Pages

Sunday, October 6, 2013

පරණවිතානගේ ඉතිහාස විකෘතිය හා තේවත්ත බැසිලිකාවේ ඉතිහාස මංකොල්ලය

තේවත්ත බැසිලිකාවේ සිදු කරන ලද සූක්ෂම ඉතිහාස මංකොල්ලය පිළිබදව කළ සොයා බැලීමක් පිළිබඳවයි.

ආචාර්ය පරණවිතානයන් පිළිබදව අපි මනා සේ දනිමු. ලංකා ඉතිහාසය පමණක් නොව, අසල්වැසි ඉන්දියාවේද විධිමත් ඉතිහාසයක් ගොඩනැගිම කෙරෙහි ප්‍රාමාණික බුද්ධිමය දායකත්වයක් සැපයූ විශිෂ්ට ගණයේ බුද්ධිමතෙකු වශයෙන් පරණවිතානයන් අපගේ ගුරු තනතුරෙහි තබා ඇදහිය යුතුය. ශිලාලේඛන කියැවීම පිළිබදව ඔහු තරම් පරිචයක් ලද්දෙකු අපි නොදනිමු. නමුත් මේ කියන්නට යන්නේ, ඔහුගේ ජීවිතයේ ඔහු කරගත් මහා වැරැද්ද ගැන ය. නමුත් එයින් පරණවිතානයන්ගේ සුවිශේෂී බුද්ධිමය හෝ රටෙහි උන්නතිය වෙනුවෙන් ඔහු කළ මෙහෙයට නිගරුවක් ලෙස නොසලකනු මැනවි.

පරණවිතාන යනු ස්වකීය ජීවිතය, පුරාවිද්‍යාව හා ඉතිහාස අධ්‍යයනය වෙනුවෙන් කැප කළ පුද්ගලයෙකි. ඔහුගේ විවාහ ජීවිතය පවා බිද වැටී ගියේ ඒ කැප වීම් නිසා බව අපි දනිමු. කෙසේ වෙතත් පරණවිතානගේ ජීවිතයේ අවසන් වසර කිහිපය පිළිබද අතිශය ව්‍යාකූලතා පවතී. විශේෂයෙන් ම ඔහුගේ ජීවිතයේ අවසන් පර්යේෂණ යුගලය මෙසේ විවිධ මතවාදයන්ට තුඩු දී තිබේ. 1972 දී පළ වූ The Story of Sigiriya සහ 1960 දී පළවූ Ceylon And Maleysia යන කෘතින් යුගලය මේ ගැටලුකාරී තත්වයට මුල් වී තිබේ. විශේෂයෙන් ම ඒ සදහා පාදක කරගෙන තිබෙන මූලාශ්‍රයනගේ විශ්වාසනීයත්වය මෙම ගැටලුකාරී තත්වයන්ට මගපෙන්වා තිබේ.

1960 Ceylon And Maleysia කෘතිය සදහා පාදක වී තිබෙන්නේ රටේ අතිශය ප්‍රකට ශිලාලේඛන කිහිපයක ම ප්‍රධාන පේළි අතරේ සියුම් ලෙස රචනා කර ඇතැයි පරණවිතානයන් විසින් ම හෙළිදරව් කරන ලද ‘අන්තරාලීන ලිපි‘ නම් පාඨයන් ය. හේ එම කෘතිය සදහා පාදක කරගන්නේ එම ලේඛන පමණි. ඒ අනුව කාලිංගය යනුවෙන් හැදින්වෙන කොටස පිහිටියේ ඉන්දියාවේ නොව, මැලේසියාවේ බව ඔහු ස්ථිර වශයෙන් ම ප්‍රකාශ කරයි. මේ අදහස ඉන්දීය ඉතිහාසඥයන් වන නීලකණ්ඨ ශාස්ත්‍රී හා බැනර්ජි ආදින් විසින් විවේචනයට ලක් කර තිබේ. ගැටලුව ඇත්තේ, පරණවිතාන විසින් පරිශීලනය කරන ලද මූලාශ්‍ර මේ දක්වා වෙනත් කිසිදු ශාස්ත්‍රඥයෙකුට කියවාගැනීමට තියා සොයාගැනීමට හෝ නොහැකි වීම යි. අන්වීක්ෂයකින් පවා අන්තරාලීන ලිපි හදුනාගන්නට නුපුළුවන් වී තිබේ. මේ නිසා ම පරණවිතානගේ එම කෘතිය සත්‍ය වාර්තාවක් සේ පිළිගැනීමට නුපුලුවන් බව විෂය උගතුන්ගේ පොදු මතයයි.

දෙවනුව, වැදගත් ම කාරණයට ප්‍රවිෂ්ඨ වෙමු. 1972 දී ප්‍රකාශිත The Story of Sigiriya කෘතියේ ඔහු දක්වන්නේ ධාතුසේන රජ සමයේ, එනම් 5 වැනි සියවසේ දී ක්‍රිස්තියානි සමය රාජ්‍යානුග්‍රහයෙන් මෙරට මුල් බැස ගත් බවයි. ඉන්දියාවෙන් ගෙන්වා ගන්නා ලද කිසියම් පිරිසක් විසින් ක්‍රිස්තියානිය මෙරට ප්‍රතිෂ්ඨාපනය කරන ලදැයි එහි කියයි. තේවත්ත බැසැලිකාවේ ද එම සිද්ධිය ගල් කැටයම් ගතකර තිබේ. ඒ මහා අභිමානයකිනි. මහාවංශයේ බෞද්ධාගමේ ආරක්ෂකයෙකු සේ දක්වා ඇති ධාතුසේන කර්ම ඵල නොපිළිගන්නා මිත්‍යාදෘෂ්ටික ලබ්ධියක් වන ක්‍රිස්තියානිය මෙරට ස්ථාපනය කරන ලද්දේ යැයි සිතීම මූලාශ්‍රානුගතව කළ නොහැකි ය. තේවත්තේ උන්නැහේලාගෙන් ඒ ගැන විමසූ විට ඔවුන්ට පෙන්වන්නට ඇති එක ම පොත ද පරණවිතානගේ The Story of Sigiriya පමණි. නමුත් එම කෘතිය ද පරණවිතානගේ යුටෝපියාවක් බව පිළිගත් උගත්තු කරුණු දක්වති. ඔහු ඒ සදහා උපයෝගී කරගන්නේ කෝට්ටේ සයවන පරාක්‍රමබාහු රජ සමයේ තායිලන්තයෙන් මෙරටට වැඩම කළා යැයි කියන බුද්ධමිත්‍ර නම් භික්ෂුවක විසින් රචනා කරන ලද සංස්කෘත ලිපියකි. මෙහි ද මුල් පිටපත පරණවිතාන හැර වෙනත් කිසිවෙකු විසින් හෝ මෙතෙක් දැක නැත. නමුත් කෘතියේ කෙළවර එම සංස්කෘත කෘතියේ යැයි කියන පාඨයන් ඉංග්‍රීසි අකුරින් දක්වා තිබේ. එහෙත් එවැන්නක් කෘතිම ලෙස නිර්මාණය කිරීමට පරණවිතාන වැනි ප්‍රාචීන භාෂා උගතෙකුට අපහසුවක් නැත. එහි මුල් පිටපත මේ දක්වා කිසිදු පුද්ගලයෙකුගේ ඇස ගැටී නැත. ඒ නිසා එම මූලාශ්‍රය අදාල කරගත් The Story of Sigiriya කෘතියට ඓතිහාසික වැදගත්කමක් නැත. නමුත් අපේ ම අවාසනාවකට එය ක්‍රිස්තියානි අන්තවාදින්ගේ ඇස ගැටී තිබේ. දැන් එය ඔවුන්ගේ වාසියට හේතුකාරක වී ඇති අන්දම දකින විට පරණවිතාන ගැන ඇතිවන්නේ ද්වේශයක් බව සැබෑය. එහෙත් එය එසේ නොවිය යුතුය. අප තේරුම් ගත යුතු දෙයක් තිබේ. එනම්, ස්වකීය ජීවිතයේ අවසන් අදියරයේ දී තත් විෂයන් සමග දැඩි සේ බැදී යාම නිසා ඔහු කිසියම් මානසික ව්‍යාධියකින් පෙළුණු බව ය. ඔහුගේ මෙම කෘතින් කෙරෙහි බලපා තිබෙන්නේ ද එම රෝගී මානසිකත්වය බව වටහාගත හැකිය. ඔහුගේ සමීපතමයන්ගෙන් දැනගත් කරුණු අනුව, ඔහු ඉතිහාස උම්මත්තකභාවයකට පත් ව තිබේ.
මේ නිසා ක්‍රිස්තියානින් උදම් විය යුතු නැත. ධාතුසේනගේ කාලයේ දී මෙරටට ගෙන ආ ක්‍රිස්තියානියක් නැත. එය පැහැදිලිව ම පෘතුගීසි අධිරාජ්‍යවාදින් විසින් බයිනෙත්තුව පෙන්වා, වංචාකාරී ලෙස මෙරට ස්ථාපනය කරගත් පුහු මිත්‍යා ඇදහිල්ලක් පමණක් ම වේ. 

-- අධ්‍යයනයකින් පසුව රචනා කරන ලද්දේ, නිමේෂ තිවංකර සෙනෙවිපාල විසිනි --
https://www.facebook.com/photo.php?fbid=4422602687513&set=a.1572655040603.2067989.1362340120&type=1&theater

0 comments: