Pages

Tuesday, December 3, 2013

බෙදුම්වාදය උපක්‍රමිකව වළකමු!

පසුගිය සතියේ මහත් ආන්දොලනයකට ලක්‌වූ කාරණයක්‌ වූයේ උතුරේ දෙමළ ජාතික සන්ධාන දේශපාලඥයන්ට මියගිය කොටි සාමාජිකයන් පරණ කොටි විරු දිනය වූ නොවැම්බර් 26 වැනදා සැමරීමට ඉඩ නොදීම පිළිබඳ ප්‍රශ්නයයි. දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පාර්ලිමේන්තුවේදී කතා කරමින් පවසා සිටියේ තමන්ගේ මියගිය වුන් සැමරීම මානව අයිතියක්‌ බවයි. ඒ මියගිය වුන් ත්‍රස්‌තවාදීන්ද නැත්ද යන කාරණය එම මානව අයිතියට අදාළ නොවන බව ඔහුගේ තර්කය විය. ජනතා විමුක්‌ති පෙරමුණ 1971 කැරැල්ලේදී මියගිය ත්‍රස්‌තවාදීන් අප්‍රේල් මාසයේදීත්, 1987-89 කාලයේ දෙවැනි කැරැල්ලේ මියගිය වුන් නොවැම්බර් මාසයේදීත් සමරන විට දෙමළ ත්‍රස්‌තවාදීන්ට පමණක්‌ ඔවුන්ගේ මියගිය වුන් සැමරීමට ඉඩ නොහැරීම තුළ පරස්‌පරයක්‌ තිබෙන බව අප පිළිගත යුතුය.

සිංහල ත්‍රස්‌තවාදීන්ද දෙමළ ත්‍රස්‌තවාදීන් තරම්ම නැතිනම් ඊටත් වඩා දරුණු ත්‍රස්‌තවාදීන් විය. ඇත්තවශයෙන්ම සිංහල ත්‍රස්‌තවාදීන් විසින් මාස 30 ක්‌ වැනි කෙටි කාලයක්‌ ඇතුළත දෙමළ ත්‍රස්‌තවාදීන් අවුරුදු 30 ක්‌ මුලුල්ලේ මැරූ සිංහල සිවිල් වැසියන් ගණනට වඩා ඝාතනය කොට ඇත. දෙමළ ත්‍රස්‌තවාදීන්ද බොහෝ තැන්වල සිංහල සිවිල් වැසියන් ඝාතනය කොට තිබුණද ඔවුන්ගේ අතින් වැඩියෙන්ම ඝාතනය වූයේ හමුදා සෙබලුන්ය. සිංහල ත්‍රස්‌තවාදීන් මෙවැනි දුර්දාන්ත ඝාතන සිදුකර තිබුණත් ඔවුන්ට තමාගේ මියගිය ත්‍රස්‌තවාදීන් සැමරීමට පමණක්‌ නොව ඔවුන් රජයේ මර්දනයට හසුවූ "අහිංසකයන්" හැටියටද සමාජයට හුවා දැක්‌වීමට අවස්‌ථාව ලැබී තිබේ. එසේ නම් දෙමළ ත්‍රස්‌තවාදීන්ටත් ඒ දෙයම කිරීමට අවස්‌ථාවක්‌ නොලැබෙන්නේ ඇයි?

මේ රටේ විවිධ ආණ්‌ඩු ත්‍රස්‌තවාදය සම්බන්ධයෙන් එක ප්‍රතිපත්තියක නොසිටීම නිසා ඓතිහාසික වරදක්‌ සිදුවී ඇති බව අප කවුරුත් පිළිගත යුතුය. 1971 දී ප්‍රචණ්‌ඩත්වය තුළින් රාජ්‍ය බලය ඇල්ලීමට උත්සාහ ගත් ත්‍රස්‌තවාදීන් යූඑන්පී ආණ්‌ඩුව විසින් "නොමග ගිය තරුණයන්" හැටියට නිදහස්‌ කළේය. එතනින් අවුරුදු 10 ක්‌ ඇතුළත මේ නොමග ගිය තරුණයන් නැවත නොමග ගොස්‌ කලින් වතාවටත් වඩා දරුණු ත්‍රස්‌තවාදයක්‌ ඔවුන්ව නිදහස්‌ කළ යූ. එන්. පී. ආණ්‌ඩුවට එල්ල කළේය. 1994 දී බලයට පැමිණි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආණ්‌ඩුව 1987-89 කාලයේ ඝාතනය වූ ත්‍රස්‌තවාදීන්ට නැවත වතාවක්‌ සැලකුවේ "අහිංසකයන්" හැටියටය. එජාපයට මඩ ගැසීම සඳහා විජය කුමාරතුංග ඝාතනය කළේත් ජවිපෙ නොව එජාපය යෑයි ඔවුන් පවසා සිටියේය. මියගිය ත්‍රස්‌තවාදීන් සැමරීමට පාර්ලිමේන්තුව අසල ස්‌මාරකයක්‌ ඉදිකළ විට එයට නම් තබන ලද්දේ "අහිංසකාරාමය" යනුවෙනි. ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකම සිංහල ත්‍රස්‌තවාදීන් සම්බන්ධයෙන් කළ මේ ඓතිහාසික ගොන්කම් නිසා අද දෙමළ කොටියාත් ඒ පහසුකම්ම ඉල්ලා සිටී.

අද දෙමළ කොටින්ටත් තම මියගිය වුන් සැමරීමට අවශ්‍ය වී තිබෙනවා පමණක්‌ නොව ඔවුන් රාජ්‍ය මර්ධනයෙන් මියගිය අහිංසක දමිළයන් හැටියට ලෝකයට හුවා දැක්‌වීමටද අවශ්‍ය වී ඇත. ඔවුන් මෙය තමාගේ මානව අයිතියක්‌ හැටියට හඳුන්වති. මේවාට දීමට ඇති පිළිතුරු මොනවාද? ජවිපෙට තමන්ගේ මියගිය වුන් නොවැම්බර් 13 වැනිදා සැමරීමට ඉඩදීමත් කොටින්ට ඔවුන්ගේ මියගිය වුන් නොවැම්බර් 26 වැනිදා සැමරීමට ඉඩනොදීමත් සාධාරණීකරණය කරන්නේ කෙසේද? ජවිපෙ සම්න්ධයෙන් පිළිගත නොහැකි දෙය වූයේ ඔවුන්ගේ ත්‍රස්‌තවාදය මිස දේශපාලන අරමුණ නොවේ යෑයි අපට එක පැත්තකින් තර්ක කළ හැක. ජවිපෙ දේශපාලන අරමුණ වූයේ සමාජවාදී සමාජයක්‌ ගොඩනැඟීමයි. එය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට කරනවා නම් කිසිවකු සමාජවාදයට විරුද්ධ වන්නේ නැත. අනෙක්‌ අතට කොටින්ගේ ත්‍රස්‌තවාදය පමණක්‌ නොව දේශපාලන අරමුණත් කිසිවකුට පිළිගත නොහැක. ඔවුන්ගේ දේශපාලන අරමුණ වූයේ වෙනම රාජ්‍යයක්‌ බිහිකිරීමය. ඒ සඳහා කරන සාමකාමී අරගලයක්‌ වුවත් පිලිගත හැක්‌කක්‌ නොවේ. එම නිසා ජවිපෙ ත්‍රස්‌තවාදීන් සැමරීමට කිසිවකු විරුද්ධ නොවූවත් කොටි සැමරීම බෙදුම්වාදී අදහස්‌ ප්‍රචලිත කිරීමක්‌ වන නිසා එය තහනම් කළා යෑයි තර්කයක්‌ අපට ගොඩනගා ගත හැකිය.

සෑම නොවැම්බර් මසකම කොටි සැමරීමේ මෙම ප්‍රශ්නය ඉස්‌මතු වනු ඇත. එමෙන්ම ඒ සැමරීම විවිධ ආකාරයෙන් සිදුවීම වැළැක්‌වීමද එන්න එන්නම අසීරු වනු ඇත. මෙම වසරේද එක්‌තරා පුවත්පතක්‌ වාර්තා කළ ආකාරයට උතුරේ මහ ඇමැතිවරයා කොටි විරු දිනයට සමගාමීව රුක්‌ රෝපණ ව්‍යාපෘතියක්‌ පවත්වා තිබිණි. මේ නිසා නමින් නොවූවත් වෙනත් නොයෙක්‌ ආකාරවලින් කොටි සැමරීම දැනුත් සිදුවෙයි. නමුත් මේ පිළිලය නිට්‌ටාවටම සුව කළ හැකි ක්‍රමයක්‌ රටේ ප්‍රධාන විපක්‍ෂය වන එක්‌සත් ජාතික පක්‍ෂය විසින් ඉකුත් සතියේ ආණ්‌ඩුවට පෙන්වා දෙන ලදී. එජාපය අලුතෙන් උගන්වන මේ පාඩම ආණ්‌ඩුව ඉතා මැනවින් ධාරණය කරගත යුතුය. පසුගිය සඳුදා එජාපය අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 81 වන වගන්තිය යටතේ එක්‌තරා මාධ්‍ය ආයතනයකට එරෙහිව නඩුවක්‌ ගොනු කළේය. මෙහි අරමුණ වූයේ තමාට අකමැති දේවල් එම මාධ්‍ය ආයතන විසින් ප්‍රචාරය කිරීම වැලැක්‌වීමයි. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 81 වන වගන්තිය මෙවැනි කාර්යයක යෙදවුණු මුල් අවස්‌ථාව මෙයයි.

1979 අංක 15 දරන අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 81 වන වගන්තියට අනුව යම්කිසි මහෙස්‌ත්‍රාත්වරයකුට තමාගේ බල ප්‍රදේශය තුළ සාමය කඩවීමට තුඩුදිය හැකි යම් කිසිදෙයක්‌ කවුරුන් හෝ සිදුකිරීමට ඉඩ ඇති බවට තොරතුරු ලැබුණුහොත් එම මහෙස්‌ත්‍රාත්වරයාට අදාළ පුද්ගලයාගේ ඇඟ බැඳිය නොයුත්තේ මන්දැයි කරුණු ඉදිරිපත් කරන ලෙස එම පුද්ගලයාට නියෝග කළ හැක. එමෙන්ම මෙවැනි අවස්‌ථාවක අදාළ පුද්ගලයාට සාමය රකින මෙන් නියෝග කොට ඇඟ බඳිනු ලැබුවහොත් එය අවුරුදු දෙකක්‌ දක්‌වා බලපැවැත්වනු ඇත. එජාපය මෙම වගන්තිය භාවිත කොට ඇත්තේ එක්‌තරා මාධ්‍ය ආයතනයක්‌ විසින් ඔවුන් පිළිබඳව කියන දේවල් නැවැත්වීමටය. එවැනි කාරණයකට එජාපයට මේ වගන්තිය භාවිත කිරීමට හැකි නම් ආණ්‌ඩුවටත් ඒ දෙයම කළ හැක. තවමත් මහෙස්‌ත්‍රාත්වරයෙක්‌ එජාපයේ මෙම පෙත්සම ගැන තීන්දුවක්‌ දී නැතත් මෙකී වගන්තිය යටතේ නඩුවක්‌ ගොනු කිරීම තුළින්ම පූර්වාදර්ශයක්‌ බිහි වී ඇත. මෙය අනාගතයේ කුමන ආකාරයකට මේ රටට බලපවත්වනු ඇත්ද යන්න තවම කිව නොහැක.

චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමය තුළදීත් සාපරාධී අපහාස නීතිය ආණ්‌ඩුව විසින් අව භාවිතයට ලක්‌ කිරීම නිසා එම නීතිය අහෝසි කළ යුතු යෑයි මතයක්‌ රට තුළ බිහිවිණි. සාපරාධී අපහාස නීතිය අහෝසි කිරීම ඇත්ත වශයෙන්ම පහසු කාරණයක්‌ විය. කවුරුත් සාපරාධී අපහාස නීතිය යනුවෙන් හැඳින්වූයේ දණ්‌ඩ නීති සංග්‍රහයේ 118 වන වගන්තියයි. ඒ වගන්තියෙන් කියවුණේ කවුරුන් හෝ අපහාසාත්මක වචන හෝ රූපවලින් රජය අපකීර්තියට පත් කළහොත් එය අවුරුදු දෙකක්‌ දක්‌වා සිර දඬුවමකින් හා දඩයක දණ්‌ඩනයට යටත්විය හැකි බවයි. 1973 අංක 5 දරණ ශ්‍රී ලංකා පුවත්පත් මණ්‌ඩල පනතේ 15 වන වගන්තියේ ද මෙවැනිම ප්‍රතිපාදනයක්‌ තිබුණු අතර මේ දෙක එකට ගත් කල සාපරාධී අපහාස නීතිය හැටියට හැඳින්විණි. මෙය 2002 එජාප ආණ්‌ඩුව විසින් අහෝසි කරන ලදී.

නමුත් දණ්‌ඩ නීති සංග්‍රහයේ 118 වන වගන්තිය අහෝසි කරන තරම් පහසුවෙන් අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 81 වැනි වගන්තිය අහෝසි කළ නොහැක. මෙකී වගන්තිය සාමය කඩවීමක්‌ වැලැක්‌වීමට කල්තියාම කටයුතු කිරීමට මහෙස්‌ත්‍රාත්වරයකුට බලය පවරන වගන්තියයි. එම නිසා අධිකරණයෙන්, පොලිසියෙන් හෝ බලයේ සිටින ආණ්‌ඩුව විසින් කිසිදාක මේ වගන්තිය අහෝසි කිරීමට ඉඩ නොතබනු ඇත. එමනිසා එජාපය විසින් අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ මේ 81 වන වගන්තිය දේශපාලනකරණයක්‌ සඳහා භාවිත කිරීමෙන් ඇති වන ආනිශංස සලකා බැලීම වටී. එකල සාපරාධී අපහාස නීතිය භාවිතා කළ හැකි වූයේ ඒ කියන ලද දෙය අපහාසාත්මක වුවහොත් පමණි. එමෙන්ම අපහාස නීතිය ක්‍රියාත්මක වූයේද අපහාසය සිදුවූවාට පසුවය.

නමුත් අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ 81 වන වගන්තිය යටතේ කිසිසේත්ම අපහාසාත්මක නොවන එමෙන්ම සත්‍ය වන දෙයක්‌ වුවත් සාමය රැකීම සඳහා යටපත් කිරීමට ඉඩ ලැබේ. එපමණක්‌ ද නොව යම්කිසි සිද්ධියක්‌ සිදුවීමට කලින් ඒ ගැන වාර්තා කිරීම මාධ්‍යයට තහනම් කළ හැක. එසේත් නැත්නම් පළමු වාර්තාව පළවූවාට පසු තවදුරටත් ඒ විෂය ගැන වාර්තා කිරීමෙන් සාමය බිඳවැටීමට ඉඩ තිබෙනවා යෑයි කියා තව දුරටත් ඒ ගැන වාර්තා කිරීම තහනම් කළ හැක. එජාපය විසින් ගත් මේ පියවර නිසා දැන් මේ රටට පුවත් වාරණයක්‌ අවශ්‍ය නැත. උදාහරණයක්‌ වශයෙන් ඕනෑම පොලිස්‌ ස්‌ථානාධිපතිවරයකුට මහෙස්‌ත්‍රාත්වරයකු ඉදිරියට ගොස්‌ "ඉගිලෙන මාලුවෝ" වැනි චිත්‍රපටයක්‌ පෙන්වීමෙන් සාමය කඩවීමට ඉඩ ඇතැයි කියා එය දිවයින පුරාම පෙන්වීම තහනම් කිරීමට හැකිවනු ඇත.

එජාපය විසින් හඳුන්වාදී ඇති මේ නව නීතිමය මෙවලම ආණ්‌ඩුවටද බෙහෙවින්ම ප්‍රයෝජනවත් වනු ඇත. මෙකී 81 වන වගන්තියෙන් ගැනීමට ඇති ක්‍ෂණික ප්‍රයෝජනයක්‌ වන්නේ කොටි විරු දිනයේදී දෙමළ ත්‍රස්‌තවාදීන් සැමරීම නැවැත්වීමයි. උතුරේ දෙමළ ජනතාව කොටි සමරනවාද නැද්ද යන්න සෙවීමට පොලිසිය හා හමුදාව යොදවනවාට වඩා ඉතාමත්ම මටසිලිටි ආකාරයට අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 81 වන වගන්තිය යෙදවිය හැක. කොටි සැමරුම් නැවැත්වීමට මුර සංචාර පැවැත්වීමට වඩා මේ සැමරීම කිරීමට ඉඩ ඇති සියලුම දේශපාලනඥයන් හා දෙමළ මාධ්‍ය ආයතන ප්‍රධානීන් උසාවියට ගෙන්වා ත්‍රස්‌තවාදීන් සමරා සාමය කඩ නොකරන මෙන් ඇඟ බැන්ඳේ නම් සියලු සැමරීම් නවතිනු ඇත. එමෙන්ම තණමල්විල ප්‍රදේශයේ සිටින මහෙස්‌ත්‍රාත්වරයකුට තමාගේ ප්‍රදේශය තුළ සාමය කඩවීමකට ඉඩ ඇතැයි කියා යාපනයේ සිටින සියලු දේශපාලනඥයන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් තණමල්විලට ගෙන්වා ඇඟබැඳීමට ද මේ නීතිය යටතේ හැකි බව සැළකිය යුතුය.

කොටි සැමරීම වෙනුවෙන් පෙනී සිටින ඇතැම් දෙමළ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ ඇඟ බැඳීමෙන් උතුරේ තැන් තැන්වල සැමරීම් සිදුවුණත් ඒ කිසිවක්‌ පිළිබඳ වචනයක්‌ වත් දෙමළ මාධ්‍යයේ නොකියවෙන තැනට වගබලා ගත හැක. එමෙන්ම උසාවිය විසින් ඇඟ බඳිනු ලැබූ පසු ඒ නියෝගය නොසලකා හැර උසාවිය සමග ගැටුමක්‌ ඇතිකර ගැනීමට මොනම දෙමළ දේශපාලනඥයකු වුවත් ඉදිරිපත් වේ යෑයි සිතිය නොහැක. එයට හේතුව නඩුව දුරදිග ගොස්‌ ඔවුන්ට සිර දඬුවමක්‌ නියම වුවහොත් තමන්ට තිබෙන ආසනය ද අහිමි වන නිසාය. දේශපාලනඥයකුට ආසනය අහිමි වූ පසු වෙනත් අයෙක්‌ එම තැනට පත්වේ. ඉන්දියාවේ දෙමළ බෙදුම්වාදය යටපත් කළේත් ඉන්දීය ව්‍යවස්‌ථාවේ 16 වැනි සංශෝධනයෙනි. එම 16 වැනි සංශෝධනයෙන්ද කරනු ලැබුවේ බෙදුම්වාදය වෙනුවෙන් කතා කරන දේශපානඥයන්ගේ ආසන අහිමි කරවීමේ අවදානම ඇති කිරීමෙනි. එම නිසා පසුගිය අඩසියවස පුරාම ඉන්දියාවේ කිසිදු දෙමළ දේශපාලනඥයෙක්‌ බෙදී වෙන්වීමක්‌ ගැන වචනයක්‌ වත් කතා කරන්නේ නැත. අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 81 වන වගන්තියට එජාපය දුන් දේශපාලන අරුත නිසා අපට එය ඉන්දීය ව්‍යවස්‌ථාවේ 16 වන සංශෝධනය මෙන් භාවිතා කිරීමට මගපෑදී ඇත.

වම් ඉවුර - සී. ඒ. චන්ද්‍රප්‍රේම
http://www.divaina.com/2013/12/02/feature01.html

0 comments: