුව අවසන් තීන්දුව වන අතර ඔහු එම බලතල යටතේ කරන මොනම දෙයක්‌වත් ඒ අවස්‌ථාවේදී ඔහුගේ අභිමතය භාවිත කළ යුතුව තිබුණද නැත්ද යන්න පිළිබඳව මොනම උසාවියකවත් ප්‍රශ්න කළ නොහැක. නමුත් ආණ්‌ඩුකාරවරයාගේ අභිමතය පරිදි කටයුතු කිරීමේදී ඔහු ජනාධිපතිවරයාගේ නියෝග පරිදි කටයුතු කළ යුතු බව සඳහන් වෙයි. එමෙන්ම ව්‍යවස්‌ථාවේ 154 එෆ් (3) වගන්තියට අනුව ආණ්‌ඩුකාරවරයාගේ කටයුතු සම්බන්ධයෙන් පළාත් ඇමැති මණ්‌ඩලය ඔහුට උපදෙස්‌ දුන්නාද? ඒ දුන් උපදෙස්‌ මොනවාද යන්න කිසිදු උසාවියක ප්‍රශ්න කර සිටිය නොහැක.

එමෙන්ම ව්‍යවස්‌ථාවේ 154 එච් (H) වගන්තියට අනුව පළාත් සභාවෙන් සම්මත කර ගන්නා සෑම පනතක්‌ම ආණ්‌ඩුකාරවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතුය. එසේ ඉදිරිපත් වන පනතක්‌ සංශෝධනය කරන්නැයි කියමින් සටහනක්‌ සහිතව ඔහුට නැවත පළාත් සභාවට යෑවිය හැක. මේ ආකාරයට තමන් සම්මත කර ගත් යම් පනතක්‌ සංශෝධනය කරන්නැයි කියා සටහනක්‌ සහිතව ලැබුණු විට පළාත් සභාවට අවශ්‍ය නම් එය සංශෝධනය නොකර යළිත් වරක්‌ සම්මත කොට ආණ්‌ඩුකාරවරයාට යෑවිය හැක. මේ ආකාරයට අනුමැතිය සඳහා පනතක්‌ තමා වෙත ඉදිරිපත් වූ විට ආණ්‌ඩුකාරවරයාට එක්‌කෝ එයට අනුමැතිය දිය හැක. නැතිනම් ඔහු විසින් ජනාධිපතිවරයා හරහා එය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකොට අදාළ පනත ව්‍යවස්‌ථාවට අනුකූලද නැත්ද යන කාරණය ගැන තීන්දුවක්‌ ලබාගත හැක. එවැන්නක්‌ ව්‍යවස්‌ථාවට අනුකූලනම් පමණක්‌ ඔහු එයට අනුමැතිය දිය යුතුය.

මේ ආකාරයට ආණ්‌ඩුකාරවරයාට සෑහෙන බලයක්‌ ලබාදී ඇත්තේ අදාළ පළාත් සභාව වෙනම රාජ්‍යයක්‌ මෙන් කටයුතු කිරීම වැළැක්‌වීමට බව පැහැදිලිය. මධ්‍යම ආණ්‌ඩුවේ බලය හොබවන පක්‍ෂය යටතේම පවතින පළාත් සභා තුළ ආණ්‌ඩුකාරවරයාගේ භූමිකාව එතරම් කැපී පෙනුණේ නැතත් වෙනත් පක්‍ෂයක්‌ විශේෂයෙන්ම ජාතික දේශපාලන පක්‍ෂයක්‌ නොව බෙදුම්වාදී ප්‍රාදේශීය පක්‍ෂයක්‌ යටතේ පවතින පළාත් සභාවක ආණ්‌ඩුකාර ධුරය පමණක්‌ නොව ආණ්‌ඩුකාරවරයාගේ විශේෂ බලතලද අතිශයින්ම වැදගත්ය. එවැනි අවස්‌ථාවලදී වඩා වැදගත් වන්නේ "ෂේප් න්‍යාය" නොව, බෙදුම්වාදයට නැඹුරුවූ එම පළාත් සභාව අම්බාම් කර ගැනීමය.

වම් ඉවුර - සී. ඒ. චන්ද්‍රප්‍රේම
http://www.divaina.com/2013/10/07/feature01.html

0 comments: