Pages

Wednesday, October 9, 2013

ඉරිදා උදේ - පෝය දිනවල සබරගමුවේ ටියුෂන් බෑ - වි. ජ. මු. තදින් සිටී

ඉරිදා පෙරවරුවේ සහ පෝයදාට උපකාරක පන්ති නැවැත්වීමේ සබරගමු පළාත් ප්‍රඥප්තිය එලෙසින්ම ක්‍රියාත්මක කරන බවත් කවුරුන් එරෙහි වුවත්, හඬ නැගුවත් තමා ගත් මේ ඉදිරි පියවර කිසිසේත්ම ආපසු හකුලා නොගන්නා බවත් තමා මේ තනතුරේ සිටින තුරු සම්මත කළ ප්‍රඥප්තිය බිඳ වැටීමට ඉඩ නොතබන බවටත් සබරගමු පළාත් ආණ්‌ඩුකාර වි.ජ.මු. ලොකුබණ්‌ඩාර මහතා පැවැසීය. 

භික්‍ෂූන් වහන්සේ පිරිසක්‌ සමඟ පළාත් ආණ්‌ඩුකාර ශ්‍රවණාගාරයේදී පැවැති හමුවකදී ඒ මහතා මේ අදහස්‌ පළ කළේය.

පාසලෙන් නිසි ලෙස අධ්‍යාපනයක්‌ ලැබෙනවා නම් දරුවන් ටියුෂන් නොයන බවත්, ටියුෂන් පංතිවලින් කෙරෙන සේවය තමන් හෙළානොදකින බවත් මෙහිදී පැවසූ ලොකුබණ්‌ඩාර මහතා එහෙත් දහම් පාසල් අධ්‍යාපනයට බාධාවක්‌ වන පරිදි උපකාරක පන්ති පැවැත්වීම පිළිබඳව තමන් විරෝධය පළකර සිටින බවත් කියා සිටියේය.

උපකාරක පංති පෝයදාට නොපැවැත්වෙන බවටත්, ඉරිදා ටියුෂන් පැවැත්වෙන්නේ දහවල් 12 න් පසුව බවටත් දැක්‌වෙන දැන්වීම් පුවරුවක්‌ සෑම උපකාරක පංතියකම ප්‍රදර්ශනය කළ යුතු බවට තමන් නියෝග කරන බවත් තමා මේ ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීමේදී තීරණයට එරෙහිව හඬනගන්නන් කරනුයේ හිවලෙක්‌ සිංහයකුට කරන අභියෝගයක්‌ සේ සලකා තමන් එය බැහැර කරන බවත් ඒ මහතා මෙහිදී පවසා සිටියේය.

විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී ජාතික මට්‌ටමේ ක්‍රීඩා උළෙලකදී ප්‍රථම ස්‌ථානයට ලකුණු 05 ක්‌ ලැබෙන බවත්, ධර්මාචාර්ය විභාගය සමත් වුවත් එම සහතිකයට කිසිදු පිළිගැනීමක්‌ මෙහිදී සිදු නොවන බවත් පැවසූ ඒ මහතා, දහම් පාසල් සහතිකයට නිසි ඇගැයීමක්‌ ලැබෙන වැඩපිළිවෙළක්‌ ඉදිරියේදී ක්‍රියාත්මක කළ යුතු බවත් පැවැසීය.

දහම් පාසල් රැකගෙන සමාජයේ ගුණධර්ම සහ යහ පැවැත්ම වර්ධනය කරනු පිණිස මේ ගෙන ආ ප්‍රඥප්තිය බාධක මැඬගෙන ක්‍රියාවට නැංවෙන බවත් මෙම ප්‍රඥප්තිය හිටපු ආණ්‌ඩුකාර ජනක බණ්‌ඩාර මහතා කෙටුම්පත් කළ එකක්‌ බවත් තමා කළේ එය ක්‍රියාවට නැංවීම පමණක්‌ බවත් ලොකුබණ්‌ඩාර මහතා මෙහිදී කීවේය.

එසේම මින්පසු උපකාරක පංති පැවැත්වීම නිසි ප්‍රමිතියක්‌ ඇතිව කළ යුතුව ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් ඇති දැයි සහ උපකාරක ගුරුවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සොයා බැලීමේ නව වැඩපිළිවෙළක්‌ තමන් විසින් ක්‍රියාවට නංවන බවත් ඒ මහතා කීවේය. එය අධීක්‍ෂණය කිරීමේ වගකීම ප්‍රාදේශීය ලේකම්වරුන්ට පවරන බවත් ඒ මහතා කීවේය.

මින්පසු උපකාරක පංති සියල්ල පළාත් සභාවේ ලියාපදිංචි කිරීම අනිවාර්ය බවත් ලොකුබණ්‌ඩාර මහතා කීවේය. එසේම තමාගේ මෙම ප්‍රඥප්තිය පිළිබඳව අනෙක්‌ පළාත් සභා මහ ඇමැතිවරුන් ද දැනුවත් කිරීමට පියවර ගන්නා බවත්, ඔහු කීවේය. ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන වාර්ෂික මහ ඇමැති සමුළුවේදී පොදු එකඟත්වයකට පැමිණ මෙම ප්‍රඥප්තිය මුළු ශ්‍රී ලංකාව පුරාම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ඒ මහතා භික්‍ෂූන් වහන්සේට පැවැසීය.

ම සංවාදශීලී හමුව අතරතුරදී මහත් විමතියට ලක්‌ කළ කරුණක්‌ සිහිගැන්වූ ලොකුබණ්‌ඩාර මහතා මහත් සේවාවක්‌ කළ හිටපු සංස්‌කෘතික නියෝජ්‍ය ඇමැතිවරයකු ආචාර්ය ඒ. වී. සුරවීර මහතා පත්කළ කොමිෂන් සභා වාර්තාවකට අනුව ප්‍රධාන පෙළේ ටියුෂන් පන්ති අයිතිකරුවන්ගෙන් 80% ක්‌ම ගෙස්‌ට්‌ හවුස්‌ අයිතිකරුවන් බව ද පෙන්වා දුන්නේය.

කේ. හෙට්‌ටිආරච්චි - රත්නපුර අතිරේක
http://www.divaina.com/2013/10/09/provin08.html

0 comments: