Pages

Saturday, March 1, 2014

සෝම හිමි ඝාතනයට චෝදනා ලද ලලිත් කොතලාවලට කළකම් පළදීම - ගෝල්ඩන් කී වංචාවේ අතුරු ප්‍රතිඵල

සෙලින්කෝ සමාගම් සමූහයට අයත් ගෝල්ඩන් කී ක්‍රෙඩිට්‌ සමාගමේ මුදල් ආයෝජනය කළ විශාල පිරිසක්‌ තවමත් දිවිගෙවන්නේ ඉතා අසරණවය. ඔවුන් තැන්පත් කළ මුදලට පොළිය තබා තැන්පත් කළ මුදලවත් දිගු කලක්‌ තිස්‌සේ ලබාගත නොහැකිව ඔවුන්ට සිදුවූයේ උසාවි ගානේ රස්‌තියාදු වෙමින් නීතිමය ක්‍රියාමාර්ගවලට යොමුවීමටය. එහෙත් පසුගියදා පුවත්පත් වාර්තා කර තිබූ පරිදි මේ වන විට එම තැන්පත්කරුවන්ට කිසියම් සුබදායී පණිවුඩයක්‌ ලැබී තිබිණි. ඊට හේතුව නම් එම තැන්පත්කරුවන්ගේ මුදල් නැවත ඔවුන්ට ගෙවීම සඳහා ස්‌ථාපිත කළ ගෝල්ඩන් එස්‌.පී.වී. ආයතනය මගින් ගෝල්ඩන් කී ක්‍රෙඩිට්‌ කාඩ් සමාගමේ සභාපති ලලිත් කොතලාවල හා ඔහුගේ බිරිඳ වන සිසිලි කොතලාවල මහත්මියට අයත් දේපළ විකුණා ලැබෙන මුදල් එම තැන්පත්කරුවන්ට ගෙවීමට කටයුතු කරමින් සිටීමයි. මේ තුළින් එම අසරණ තැන්පත්කරුවන්ට වූ හානිය මුළුමනින්ම නිවැරැදි නොවිය හැකි නමුත් මෙය ඔවුන්ට විශාල සහනයක්‌ වන බවට නම් කිසිම සැකයක්‌ නැත.

ගෝල්ඩන් කී ප්‍රශ්නයට සම්බන්ධ අධිකරණ ක්‍රියාවලිය ආරම්භ වූ දිනවල ගෝල්ඩන් කී තැන්පත්කරුවන් කියා සිටියේ ඔවුන්ගේ තැන්පත් මුදල් ගෙවීමට, ගෝල්ඩන් කී ක්‍රෙඩිට්‌ සමාගමේ මුදල් ප්‍රමාණවත් නොවෙන්නේ නම් මෙකී මූල්‍ය වංචාවට සම්බන්ධ අයගේ පෞද්ගලික දේපළවලින් හෝ තම තැන්පතු මුදල් අයකර දිය යුතුව ඇති බවයි. මේ ගැන අප කියා සිටියේද එකී තැන්පත්කරුවන්ට, මේ වංචාව කළ වැරදිකරුවන්ගේ පෞද්ගලික දේපළවලින් හෝ හැකි උපරිම මුදල ඔවුන්ට අයකර දිය යුතු බවයි. අධිකරණයේ නඩුවක්‌ විභාග වෙමින් පවතින බැවින් එය සිදුවිය යුතුව පැවතියේ ද අධිකරණ ක්‍රියාවලිය හරහාය. තම දුක්‌ කඳුළුවලට විසඳුමක්‌ පතා ගෝල්ඩන් කී තැන්පත්කරුවන් අධිකරණයේ පිහිට පැතුවත් මුලින් අධිකරණ ක්‍රියාවලියෙන් හෝ ඔවුන්ට සාධාරණයක්‌ ඉටු නොවූ බව ඔවුන් කියා සිටි කරුණකි. හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහිව රජයේ මන්ත්‍රීවරුන් පිරිසක්‌ ඉදිරිපත් කළ දොaෂාභියෝගයේදී, මේ ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ද ඊට සහාය පළකරමින් අගවිනිසුරුවරියට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරවලද නිරත විය. මුලින් අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත වූ ගෝල්ඩන් කී තැන්පත්කරුවෝ පසුව කොළඹ 07, විඡේරාම මාවතේ පිහිටි අගවිනිසුරු නිල නිවස ඉදිරිපිට සිටිමින්, පාර්ලිමේන්තුවෙන් එම දොaෂාභියෝගය සම්මත වන තෙක්‌ම සත්‍යග්‍රහ ව්‍යාපාරයකද නිරත වූහ. එම දොaෂාභියෝගය සම්මත විණි. එය දැනගත් මොහොතේ රතිඤ්Æ පත්තු කරමින් එයට සතුට පළ කළ ඔවුහු කැවුම් සහ කිරිබත් අනුභව කරමින් සිය සතුට එකිනෙකා බෙදා ගන්නටද වූහ. ඒ මොහොතේ අපට ඇතිවූ ප්‍රශ්නය වූයේ එම දොaෂාභියෝගයෙන් පසුව ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ ඉරණම කුමක්‌ වනු ඇතිද යන්නයි.

මේ පසුබිම තුළ වඩාත් වැදගත්ම කාරණය වූයේ සාධාරණ නඩු විභාගයක්‌ තුළින් එතෙක්‌ අධිකරණ ක්‍රියාවලියෙන් ඉටු නොවූ යුක්‌තිය මේ තැන්පත්කරුවන්ට ඉටු වීමයි. එය ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේද අපේක්‍ෂාව විය. ඒ අනුවම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සුදුසු නියෝගයක්‌ ලැබිණි. එනම් ගෝල්ඩන් කී ක්‍රෙඩිට්‌ කාඩ් සමාගමේ සභාපතිවරයා, ඔහුගේ බිරිඳ ඇතුළු හිටපු අධ්‍යක්‍ෂවරුන් සතු රු. කෝටි 550 කට අධික දේපළ හා මුදල් එම තැන්පත්කරුවන්ට ආපසු ගෙවීම සඳහා ස්‌ථාපිත කළ ගෝල්ඩන් කී එස්‌.පී.වී. ආයතනයට පවරන ලෙස ලද අධිකරණ නියෝගයයි. එම නියෝගයට අනුව ලලිත් කොතලාවල මහතා පදිංචිව සිටින්නේ යෑයි කියන නිවස මෙන්ම සිසිලි කොතලාවල මහත්මිය විසින් නීතියට පටහැනිව ඇගේ ඥතීන් කීප දෙනකුට පවරන ලද රු. කෝටි 46 කට අධික වටිනාකමක්‌ ඇති එස්‌. ඇන්ඩ් එල්. ආයතනය සතු රු. කෝටි 15 කට අධික මුදල් සහ එම සමාගම සතු චංචල හා නිශ්චල දේපළ ද ගෝල්ඩන් කී එස්‌.පී.වී. ආයතනය වෙත පැවරිණි. මීට අමතරව ලලිත් කොතලාවල යුවළට අයත් තවත් දේපළ ගණනාවක්‌ම ඉහත ආයතනය වෙත පවරන ලෙසද අධිකරණය තවදුරටත් නියෝග කර තිබිණි. මෙම නියෝගය කර තිබුණේ අගවිනිසුරු මොහාන් පීරිස්‌, කේ. ශ්‍රී පවන් හා චන්ද්‍රd ඒකනායක යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක්‌ විසිනි. එසේම එස්‌ ඇන්ඩ් එල් සමාගමට අයත් සියලු ලිපි ලේඛන, පොත්පත් හා බැංකු ගිණුම් පිළිබඳ දත්ත හා තොරතුරු එස්‌.පී.වී. ආයතනය වෙත පවරන ලෙස නියෝග කොට තිබූ විනිසුරු මඬුල්ල එම කටයුතු දැඩිව අධීක්‍ෂණය කරන ලෙසත් එම ක්‍රියාවලියට යම් කිසිවකු හෝ කිසියම් බාධාවක්‌ සිදු කළහොත් ඒ ගැන වහාම අධිකරණයට වාර්තා කරන ලෙසද නීතිපතිවරයාට දැනුම් දී තිබිණි.

මෙය ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ පැත්තෙන් ඉතා වාසිදායක තීන්දුවකි. මෙය වසර පහකට අධික කාලයක්‌ තිස්‌සේ ගෝල්ඩන් කී තැන්පත්කරුවන් තම තැන්පතු මුදල් ලබා ගැනීමට දියත් කළ අරගලයේ ජයග්‍රාහී සන්ධිස්‌ථානයක්‌ බවටද කිසිම සැකයක්‌ නැත. දැන් තිබෙන්නේ මෙකී අධිකරණ තීන්දුව ප්‍රකාරව කටයුතු කරමින් අසරණභාවයට පත් ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට ගෙවිය යුතුව තිබෙන මුදල් හැකි උපරිම ප්‍රමාණයක්‌ ගෙවීමට කටයුතු කිරීමයි.

මේ සම්බන්ධයෙන් ගෝල්ඩන් කී එස්‌.පී.වී. ආයතනයේ අධ්‍යක්‍ෂ දුෂාන්ති හපුගොඩ මහත්මිය පසුගියදා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ කොතලාවල යුවළට අයත් රු. කෝටි 550 කට ආසන්න වටිනාකමකින් යුත් කොටස්‌ හිමිකම් හා දේපළ ඉදිරි සති කිහිපය තුළ විකිණීමට කටයුතු කරගෙන යන බවයි. එම දේපළ විකිණීමෙන් ලැබෙන මුදල් තැන්පත් කරුවන්ට ආපසු ගෙවීම සඳහා අධිකරණ නියෝගය පරිදි කටයුතු කරන බවද ඇය පවසා තිබිණි. මේ අනුව ඉදිරි මාස තුනක පමණ කාලයක්‌ තුළ ගෝල්ඩන් කී ක්‍රෙඩිට්‌ කාඩ් සමාගමේ සභාපතිවරයාගේ, ඔහුගේ බිරිඳගේ හා හිටපු අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ නිශ්චල හා චංචල දේපළ මෙන්ම එම සමාගමට අනුබද්ධ, අධිකරණ නියෝගය පරිදි යළි පවරා ගැනුණු සියලුම වත්කම් විකුණා මුදල් ලබා ගැනීමට නියමිතය.

මෙසේ වත්කම් විකුණා ලැබෙන මුදල් 7200 ක්‌ පමණ වන ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට ගෙවීමට නියමිත අතර, එම ගෙවීම් සිදු කරනුයේ අධිකරණය මගින් නියෝග කෙරුණු යළි ගෙවීමේ සැලසුම අනුවය. මේ වසර අවසන් වීමට පෙර ගෝල්ඩන් කී තැන්පත්කරුවන් අපේක්‌ෂා කළාටත් වැඩි මුදලක්‌ ගෙවීමට හැකිවනු ඇතැයි ද දුෂාන්ති හපුගොඩ මහත්මිය පවසා තිබිණි. කවරක්‌ නමුත් අධිකරණ නියෝගය ප්‍රකාරව ලලිත් කොතලාවල යුවළගේ දේපළ පවරා ගැනීමේ කටයුත්තේ දී නොයෙකුත් බාධාවන්ට මුහුණ දීමට ගෝල්ඩන් කී එස්‌. පී. වී. ආයතනයට සිදුව තිබෙන බව ද දැනගන්නට ඇත.

ලලිත් කොතලාවල මහතාගේ බිරිඳ මේ වනවිට සිටින්නේ එංගලන්තයේය. ඇය ගෝල්ඩන් කී ක්‍රෙඩිට්‌කාඩ් සමාගමේ අධ්‍යක්‍ෂිකාවකද විය. පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණේ ඇය එංගලන්තයෙන් පිටුවහල් කිරීමට ජාත්‍යන්තර පොලිසියේ සහාය පැතීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවයි. මේ සඳහා කටයුතු යොදන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්‌ කර ඇතැයිද වාර්තා වේ. මේ අතර ඇයව ජාත්‍යන්තර පොලිසිය මාර්ගයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදනයක්‌ ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයෙන් ලබාගෙන තිබේ. අහිංසක ජනයාගේ මුදල් සහ ජීවිත සමඟ සෙල්ලම් කළ මේ අයට නීතියෙන් ගැලවීමට ඉඩ දිය යුතු නොවේ.

ලලිත් කොතලාවල මහතා කලෙක සිටියේ ව්‍යාපාර ලෝකයේ රජෙකු ලෙසය. රජකම් කළත් කළ කම් පළ දෙන්නේය. ගෝල්ඩන් කී ක්‍රෙඩිට්‌ කාඩ් සමාගම, මහ බැංකුවේ ලියාපදිංචි කර තිබූ සමාගමක්‌ නොවේ. ඒ නිසාම එම ආයතනයට මහජන මුදල් තැන්පතු ලබා ගැනීමට නීත්‍යානුකූල බලයක්‌ නොතිබිණි. ඒ නිසා එම සමාගම මහජන තැන්පතු ලබාගෙන තිබුණේ ක්‍රෙඩිට්‌ කාඩ්පතකට ලබා ගන්නා ආරක්‌ෂිත තැන්පතුවක්‌ වශයෙනි. එය නීතියෙන් ගැලවීමට යොදාගත් උපායක්‌ විය.

එහෙත් මහජන මුදල් සමඟ සිදු කළ මේ බරපතළ සෙල්ලම නිසා අවසානයේ ලලිත් කොතලාවලට අත්වූ ඉරණම ගැන අද කවුරුත් දන්නේය. මේ සිද්ධියෙන් සමාජයට ඉගෙනීමටද බොහෝ පාඩම් තිබේ. බොහෝ දෙනෙක්‌ දැන හෝ නොදැන මෙවැනි අනවසර මූල්‍යයතනවල තම මුදල් තැන්පත් කළේ වෙනත් අවසරලත් මූල්‍යායතනවලට වඩා වැඩි ආකර්ෂණීය ප්‍රතිලාභ ලබා ගැනීමේ අපේක්‌ෂාවෙනි. ඔවුන් මුලදී එම ප්‍රතිලාභ රිසි සේ භුක්‌ති වින්දා මිස එම ආයතනවල නීත්‍යනුකුලභාවය සොයන්නට ගියේ නැත. අප සෑම කෙනෙක්‌ම කැමැති වන්නේ ලෙහෙසියෙන්, පහසුවෙන් ධනය ඉපැයීමටය. අප සෑම කෙනෙක්‌ තුළ ඇති මේ "තණ්‌හාව" ගැන දන්නා වංචනිකයන් ඉන් ප්‍රයෝජන ගැනීමටද බලා සිටිති. මේ නිසා හෙට දවසේදී හෝ වෙහෙස මහන්සියකින් තොරව ධනය ඉපැයීම සඳහා අවදානම් සහගත කෙටි මාර්ග සෙවීමෙන් වැළකීමට ඔබ වග බලාගත යුතුය. 

ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට මෙන්ම වෙනත් අනවසර මූල්‍යායතනවල මුදල් තැන්පත් කොට අමාරුවේ වැටුණු අයට ද නීතිය ඉදිරියට යා හැකි නමුත්, ඔවුන්ට අහිමිවූ මුදල් මුළුමනින්ම නැවත ලබාදීමේ හැකියාවක්‌ අධිකරණයට ද නොමැත. ඒ නිසා මෙවැනි ආයතනවල මුදල් තැන්පත් කිරීමෙන් වළකින ලෙස මහ බැංකුව විසින් නිරන්තරයෙන් කරන දැනුම්වත් කිරීම් නොතකා එවැනි ආයතනවල මුදල් තැන්පත්කරනවා නම් එහි පළමු වගකිවයුත්තා ඔබමය. ඉහළ ප්‍රතිලාභවලට කෑදරකමින් මෙවැනි අනවසර ආයතනවල මුදල් ආයෝජනය කිරීමට යොමු වන ඇතැම් පිරිස්‌ ද සමාජයේ සිටින නිසා මෙවැනි ව්‍යාපාරවල කටයුතු සම්පූර්ණයෙන්ම නැති කර දැමීමද අපහසු කටයුත්තක්‌ වී තිබේ. ඒ නිසා ඇතැම් අය මෙවැනි මුල්‍ය වංචාවන්ගේ ගොදුරු බවට පත්ව ඇත්තේ නොදැනුවත්කම නිසා නොව වැඩි ප්‍රතිලාභවලට ඇති තණ්‌හාව නිසාය. එහෙත් එම ව්‍යාපාර බිඳ වැටී පොලී ආදායම තබා, තමන් තැන්පත් කළ මුල් මුදල පවා ලබා ගැනීමට නොහැකි වූ විට ඔවුන් මහ බැංකුවට සහ රජයට වරද පැටවීම සාමාන්‍යයෙන් සිදු වන දෙයයි. එහෙත් එවැනි අනවසර ආයතනවල මුදල් තැන්පත් කිරීමේ තීන්දුව ගෙන ඇත්තේ අදාළ තැන්පත්කරුවන් විසින්මය. මේ තැන්පත්කරුවන් එම ආයතනවල මුදල් තැන්පත් කිරීම නිසා, එම වංචනික ආයතනවලට තව තවත් මහජනතාව මුලා කරමින් ඔවුන්ගෙන් මුදල් රැස්‌ කිරීමේ කටයුත්ත දිගින් දිගටම කරමින් විශාල පිරිසක්‌ අමාරුවේ දමන්නට ද හැකිව ඇත. එසේ වංචනික ආයතනවලට විශාල පිරිසක්‌ අමාරුවේ දමන්නට ශක්‌තිය සපයා ඇත්තේ එම ආයතනවල මුදල් තැන්පත්කරුවන් විසින්ම නොවේද? ඒ නිසාම 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතින් එවැනි අනවසර මූල්‍යායතනවල මුදල් තැන්පත් කරන තැන්පත්කරුවන් ද දඬුවම් ලැබිය හැකි වරදකට වරදකරු කිරීමට නීතිය ශක්‌තිමත් කර ඇති බව ද මෙහිදී අවසාන වශයෙන් සිහිපත් කිරීම වටී.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
http://www.divaina.com/2014/02/27/feature.html

Pic Source

0 comments: