Pages

Wednesday, October 9, 2013

ශ්‍රී ලංකා තැපෑලේ ඓතිහාසික ගමන් මග

ෆෙඩ්රික්‌ නෝර්ත් නම් ආණ්‌ඩුකාරවරයා යටතේ 1798 වර්ෂයේදී පමණ ශ්‍රී ලංකාවේ පළමු තැපැල් කාර්යාල පහ කොළඹ, ගාල්ල, මන්නාරම, යාපනය, ත්‍රිකුණාමලය යන මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව ආරම්භ කරන ලදී. ඉතා සංවිධානාත්මක අයුරින් මෙම තැපැල් කාර්යාල අතර ධාවකයන් මගින් තැපැල් ප්‍රවාහනය සිදුකළ බැව් ප්‍රථම තැපැල් ස්‌ථානාධිපති හා පසු කලෙක පළමු පෝස්‌ට්‌ මාස්‌ටර් ජනරාල්වරයාවූ ඒ කෙනඩි මහතා විසින් වාර්තාකොට ඇත. ඒ වනවිට තැපැල් සේවාව සඳහා වූ මුළු තැපැල් කාර්ය මණ්‌ඩලය සිටියේ 181 ක්‌ පමණි. මෙකල කොළඹ සිට ගාල්ලට දින 03 ක්‌ද, කොළඹ සිට මන්නාරමට දින 03 ක්‌ හෝ 04 ක්‌ද, මන්නාරම සිට යාපනයට දින 02 ක්‌ද, සහ මන්නාරම සිට ත්‍රිකුණාමලය දක්‌වා දින 3 1/2 ක්‌ද වශයෙන් මෙම තැපැල් කාර්යාල අතර ලිපි හුවමාරුව සඳහා කාලය ගතවී ඇති බැව් සඳහන්ය.

තැපැල් දෙපාර්තමේන්තුව ආරම්භයේදී එවකට වූ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සන්නිවේදන අවශ්‍යතා මූලිකකොටගෙන සකස්‌වී තිබූ තැපැල් දෙපාර්තමේන්තුව විසින් 1799 ජනවාරි මස 15 වැනි දින පළමු වතාවට තැපැල් ගාස්‌තු හා රෙගුලාසි මාලාවක්‌ හඳුන්වා දෙන ලදී. තැපැල් දෙපාර්තමේන්තුව ආරම්භ වූ පළමු සියවස තුළදීම එනම් 1882 දී තැපැල් කාර්යාලයීය ඉතිරි කිරීම් පනත සම්මතකර ගනිමින් 1885 මැයි මස 01 දින තැපැල් කාර්යාලයීය ඉතිරි කිරීම් බැංකුවද, 1877 දී ශ්‍රී ලංකාව තුළ පමණක්‌ හුවමාරු කළ හැකි මුදල් ඇණවුම් සේවාවද විදුලි පණිවුඩ සේවාව හා තැපැල් ප්‍රවාහනයද ආරම්භ කිරීමට එවකට සිටි නිලධාරීහු සමත්වූහ. තවද 1921 වර්ෂයේදී තැපැල් සේවාවන් ග්‍රාමීය ප්‍රදේශවලට ව්‍යාප්ත කිරීමේ අරමුණ ඇතිව අක්‌මීමන, ආනමඩුව, චිලාවතුර, දිවුලපිටිය, කිsරිඇල්ල හා මුතූර් යන ප්‍රදේශවල ප්‍රථම උප තැපැල් කාර්යාල හයක්‌ද පිහිටුවන ලදී.

ශ්‍රී ලංකා තැපෑලෙන් සැලකෙන සේවාවන් දෙස බැලීමේදී එහි මූලික මෙහෙවර ලෙසින් ස්‌වකීය ගනුදෙනුකරුවන්ගේ කාලීන අවශ්‍යතාවන් ඉතා අනර්ඝ වූ ගුණාත්මකභාවයකින් යුක්‌තවද ලිපි හා පාර්සල් තැපැල් කටයුතු මුදල් සම්ප්‍රේෂණ හා වෙනත් නියෝජිත සේවාවන් වඩාත් නිර්මාණශීලීව හා කාර්යක්‌ෂමව සැපයීමටත් එමගින් දේශයේ ප්‍රජාසේවා අභිප්‍රායයන් ප්‍රශස්‌ථ අයුරින් සාක්‌ෂාත් කිරීමටත් මෙන්ම අභිමානවත් ව්‍යාපාරික ආයතනයක්‌ වශයෙන් කටයුතු කිරීමත් සඳහන් කළ හැකිය. මේ නිසාම පසුගිය දිනවල සියලුම පළාත් ආවරණය වන පරිදි තැපැල් අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක්‌ද ක්‍රියාවට නංවන ලදී.

විශේෂයෙන්ම තැපැල් දෙපාර්තමේන්තුවේ සමස්‌ත කාර්ය මණ්‌ඩලයේම අරමුණු වශයෙන් ඉතා ඵලදායී කාරණා බොහොමයක්‌ පවත්නා බැව්ද සඳහන් කළ යුතුමය. ඒ අතර තම ගනුදෙනුකරුවන්ට ලිපි හා පාර්සල් ශ්‍රී ලංකාවේ ඕනෑම ස්‌ථාන දෙකක්‌ අතර හුවමාරුකර ගැනීමට හැකියාව සලසන තැපැල් සේවාවක්‌ සැලසීම ප්‍රධාන තැනක්‌ ගනී. තවද එම සේවාවන් විශ්වසනීය හා ආරක්‌ෂාකාරී ලෙසත් තැපැල් ජාලයේ ගුණාත්මකභාවය වර්ධනය කරමින් සැපයීමත් මගින් දෙපාර්තමේන්තුවේ ආර්ථිකමය ඵලදායිතාව ඉහළ නංවා ගැනීම ද තවත් අරමුණකි.

තැපෑල සඳහා පවත්නා වෙළෙඳපොළ පුළුල් කිරීම මෙන්ම නව තැපැල් භාණ්‌ඩ හා සේවාවන් හඳුන්වා දෙමින් ගනුදෙනුකරුවන්, තැපැල් සේවකයන් හා තැපෑලෙහි අභිවෘද්ධියට මෙන්ම පැවැත්මට උරදී සිටින පාර්ශ්වයන් අතර මනා සහයෝගිතාවක්‌ හා සබැඳියාවක්‌ ගොඩනැගීම හා එහි වර්ධනය කිරීමත් බලාපොරොත්තු වේ.

තැපැල් දෙපාර්තමේන්තුවෙහි ආරම්භක සියවස්‌ දෙක බැලුවහොත් අප ආ ගමන් මගේ ප්‍රධාන සන්ධිස්‌ථාන කීපයක්‌ම මෙම ලෝක තැපැල් දිනය සමරනු ලබන මොහොතේදී ඉතා අභිමානයෙන් යුතුව සනිටුහන් කළ හැකිය. එනම්,

1832.02.01 - කොළඹ හා මහනුවර අතර මුල්ම තැපැල් අශ්වකරත්තය ධාවනයවීම. එය කොළඹ හා නුවර අතර මාර්ගයේ ගමන් ගත් මුල්ම අශ්ව කරත්තයද වේ.

1857.04.01- ශ්‍රී ලංකාවේ ප්‍රථම තැපැල් මුද්දරය නිකුත් කිරීම සිදුවිය.

1867- පළමු වරට පුද්ගලික තැපැල් පෙට්‌ටි හා තැපැල් මලු ක්‍රමය ආරම්භ කිරීම.

1892 - පළමු ජංගම තැපැල් කාර්යාලය කොළඹ පේරාදෙණිය අතර ආරම්භ කිරීම.

1893.02.01 - රුපියල් හා ශත වටිනාකමින් යුත් මුල්ම තැපැල් මුද්දරය නිකුත් කිරීම.

1894-කෙළඹ කොටුවේ ප්‍රධාන තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල විවෘත කිරීම.

1899-මෝටර් වාහන මගින් තැපැල් ගෙනයෑමේ "මෝටර් තැපැල් ප්‍රවාහන සේවාව" තැපැල් සේවාවේ විශේෂ සිදුවීමක්‌ ලෙසින් සනිටුහන් වෙමින් ආරම්භ විය.

තවද මීට අමතර වශයෙන් ගතහොත් කොළඹ හා ගාල්ල අතර පළමු විදුලි පණිවුඩ මාර්ගය හා ඉන්දියාව සමඟ සෘජු විදුලි පණිවුඩ මාර්ගය පිහිටුවීම, 858 දීද, මෝස්‌ පණිවුඩ ක්‍රමය 1859 දී පටන්ගෙන ඇත. 1865.03.02 දින යුරෝපයේ සිට ලද පළමු සෘජු පණිවඩුය ලැබීම මෙන්ම 1894.01.01 දින කොළඹ දුරකථන ක්‍රමය ප්‍රධාන තැපැල් කාර්යාලයේ පිහිටුවීම. විදුලි පණිවුඩ ක්‍ෂේත්‍රයේ සිදුවූ විශේෂ සිද්ධියක්‌ ද විය.

මීට අමතරව ශ්‍රී ලංකාව තුළ පමණක්‌ හුවමාරු කළ හැකි තැපැල් මුදල් ඇණවුම් සේවය 1877 දී ආරම්භ විය. එමෙන්ම 1882 දී සම්මතවූ තැපැල් කාර්යාලයීය ඉතිරි කිරීම් පනතට අනුව 1885.05.01 දින තැපැල් කාර්යාලයීය ඉතිරි කිරීමේ බැංකුව මුල්වරට පිහිටුවන ලදී.

ඉතා අභිමානයෙන් යුතුව සමරනු ලබන ලෝක තැපැල් දිනය හා ශ්‍රී ලංකා තැපෑලෙහි සුවිශේෂී කාරණාවක්‌ ලෙසින් 1900 වර්ෂයේදී තැපැල් කාර්යාල සඳහා සංවර්ධන හා ප්‍රතිසංවිධාන කටයුතු සිදු කිරීම උදෙසා එංගලන්ත රාජකීය තැපැල් සේවයේ ඡේ.පී. මෙලර්ෂ් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරිපත් කරන ලද වාර්තාව ක්‍රියාත්මක කිරීමද සඳහන් කළ හැකිය. එවකට සිටි පෝස්‌ට්‌ මාස්‌ටර් ජනරාල් එච්. එල්. මෝසේ මහතා විසින් මෙම වාර්තාව ක්‍රියාවට නංවා පාර්සල් තැපැල් අංශය, මුදල් ඇණවුම් හා ඉතිරිකිරීම් බැංකු ක්‍ෂේත්‍රය යන අංශවල ප්‍රගතියක්‌ පෙන්වමින් දැක්‌වූ දක්‌ෂතාවයන් අගයමින් 1903 දී ඔහු රාජකීය සම්මානයෙන්ද පිදුම් ලබා ඇත.

තවදුරටත් කරුණු සොයා බලන විට 1909.02.02 දින කොළඹ සහ ඉන්දියාව අතර විදුලි මුදල් ඇණවුම් සේවය ආරම්භ වී ඇත. විදේශීය ගුවන් ලිපි සේවය 1928 දී කොළඹ සහ මාෂෙල්ස්‌ අතර බ්‍රිතාන්‍ය ගුවන් සමාගම මගින් ආරම්භ කරන ලද බැව්ද කියෑවේ. 1931 දී තැපැල් හැඳුනුම්පත් සේවයත් 1932 දී ව්‍යාපාරික පිළිතුරු කවර සේවයත් 1949 දී රාජ්‍ය සේවක විශ්‍රාමික වැටුප් ගෙවීම් ක්‍රමයත් 1963 දී ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය පිහිටුවීමත් මෙහිලා විශේෂයෙන්ම සඳහන් කළ යුතුමය.

ඇත්ත වශයෙන්ම ඉහත කාරණා දෙස බලනවිට තැපැල් සාහිත්‍යයක්‌ ඇතැයිs ද අපට සිතේ. මේ වනවිට තැපෑලෙන් සැලසෙන සේවාවන් ආරම්භ වූ වකවානුවක්‌ දෙස බලනවිට ක්‍රමයෙන් මෙය පෝෂණය වී ඇති සැටි මනා ලෙස පෙනේ. තැපැල් කාර්යාල මගින් මහජන ආධාර මාසික දීමනා ගෙවීම 1947 දීත්, සිංහල අකුරු සහිතව මුද්දර නිකුත් කිරීම 1958 දීත්, සිදුවිය. කෙසේ වෙතත් අද වනවිට මෙම දෙපාර්තමේන්තුවෙන් ඉතා සුවිශේෂ වූ සේවාවන් රැසක්‌ මහජනයාට සැපයෙන බව ඉතා සතුටින් සඳහන් කළ යුතුමය. එනම් මුද්දර, මුද්‍රිත ලිපි ද්‍රව්‍ය, සාමාන්‍ය ලිපි, ලියාපදිංචි ලිපි, ශීඝ්‍රගාමී ලිපි, රක්‌ෂණ ලිපි පාර්සල්, දේශීය අධි වේගී තැපෑල, ජාත්‍යන්තර අධිවේගී තැපෑල, තැපැල් පෙට්‌ටි සහ තැපැල් මලු ව්‍යාපාරික පිළිතුරු කවර හා කාඩ්පත්, ජාත්‍යන්තර පිළිතුරු කාඩ්පත් තොග තැපැල් සේවා මුද්දර කාර්යාංශ කටයුතු, ටෙලිමේල්, පෝස්‌ට්‌ ෆැක්‌ස්‌, විද්යුත් තැපෑල, සාමාන්‍ය මුදල් ඇණවුම්, තැපැල් අලෙවිසල් සේවා, ජාතික ඉතිරි කිරීමේ බැංකු ගනුදෙනු, විදේශ අයදුම්පත් බාර ගැනීම හා එම අයදුම්පත් විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයට යොමු කිරීම, විශ්‍රාම වැටුප්, ගොවි විශ්‍රාම වැටුප්, ධීවර විශ්‍රාම වැටුප් ගෙවීම, විභාග ගාස්‌තු අයකිරීම, සමාජ ආරක්‌ෂණ විශ්‍රාම වැටුප් හා එම ආරක්‌ෂණ වාරික බාර ගැනීම සිදුකරනු ලබන අතර විශේෂයෙන්ම මෑතක සිට වඩාත් ඵලදායී ලෙසින් විදුලි බිල්පත් අය කිරීමද සිදු කරනු ලැබේ.

තැපැල් දෙපාර්තමේන්තුවේ වත්මන් කාර්යාල පද්ධතිය මෙසේය. තැපැල් කාර්යාල 648 ක්‌ හා උප තැපැල් කාර්යාල 3410 කි. එමෙන්ම 516 ක්‌ පමණ වන නියෝජිත තැපැල් කාර්යාල ජාලයකින් හා ග්‍රාමීය නියෝජිත තැපැල් කාර්යාල 156 කින් සමන්විතය. එසේම වතු තැපැල් කාර්යාල 07 ක්‌ද, ඇතුළුව කාර්යාල 4737 ක පමණ තැපැල් සේවා ජාලයක්‌ ඇත. සමස්‌ත සේවා පද්ධතිය අනුව එක්‌ තැපැල් කාර්යාලයකින් 4311 ක්‌ පමණ වන ජනතාවකට සේවය සලසන අතර වාර්ෂිකව එක්‌ පුද්ගලයෙක්‌ දළ වශයෙන් ලිපි 20 ක්‌ පමණ තැපෑලට එක්‌ කරන බව ද පැහැදිලිය.

ශ්‍රී ලංකාවේ උතුර, දකුණ, බස්‌නාහිර හා නැගෙනහිර යන සියලු දිසාවන් ආවරණය වෙමින් වර්ග කි.මි. 14 ක පමණ බිම් ප්‍රමාණයකට එක්‌ තැපැල් කාර්යාලයකින් සේවය සලසන බව ද නොලියාම බැරිය. නව තොරතුරු තාක්‌ෂණය එමගින් පෙරට යමින් පසුගිය කාලය තුළ තැපැල් දෙපාර්තමේන්තුව ලද ජයග්‍රහණ බොහෝය. 2011 දී පැවැති ලෝක තැපැල් ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ලෝකයේ රටවල් 193 අතුරින් කේවල ව්‍යාපෘති අංශයේ උසස්‌ ඇගයීම් සම්මානය දිනා ගැනීමට අපගේ තොරතුරු තාක්‌ෂණ අංශය මගින් ක්‍රියාවට නංවන ලද පරිගණක වැඩසටහන සමත්විය. එසේම තැපැල් කාර්යාල පරිගණක ජාලගත කිරීමේ ජාතික වැඩපිළිවෙළක්‌ දැනටමත් ක්‍රියාත්මක වන අතර එමගින් තොරතුරු තාක්‌ෂණික සේවා පුළුල් කිරීමද සිදුවේ.

ලෝක තැපැල් සේවාව වඩාත් අලුත්වෙමින් නව ලෝකයට ගැලපෙන ලෙසින් සකස්‌වන ගමනට ශ්‍රී ලංකා තැපෑල ද සූදානම් කිරීමේ අටියෙන් තැපැල් පුහුණු අංශය ගන්නා වූ සුවිශේෂවූ උත්සාහය ගැනද යමක්‌ කිව යුතුමය. ඵලදායී හා කාර්යක්‌ෂම තැපැල් සේවාවක්‌ මහජනයාට ලබාදීමේ අරමුණින් විධායක ශ්‍රේණියේ සිට සුළු සේවක මට්‌ටම දක්‌වා වූ සියලු දෙනාට විධිමත් දේශීය හා විදේශීය පුහුණුවක්‌ ලබාදීම මූලස්‌ථාන තැපැල් කළමනාකරණ අභ්‍යාස ආයතනය හා ප්‍රාදේශීය තැපැල් අභ්‍යාස ආයතන 07 ක්‌ද ඇසුරින් සිදුවේ. මේ අනුව 2011 වර්ෂයේදී පමණක්‌ දේශීය හා විදේශීය පුහුණු පාඨමාලා 553 යටතේ නිලධාරීන් පහළොස්‌ දහසකට වැඩි සංඛ්‍යාවකට පුහුණුව ලබාදීමට සමත්වී ඇත.

2013 ලෝක තැපැල් දිනයට සමගාමීව දැනටමත් පළාත් මට්‌ටමින් විවිධ තරග සංවිධානය කොට ඇති අතර ඒවා පැවැත්වෙමින් ද පවතී. පළාත් හා ජාතික උත්සව කටයුතු ඉදිරි දිනවලදී සිදුවන අතර සමස්‌ත ආසියාවෙහිම තොරතුරු සන්නිවේදනයේ ආශ්චර්ය බවට පත්වීමට ශ්‍රී ලංකා තැපෑලද පෙර ගමන්කරුවකු වනු ඇතැයි සිතමි.

දිවයින පුරා විසිරී පැතිරී සිටින විසි හතර දහසකට ආසන්න මානව සම්පත තුළින් ජනසිත සනහන පලදායී අභිමානවත් තැපැල් සේවයක්‌ මහජනතාවට සැලසීම අපගේ අපේක්‌ෂාවයි.

සාකච්ඡාකොට සකස්‌ කළේ
ඇල්ල - ආනන්ද රන්කොත්ගේ

ධර්මසිරි පියසේන, ඌව පළාත් නියෝජ්‍ය තැපැල්පති
(අද දිනට යෙදී ඇති ලෝක තැපැල් දිනය නිමිත්තෙනි.)
http://www.divaina.com/2013/10/09/feature.html

0 comments: