Pages

Wednesday, September 11, 2013

විග්නේෂ්වරන් එල්ලුන ස්‌වයංපාලන හොල්මන! - TNA උතුරු පළාත් සභා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සංෂිප්තය

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත උතුරු පළාත් සභා මැතිවරණය ඉලක්‌ක කරගෙන, දෙමළ ජාතික සන්ධානය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්‌වා ඇත. එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අන්තර්ගතය සංෂිප්තව මෙසේය.

උතුර සහ නැගෙනහිර යන පළාත් දෙමළ ජනතාවගේ ඓතිහාසික වාසස්‌ථාන වන බැවින් එම පළාත් යළිත් ඒකාබද්ධ කළ යුතු අතර ඊට ස්‌වයං පාලනය හිමි විය යුතුය. එම ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් පෙඩරල් රාජ්‍යයක්‌ පිහිටුවීමට යෝජනා කර ඇති අතර ඊට ඉඩම්, නීතිය, සාමය, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ බදු අය කිරීමේ බලය හිමිවිය යුතු බවත් සඳහන් කර ඇති අතර හමුදාව පිළිබඳව සඳහන් කර ඇත්තේ එදිරිවාදිකම් ඇතිවීමට පෙර, එනම් 1983 ට පෙර පැවති ස්‌ථානවලට පමණක්‌ හමුදා කඳවුරු සීමා කළ යුතු බවයි.

දෙමළ ජාතික සන්ධානයේ එම ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව පළමුව සඳහන් කළ යුතු කාරණය වන්නේ "පරණ වයින් අලුත් බෝතලයකට දැමීමක්‌" මිස එම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ අලුත් කිසිවක්‌ නොමැති බවයි. එනම් දෙමළ ජාතික සන්ධානය, පෙඩරල් පක්‍ෂය හෙවත් දෙමළ රාජ්‍ය පක්‍ෂය යටතේ චෙල්වනායගම් ඉදිරිපත් කළ සහ දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ යන පක්‍ෂය යටතේ ඒ. අමිර්තලිංගම් ඉදිරිපත් කරන ලද කරුණු කාරණාම යළිත් දෙමළ ජාතික සන්ධානය ආර්. සම්බන්ධන්ගේ නායකත්වය යටතේ ඉදිරිපත් කර ඇති බව පැහැදිලිය.

එහෙත් දෙමළ ජාතික සන්ධානය පළාත් සභා මැතිවරණය ඉලක්‌ක කර, දෙමළ ජනතාවට ඉදිරිපත් කර ඇති මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ සුවිශේෂ බවක්‌ තිබෙන බව නම් සඳහන් කළ හැක. දේශපාලන පක්‍ෂයක නායකයන්, මැතිවරණයකදී සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් ජනතාවට ඉදිරිපත් කරනු ලබන්නේ තමා මැතිවරණයෙන් බලයට පත්වූ පසු ජනතාවට ලබාදීමට අපේක්‍ෂා කරනු ලබන කරුණු කාරණාය. ඒ අනුව දෙමළ ජාතික සන්ධානය මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් දෙමළ ජනතාවට දෙමළ ඊළාම් රාජ්‍යය ලබාදෙන බව ප්‍රකාශ කර ඇති බව සඳහන් කළ යුතුය. දේශපාලන පක්‍ෂයකට ඕනෑම සුරංගනා කතාවක්‌ සිය ප්‍රතිපත්ති ප්‍රකාශන තුළින් ඉදිරිපත් කිරීමේ අවකාශය ඇතත් මෙහිදී පැන නගින ගැටලුව වන්නේ දෙමළ ජාතික සන්ධානය ලබන 21 වැනිදා පවත්වන මැතිවරණය තුළින් බලයට පත්වූ පසු සිය මැතිවරණ පොරොන්දුව ඉටු කරන්නේ කෙසේද යන කාරණයයි.

ඒ සඳහා යම් ඉඟියක්‌ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ද සඳහන් කර ඇති අතර දෙමළ ඊළම ලබාගත යුත්තේ කෙසේද යන්න පිළිබඳව එම සන්ධානයේ නායකයන් මැතිවරණ වේදිකාවේ ද සඳහන් කර තිබූ බව පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති ආකාරයට, දෙමළ ජනතාව හමුවේ තබා ඇති කරුණු කාරණා ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා ජාත්‍යන්තරය හමුවට යන බව සඳහන් කර ඇත. ඊට අමතරව පසුගියදා මන්නාරම ප්‍රදේශයේ පැවැති රැලියකදී දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන නායකයකු වූ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කර ඇත්තේ පෙඩරල් ක්‍රමයක්‌ ලබාගැනීමට නම් ආයුධ අතට ගත යුතු බවයි. ඒ අනුව දෙමළ ජාතික සන්ධානයේ නායකයන් දෙමළ ජනතාව හමුවේ තබා ඇති මැතිවරණ පොරොන්දුව වූ දෙමළ ඊළම ලබාදීමට කටයුතු කිරීමට සූදානම් වන්නේ කෙසේද යන කාරණය අපට තේරුම්ගත හැක.

මෙම සියලු කරුණු කාරණා අනුව 1977 මහ මැතිවරණයෙන් පසුව සිදුවූ දෙයම යළිත් සිද්ධවීමට යන බව නම් පැහැදිලිය. 1977 මැතිවරණයේදී ද ඒ. අමිර්තලිංගම්ගේ නායකත්වය යටතේ දෙමළ ජනතාව දෙමළ ඊළමක්‌ ලබාදීමට දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායකයන් පොරොන්දු විය. නමුත් එම අවස්‌ථාවේදීත් ප්‍රශ්නය වූයේ දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ තමා ළඟ නොමැති දෙයක්‌, දෙමළ ජනතාවට ලබාදීමට පොරොන්දුවීමයි. එම නිසා මෙම රටෙන් කොටසක්‌ බලහත්කාරයෙන් කඩාගන්නා තත්ත්වයට ගමන් කිරීමට ඔවුන්ට සිදුවිය. ඒ යටතේ දෙමළ තරුණ තරුණියන්ට අවි ආයුධ අතට ගැනීම සඳහා ඔවුන්ගේ ආශිර්වාදය හිමි විය. ඒ යටතේ දෙමළ ඊළමක්‌ සඳහා මිනිස්‌ ඝාතන සිදු කළ, මංකොල්ලකෑම් සිදු කළ ත්‍රස්‌තවාදීන් දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායකයන් විසින් හැඳින්වූයේ "අපේ ළමයි" යන සුරතල් නාමය යටතේය. 1977 න් පසු යුගයේදී සිරිල් මැතිව් මහතා වැනි දේශප්‍රේමී නායකයන් පාර්ලිමේන්තුවේදී ඒ. අමිර්තලිංගම්, සිවසින්නම්බරම් වැනි දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායකයන්ගෙන් උතුරේ සිදුවන මිනිස්‌ ඝාතන සහ මංකොල්ලකෑම් පිළිබඳව පාර්ලිමේන්තුවේදී පවා විමසූ අවස්‌ථාවේදී, ඔවුන් විසින් ත්‍රස්‌තවාදී කටයුතුවල නිරත වූ තරුණයන් ආරක්‍ෂා කළේ කෙසේද යන්න, සිරිල් මැතිව් මහතා විසින් ප්‍රකාශයට පත්කර ඇති "කවුද කොටියා" යන කෘතියෙන් මනාව පැහැදිලි වේ. සිරිල් මැතිව් මහතා එම කෘතියෙන් පෙන්වාදීමට උත්සාහ දරා ඇත්තේ කොටි යනු දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණම වන බවයි.

එකම සිදුවීම දෙපාරක්‌ සිද්ධවීම ෙ€දවාචකයක්‌ වුවත් 1977 න් පසුව සිදු කළ දෙයම දෙමළ ජාතික සන්ධානයේ නායකයන් යළිත් කිරීමට සූදානම් වන බව නම් පැහැදිලිය.

මෙහිදී පැන නගින ගැටලුව වන්නේ දෙමළ ඊළමක්‌ දිනා ගැනීම සඳහා පියවරෙන් පියවර ඉදිරියට පැමිණි දෙමළ ඊළාම් සටන මහා සංග්‍රාමයකින් 2009 මැයි මාසයේදී අවසන්වීමෙන් පසු යළිත් මෙම ප්‍රශ්නය මතු වූයේ කෙසේද යන්නයි.

ඒ සඳහා බලපෑ හේතු සාධකයන් වන්නේ කොටි සංවිධානය පරාජය කළ පමණින් සහ උතුරු ප්‍රදේශය සංවර්ධනය කිරීම මගින් දෙමළ වර්ගවාදී බෙදුම්වාදය පරාජයට පත් වනවා යන වැරදි ආකල්පයේ සිට කටයුතු කිරීම බව පැහැදිලිය. ආණ්‌ඩුව විසින් උතුරු වසන්තය නම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ ද, සිංහල ජාතික ව්‍යාපාරයේ න්‍යයාචාර්යවරුන් ලෙස පෙනී සිටීමට උත්සාහ දරන පුද්ගලයන් උතුරට යම් සංවර්ධනයක්‌ ලබාදිය යුතු බව ප්‍රකාශ කළෙත් එම ආකල්පයෙන් බව පැහැදිලිය. ලබන 21 වැනිදා පැවැත්වෙන උතුරු පළාත් සභා මැතිවරණය සඳහා දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් සහ එම මැතිවරණයෙන් දෙමළ ජාතික සන්ධානය ජයගන්නා බැවින් එම ආකල්පය නිවැරදි නොවන බව තහවුරු වී ඇත.

එම පසුබිම තුළ දෙමළ ඊළමක්‌ සඳහා වූ සටන යළි දියත් කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයට හොඳ පසුබිමක්‌ නිර්මාණය වන බව පැහැදිලිය. පසුගියදා මෙරටට පැමිණි එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ, මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්‌වරිය වූ නවනීදන් පිල්ලේ මහත්මිය ද උතුරේ සංචාරයකින් පසු ප්‍රකාශ කර තිබුණේ භෞතික සංවර්ධනය පමණක්‌ ප්‍රමාණවත් නොවන බවයි. නවනීදන් පිල්ලේ මහත්මිය එලෙස ව්‍යංගයෙන් ප්‍රකාශ කර තිබුණේ ඊනියා දේශපාලන විසඳුමක්‌ පිළිබඳව බව පැහැදිලිය.

ඒ අනුව පෙඩරල් රාජ්‍යයක්‌ තුළ දෙමළ ඊළම පිහිටුවීම සඳහා වූ දෙමළ ජාතික සන්ධානයේ එක්‌ උපායක්‌ වූ ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීම මේ මොහොත වන විට ද යම් ප්‍රමාණයකට සාර්ථක වී ඇති බව සඳහන් කළ හැක. එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වීමෙන් පසු කොටි සංවිධානය සමග අත්සන් තබන ලද ඔස්‌ලෝ සම්මුතිය ද මෙහිදී දෙමළ ජාතික සන්ධානයේ පිහිටට එන බව පැහැදිලිය.

මෙම පසුබිම තුළ දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජනතාව හමුවේ තබා ඇති භයානක මැතිවරණ පොරොන්දුව ව්‍යර්ථ කරන්නේ කෙසේද? එහිදී ආණ්‌ඩුව කටයුතු කළ යුතුව ඇත්තේ ද ජාත්‍යන්තර සාධකයන් සමගමය. 1977 දී දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ සමාජවාදී දෙමළ ඊළමක්‌ පිහිටු වන බව සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළත්, එම පෙරමුණේ අනුප්‍රාප්තිකයා වූ දෙමළ ජාතික සන්ධානය සමාජවාදය පසෙක තබා, දෙමළ ඊළම දිනා ගැනීම සඳහා ඇමරිකාව සමග කටයුතු කරන තත්ත්වයක්‌ උදාවී ඇත. එබැවින් දැන් ආණ්‌ඩුව ජයගත යුතුව ඇත්තේ එම අභියෝගයයි. එනම් ඇමරිකාවේ පිහිටෙන් දෙමළ ඊළම දිනා ගැනීම පරාජය කිරීමයි.

ඒ සඳහා දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ව්‍යාජ භාවය පෙන්වා දිය යුතුව ඇත. එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ උතුර සහ නැගෙනහිර යන දෙපළාත දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික වාසභූමි බව ප්‍රකාශ කර ඇත. නමුත් එම ඉතිහාසය ව්‍යාජයක්‌ බව මහාවංශයෙන් පමණක්‌ නොව දෙමළ ජනතාවගේ ප්‍රධානතම ඉතිහාස කෘතිය වූ යාල්පානම් වෛපවමාලේ කෘතිය ඇසුරින් පවා පෙන්වා දිය හැක. ක්‍රි. පූ. 1000 දී දාවිත් නම් රජ කෙනකු විසින් ඊශ්‍රායලය නම් රාජ්‍ය පිහිටුවා ඇත. පසුව රෝම අධිරාජ්‍යයා විසින් එම රාජ්‍යය විනාශ කළ පසු යළිත් එම රාජ්‍යය පිහිටුවන ලද්දේ දෙවන ලෝක යුද්ධයෙන් පසුවය. පලස්‌තීන රාජ්‍යයට අයත්ව තිබූ භූමිය මත ඓතිහාසික සාධක පදනම් කර ගනිමින් යළි ඊශ්‍රායලය පිහිටු වූ පසු, එම රාජ්‍යයේ ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටිය සහ සිටින ප්‍රධානතම රාජ්‍යය වූයේ ඇමරිකාවයි. ඓතිහාසික සාධක මත පදනම් වී යුදෙව්වන්ට ඊශ්‍රායලයට ඇති අයිතිය පිළිගැනීමට ඇමරිකාවට හැකිනම් උතුර සහ නැගෙනහිර භූමිය පිළිබඳව සිංහලයන්ට ඇති අයිතිය පිළිගැනීමට ඇමරිකාවට බැරි ඇයි?

ආණ්‌ඩුව මෙම අවස්‌ථාවේදී උතුරු වසන්තය පසෙකින් තබා මතු කළ යුතුව ඇති ප්‍රශ්නය එයයි. ආණ්‌ඩුවට එම ප්‍රශ්නය ජයගත හැකි නම් දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාව හමුවේ තබා ඇති භයානක මැතිවරණ පොරොන්දුව, ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ ධාන්‍ය රාත්තල් අටේ මැතිවරණ පොරොන්දුව මෙන් බොරු පොරොන්දුවක්‌ බවට පත් කිරීමට හැකි වනවා ඇත.

එරික්‌ ගාමිණී ජිනප්‍රිය
http://www.divaina.com/2013/09/08/politics01.html

සබැඳි ලිපි -
[

ඊළාම් විස කැවූ දෙමළ සන්ධාන මැතිවරණ ප්‍රකාශනයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_10.html ටී. එන්. ඒ. ප්‍රකාශනයට පක්ෂ බහුතරයක්‌ විරුද්ධයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9.htmlඅප ඔවුන් හමුවිය යුත්තේ නන්දිකඩාල් කලපුවේදීමද?http://denethharinna.blogspot.com/2013/09/blog-post_5902.htmlද්‍රවිඩ ජාතික සන්ධාන මැතිවරණ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ වෙනම රාජ්‍යයක්‌ ගොඩනැගීමේ අරමුණයි - අනුර කුමාර දිසානායකhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8717.htmlඉඩම් - පොලිස්‌ - සෞඛ්‍ය - අධ්‍යාපන සම්පත් මෙන්ම ස්‌වයං පාලනයක්‌ ටීඑන්ඒ ඉල්ලයි. "ෆෙඩරල් ක්‍රමය යටතේ උතුර සහ නැගෙනහිර ඒකාබද්ධත් කළ යුතුයි"http://denethharinna.blogspot.com/2013/09/blog-post_8717.html
]

0 comments: