Pages

Saturday, October 12, 2013

සිංහාවලෝකනයට මේ සුදුසුම කාලයයි

එදිනෙදා සිය ජීවන කටයුතු ඉටුකර ගැනීමේලා දැනුම ලබාගැනීම අත්‍යවශ්‍ය වේ. බුදු දහමෙන් දැනුම, කුසලතා, ආකල්ප ලබාගත හැකි ප්‍රධාන ක්‍රම දෙකක්‌ හඳුන්වාදෙනු ලබයි. පරතෝඝෝෂය හෙවත්, අනුන්ගෙන් දැනුම ලබාගැනීම ඉන් පළමු ක්‍රමයයි. කුමන ආකාරයෙන් හෝ තව කෙනකුගෙන් අසා දැන ගැනීම මීට අයත්ය. පුද්ගලයකුගෙන්, පොතපතකින්, පුවත්පතකින්, විද්යුත් මාධ්‍යයකින් යන කවර හෝ ක්‍රමයක්‌ ඒ සඳහා භාවිත කළ හැකිය. දෙවැනි ක්‍රමය යෝනිසෝමනසිකාරයයි. එනම් සිතා බලා නුවණින් මෙනෙහි කර තමා විසින්ම ලබාගන්නා දැනුමයි. සාමාන්‍ය ජනතාවට දැනුම ලබාගැනීම සඳහා වඩාත් උපකාරිවන්නේ මෙයින් පළමු ක්‍රමයයි.

අතීතයේදී අක්‍ෂර හැකියාව හෙවත් සාක්‍ෂරතාව බොහෝ අයට නොතිබිණි. ගමේ පන්සල ප්‍රධාන අධ්‍යාපන මධ්‍යස්‌ථානය මෙන්ම සන්නිවේදන මධ්‍යස්‌ථානය ද විය. පන්සිය පනස්‌ ජාතක පොත් වහන්සේ, සද්ධර්ම රත්නාවලිය, සද්ධර්මාලංකාරය, පූජාවලිය, බුත්සරණ, අමාවතුර වැනි මාහැඟි ධර්ම ග්‍රන්ථ එක්‌ අයෙකු හඬනගා කියවද්දී බොහෝ දෙනා අසා රසවිඳිනු ලැබූහ. මේ නිසා ශ්‍රවණය ධාරණය මත පිහිටා බොහෝ බහුශ්‍රැතයන් බිහිවූහ. බහුශ්‍රැත යනු බොහෝ ඇසූ පිරූ තැන් ඇති යන්න අර්ථය දෙයි.

අපේ මුතුන් මිත්තන් අටපහ නොදත් මෝඩයන් නොවීය. මෙහි අට යනු අටසිල්ය. පහ යනු පන්සිල්ය. නිති පන්සිල් පොහොය අටසිල් තුළින් කයෙන්, වචනයෙන්, මනසින් සංවර්ධිත පිරිසක්‌ වීමට බහුශ්‍රැතයන්ට හැකි විය. ඔවුහු හය හතර තේරුම්ගත් අය වූහ. හය යනු දිව්‍යලෝක හයයි. යහපත් දේ කිරීම හෙවත් හොඳ දේ කිරීම එයින් අර්ථවත් වේ. හතර යනු අපාය හතරයි. නරක දේ හෙවත් අකුසල් කිරීම තුළින් දුගතිගාමී වීම ගැන ඔවුන් නිරන්තරයෙන් දැන සිටියහ. ශ්‍රී ලංකා ධරණි තලය පුරා විහිදී විසිරි සිටි සුවහසක්‌ ජනතාව එදා සීගිරියේ නිරුවත් කාන්තා රූප දැක කැටපත් පවුරේ අශ්ලීල දේ නොලීවේ මේ අපූර්ව චින්තනය නිසාය. එදා අපේ ජනතාවට හොඳින් ජීවිතය විඳින්නට හැකි විය. අද මෙන් ජීවිතය විඳවන මට්‌ටමකට පත් කරගෙන තිබුණේ නැත. එදා අපේ මුතුන් මිතතන්ට නිවැරැදි දැනුම ගමේ පන්සලෙන් ලැබිණි. එකවර අධ්‍යාත්මයක්‌, ආර්ථිකයත් දියුණු කරගත හැකි දැනුම ගමේ පන්සලේ හාමුදුරුවන් විසින් ලබාදුන්හ. මේ නිවැරැදි දැනුම මත වැවයි දාගැබයි ගමයි පන්සලයි සංස්‌කෘතික තේමාව ඔස්‌සේ සංවර්ධිත ශ්‍රී ලංකාවක්‌ ගොඩනගන්නට අපේ මුතුන් මිත්තන්ට හැකි විය. අතීතයේ දී ලංකාව සංවර්ධිත රටකි. එහෙත් වර්තමානයේ සංවර්ධනය වෙමින් පවත්නා රටකි. අපගේ අනාගත අරමුණ ද සංවර්ධිත ශ්‍රී ලංකාවක්‌ ගොඩනැගීමය. ඒ සඳහා නිවැරැදි දැනුම කරා අපගේ දරුවන් මෙහෙයවිය යුතුමය.


වර්තමාන සමාජය දෙස බලනවිට පුද්ගලයන් නිවැරැදි දැනුම ලබාගන්නේ කෙසේද යන්න ප්‍රශ්නයකි. ලෝකය එකම විශ්ව ගම්මානයක්‌ බවට පත්වී ඇත. ගුවන්විදුලි ජාල විශාල සංඛ්‍යාවකි. එහෙත් බහුතරයක්‌ ඒවා බොහෝ ඇසූ පිරූතැන් නැති අයගෙන් පිටවන හිස්‌ වදන්වලින් පිරී ගොස්‌ ඇත. නිවැරැදි භාෂාවක්‌ උච්ඡාරණය කළ නොහැකි, සම්ප්‍රප්පලාපවලින් පිරුණු බොහෝ නාලිකා මගින් අසා නිවැරැදි දැනුමත්, වින්දනයත් ලැබිය නොහැකි වී ඇත. ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය අතරින් කැපී පෙනෙන රූපවාහිනී නාලිකා ගැන ද ඊට වැඩි යමක්‌ කිව නොහැකි වේ. ඇතැම් පුවත්පත් තුළින් ද දැවෙන කැකෑරෙන අපරාධ දූෂණ රැල්ල ප්‍රතිරාවය කරනු හැරුනු විට වැඩි යමක්‌ සිදු නොවන තත්ත්වයට පත්වී ඇත. පරිගණකය හරහා අන්තර්ජාලයට යොමුවුවත් එමගින්ද නිසිඵල ලබා ගන්නේ ද යන්න ගැටලුවකි.

මෙවන් වාතාවරණයක්‌ තුළ අපට යොදාගත හැකි එකම පැහැදිළි විශ්වාසදායකම මග පොත්පත් කියවීම තුළින් දැනුම කුසලතා, ආකල්ප දියුණුකර ගැනීමයි. "පොත්පත් අපගේ මිතුරෝය", "කියවීමෙන් මිනිසෙකු සම්පූර්ණ වේ". මෙවන් අදහස්‌ අදටත් වලංගුය, සාධාරණය.

කුඩා අවධියේ සිටම දරුවන් කියවීමට හුරුකළ යුතු වේ. කුඩා අවධියේ සිටම කියවන දරුවා එය පුරුද්දක්‌ ලෙසට කරගෙන යයි. එමගින් භාෂා දැනුම, විශ්ව දැනුම මෙන්ම ආත්ම විශ්වාසය, දේශය පිළිබඳ ඇල්ම, මානව දයාව හදවත් තුළට සමීප කරවිය හැකිය, ජීවන වියදම අහස උසට නැග ඇතිමුත් කියවීමට අවශ්‍ය පත පොත ලබාදීම වැඩිහිටියන්ගේ වගකීමයි. පාසලේ උගන්වන සීමිත විෂය ධාරාවල දැනුම පමණක්‌ ජීවත්වීමට ප්‍රමාණවත් නැත, දැනුම පුපුරා යන ලොවක්‌ ලෙස අධ්‍යාපනඥයන් විවිධ තර්ක ඉදිරිපත් කරන නමුත් පොදුවේ පාසල් දරුවන්ගේ දැනුම දුර්වල බව අප පිළිගත යුතුව ඇත. වර්තමාන අධ්‍යාපන ක්‍රමයත්, පාසල් කාලයෙන් පසු අමතර ඉගැන්වීම් පන්ති නිසාත් කියවීමට කාලයක්‌ දරුවාට සොයාගැනීම දුෂ්කර වී ඇත. එසේම ප්‍රධාන විෂය මාලාවෙන් සාහිත්‍ය විෂය සීමා කිරීම නිසා කියවීමේ රුචිකත්වය ගිලිහී ගොස්‌ ඇති බව රහසක්‌ නොවේ. සතියකට කාලපරිච්ඡේද දෙකකට ආගම විෂය සීමා කිරීම නිසා දරුවන්ගේ දහම් දැනුම ද දුර්වල වී ඇත. එසේම ඉතිහාසය විෂය ධාරාවට කළ නොසැලකිල්ල නිසා මුලක්‌ නැති ගහක්‌ මට්‌ටමට දරුවන් අද පත්වී ඇත. මේ තත්ත්වය නිසා අද දරුවන්ට ඇසෙනවාට වඩා යමක්‌ ඇසීමට ඇති හැකියාව, පෙනෙනවාට වඩා දෙයක්‌ දැකීමේ හැකියාව, සිතනවාට වැඩි දෙයක්‌ සිතීමේ හැකියාව සීමිත වී ඇත. කෙටියෙන් කිවහොත් පරිකල්පනය දුර්වල වී ඇත.

දරුවන්ගේ පමණක්‌ නොව බොහෝ දෙමව්පියන්ගේ ද, ගුරුභවතුන්ගේ ද කියවීම ඉතාම අල්ප මට්‌ටමකට ද අද පත්ව ඇති බව කනගාටුවෙන් වුව ද කිවයුතුය. තත්ත්වය මෙසේ වන විට අනාගත පරම්පරාවේ අධ්‍යාපන සහතික සංඛ්‍යාව ඉහළ ගිය ද මනස නොමේරූ පිරිසක්‌ බවට පත්වීම නොවැළැක්‌විය හැකි වේ. බහුතර වැඩිහිටි ප්‍රජාව ද අභිරුචියකින් යුතුව කියවන්නේ මුසාවෙන් හා හිස්‌ වචනයෙන් ආලේප කරන ලද දේශපාලන ප්‍රලාපයන්ය.

මෙසේ පරතෝඝෝෂය තුළින් ලබන දැනුම දුර්වල වන විට දෙවනුව කී යෝනිසෝමනසිකාරය මගින් සිතා විමසා ක්‍රියා කිරීමේ ජීවිතය අවබෝධකර ගැනීමේ රටාව දුර්වලවීම කිසිවකුටත් වැළැක්‌විය නොහැක. වර්තමාන සමාජය තුළ යහපත් අර්ථවත් සිදුවීම්වලට වඩා අයහපත් අනර්ථකාරී සිදුවීම් ඇතිවීම සුලභව දැකිය හැක. එම සිදුවීම් දෙස පමණක්‌ බලා හේතුව දෙස නොබලා ප්‍රතිඵලය මත පමණක්‌ අවධානය යොමුකොට විසඳුම් සෙවීම නිසා උභතෝකෝටික ප්‍රශ්න රාශියක්‌ වර්තමානයේ උද්ගත වී ඇත. යම් හේතුවක්‌ මත ප්‍රතිඵලය ඇතිවීම යථාර්ථයයි. හේතුව දෙස නොබලා හේතුවට පිළියම් නොකොට ප්‍රතිඵලයට පමණක්‌ විසඳුම් සෙවීම සුනඛාවලෝකනයයි. එනම් සුනඛයෙකුගේ දැකීම හා සමානයි. සුනඛයෙක්‌ තමාට පහර දුන් දේ ගැන පමණක්‌ අවධානය යොමුකොට ඊට එරෙහි වෙයි. පහර ලැබූ දේ සපාකයි. සුනඛාවලෝකනයෙන් සිදුවන්නේ ප්‍රශ්නයට තාවකාලික විසඳුමක්‌ පමණි. මෙලොව සැප ලබාගැනීම පරලොව සැප ලබාගැනීම අවසානයේ අජරාමර නිවන් සැප ලබාගැනීම සඳහා වඩාත් ගැළපෙන මාර්ගය යෝනිසෝමනසිකාරයයි. යෝනිසෝමනසිකාරයට වඩාත් ගැලපෙන දර්ශනය සිංහාවලෝකනයයි. සිංහයෙකුට පහරක්‌ ගැසූ විට පහර ගැසූ දෙය දෙස නොව පහර එල්ල කළ දිසාව වෙත අවධානය යොමු කිරීම සිරිතයි. එහිදී ප්‍රතිඵලය නොව ප්‍රතිඵලය ඇතිවීමට බලපෑ හේතුව සොයා බලයි. වර්තමාන සමාජ ප්‍රශ්නවලට අවශ්‍ය කරන්නේ සිංහාවලෝකනයෙන් යුතුව විසඳුම් සෙවීමයි. මෙවැනි ප්‍රබුද්ධ පිරිසක්‌ සකස්‌ කිරීමට හරසුන් ටෙලිනාට්‍යවලට නොහැක. බොළඳ ගීත කලාවට නොහැක. භාව සන්තර්පනය වෙනුවට භාව ප්‍රකෝපනයට හේතුවන සකලවිධ ඊනියා කලාවන්ට නොහැක. එයට හොඳම මග යහපත් අර්ථවත් දේ කියවීමයි. කියවීමෙන් මිනිසාට සැනසුම ලැබේ. අපේ දරුවන් ප්‍රබුද්ධ මනසකින් යුත් විශ්ව දරුවන් බවට පත්කිරීම දෙමාපියන්ගේ හා ගුරුභවතුන්ගේ කාර්යයයි. ඒ සඳහා විවේකය විනෝදයෙන් ගත කිරීමට ඉඩ ලබාදිය යුතුයි. ආනන්දයෙන් අපායට යන වර්තමාන රටාව වෙනස්‌ කොට ආනන්දයෙන් ප්‍රඥවට දරුවන් යොමුකළ යුතුය. උදර පරමාර්ථ පමණක්‌ ඉටුවන ලෙසට දරුවා යොමු නොකොට උදාර පරමාර්ථ කරා දරුවා මෙහෙයවිය යුතුමය.

අඳුරට සාප කරමින් සිටීමෙන් කිසිදු ඵලයක්‌ නැත. එක්‌ පහණක්‌ හෝ දැල්වීම කළ යුතුය. දරුවන්ගේ වටිනා කාලයෙන් වැඩි කොටසක්‌ රූපවාහිනියට, කැසට්‌ යන්ත්‍රයට, පරිගණකයට වැය කිරීමට ඇති ඉඩකඩ සීමා කළ යුතු වේ. විෂය දැනුමට අමතරව වින්දනාත්මක සාහිත්‍ය පත පොතට හුරු කිරීම ද කළ යුතුය. කුඩා පුස්‌තකාලයක්‌ නිවසේ නිර්මාණය කිරීමට හැකි නම් එය ඉතාම විශාල වාසනාවකි. එසේ කළ නොහැකි නම් අඩු තරමින් පොත්පත් කිහිපයක්‌වත් දරුවන්ට ගෙනවිත් දීම කළ යුතු වේ. දරුවාගේ වැදගත් අවස්‌ථාවලදී මෙන්ම අලුත් අවුරුද්දට තෑග්ගක්‌ ලෙසට පොත්පත් ගෙනදීමේ පුරුද්ද ඇති කරන්නේ නම් එය පුණ්‍යකර්මයක්‌ වේ.

දරුවන්ට ප්‍රදානය කරන පොත්පත් අතරට අපට අමතකවීගෙන යන ඉතිහාසය පිළිබඳ පත පොත, කොන්වී යන ආගමට අදාළ පත පොත, සාහිත්‍ය විෂය නැතිකමින් බුද්ධිය හා පරිකල්පනය මොට වී ඇති නිසා මනස වර්ධනය කරවීමට අවශ්‍ය පත පොත වෙත වැඩිහිටි ඔබගේ විශේෂ අවධානය යොමු කරන්නේ නම් ඔබ සත්පුරුෂයෙකි.

කාලෝ අයං තේ... මේ ඊට සුදුසුම කාලයයි

මේ ගෙවෙනුයේ ජාතික කියවීමේ මාසයයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 

සිරිපාල ගමගේ, හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ ආචාර්ය
http://www.divaina.com/2013/10/12/feature01.html

0 comments: