Pages

Tuesday, October 8, 2013

සොරගුණේ වන පෙත අනතුරේ

දිවයිනේ පිහිටා ඇති ඉතා වැදගත් වනාන්තර කලාපයක්‌ වන සොරගුණේ වන පෙත වනසාලමින් ඉදිකිරීමට නියමිත ගොල්ෆ් ක්‍රීඩාංගණය හා හෝටල් ව්‍යාපෘතිය පිළිබඳව කතිකාව ඇරඹී දැන් වසර ගණනාවක්‌ ගතවී ඇත. ඊට විරුද්ධව පරිසරවේදීන් සහ බහුජන සංවිධාන විසින් දියත් කළ විරෝධතා ව්‍යාපාරයක්‌ හේතුවෙන් මෙම ව්‍යසනය කලින් කලට යටපත් වුවද නැවතත් එම උවදුර මතුවෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. "වලව නිම්නයේ මනු සතුන්ටත් - වන සතුන්ටත් ගෝල්ෆ්" මැයෙන් අප මුලින්ම මේ ගැන සොබාසර ඔස්‌සේ කරුණු කීවේ 2011 වසරේදීය. නමුත් ඊට අදාළව නීතිය ක්‍රියාත්මක කළ යුතු බලධාරීන් හා නිලධාරීන්ද අකර්මණ්‍යව අබ්බගාතව සිටීම තුළ අද දවසේ අපට නැවතත් ප්‍රකාශ කරන්නට ඇත්තේ "සොරගුණේ කැලෑ හොරු යෙහෙන් වැජඹෙන" බවය.

බෙරගල ගෝල්ෆ් රිසෝට්‌, හිඩ්න් වැලී ගෝල්ප් රිසෝට්‌, ඉකෝ හොලිඩේ රිසෝට්‌, දඩයම්පොළ හෝටලය ආදී විවිධ නම්වලින් කලින් කලට ඉදිරිපත් වෙමින් පවතින මෙම එකම ව්‍යාපෘතිය මගින් සොරගුණේ කුඩා කතරගම දේවාලයට අයත්ව තිබූ වනාන්තරයෙන් වැසීගත් නින්දගම් ඉඩම් අක්‌කර 628 ක්‌ හෙළි පෙහෙළි කරමින් සිදුරු 18 ක ගෝල්ෆ් පිටියක්‌ හා හෝටල් කාමර 2000 ක හෝටල් ව්‍යාපෘතියක්‌ දියත් කිරීමට නියමිතය. මෙරට ක්‍රියාත්මක වන නීති අණ පනත් පවා තඹයකට මායිම් නොකරමින් සොරගුණේ දේවාලයේ හිටපු බස්‌නායක නිළමේ වරයකු විසින් කූට ලෙස බාහිර පාර්ශව වෙත විකුණන ලද ඉඩම් අක්‌කර 628 ක්‌ මේ සඳහා යොදා ගැනීමට නියමිත බව ප්‍රසිද්ධ රහසකි.

අතිශය වටිනා ජෛව විවිධත්වයකින් සුසැදි, අලි ඇතුන් විශාල ප්‍රමාණයකගේ නිජබිමක්‌ද වන, ගොවි පවුල් දස දහස්‌ ගණනකගේ ජීවිතය සරිකර දෙන වේලිඔය වාරි ව්‍යාපාරයේ ජල පෝෂක ප්‍රදේශය ලෙසද ක්‍රියාකරන මෙම රමණීය වන පෙත කෙලෙසා දැමීමට මග සාදන මෙකී හෝටල් ව්‍යාපෘතිය එම ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික සමාජීය හා සංස්‌කෘතික ව්‍යසනයකට නුදුරේදීම මඟ පාදන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. නමුත් එසේ තිබියදී වගකිව යුතු බලධාරීන් තවමත් මුණිවත රැකීම වන අපරාධ කරුවන්ට උඩගෙඩි දීමක්‌ බවට පත්ව ඇත.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා මුල්ගල තැබීම සඳහා රජයේ ප්‍රබලයන් පිරිසක්‌ මෙම ප්‍රදේශයට පැමිණීමට නියමිතව ඇති වටපිටාවක ව්‍යාපෘතිකරුවන් පසුගිය කාලයේදී එම ව්‍යාපෘති ඉඩමට ගමන් කිරීම සඳහා මාර්ගයක්‌ද ඉදිකිරීමට කටයුතු කළහ. නමුත් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් මැදිහත්ව එය නීතියේ රැහැනට හසුකර ගැනීමට සමත් වුවද අභියෝගය තවමත් ඉවත්ව නැති බව පෙනෙන්නට ඇත්තේ "අහසෙන් හෝ පැමිණ මෙම හෝටලය ඉදිකිරීමට මුල්ගල තබන බවට" ව්‍යාපෘතිකරුවන් වහසිබස්‌ දෙඩීම හේතුවෙනි.

මෙම ව්‍යාපෘතිය ඉදිකිරීමට යෝජිත භූමියට ළඟාවීම සඳහා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් දඩයම්පොළ වනාන්තරය හරහා මාර්ගයක්‌ කැපීම සඳහා මෙම වන අපරාධකරුවන් කටයුතු කරමින් සිටියදී සැකකරුවන් හා ස්‌කැවේටර් යන්ත්‍රය 2013 මැයි 24 දින අත්අඩංගුවට ගෙන බණ්‌ඩාරවෙල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට හපුතලේ අඩවි වන කාර්යාලයේ වන සංරක්‍ෂණ නිලධාරීහු කටයුතු කළෝය. එසේම මෙම විනාශයට විරුද්ධව පරිසර යුක්‌ති කේන්ද්‍රය මගින් ඇපෑල් අධිකරණයේදී පැවරූ නඩුකරයේදීද මධ්‍යම පරිසර අධිකාරිය, නීතිපති දෙපාර්තමේන්තුව හරහා අධිකරණයට දන්වා තිබුණේ මෙම ස්‌ථානයේ විචාරවත්ව කෙරෙන ව්‍යාපෘතියකට අවසර නොදෙන බවය. මෙසේ තිබියදී අතිගරු ජනාධිපතිවරයා පවා මෙම හෝටල් ව්‍යාපෘතිය සිදුකිරීමට අවසර ලබා නොදෙන බව ජනතාව ඉදිරියේ ප්‍රකාශ කර ඇත. නමුත් එවැනි පසුබිමක යළිත් මෙම හෝටලය හා ගෝල්ෆ් ක්‍රිඩාංගණය ඉදිකිරීමට කටයුතු දියත් වෙමින් පවතී. ඒ මෙරට තුළ ජනාධිපතිවරයාට වත් පාලනය කළ නොහැකි ඊටත් ඉහළින් යන බලවේග රට පාලනය කරන නිසා වීමට ඉඩ ඇත. එසේ නොමැති නම් ජනාධිපතිවරයා ජනතාව ඉදිරියට පැමිණ ප්‍රකාශ කරන දෙය හා සැබෑ ක්‍රියාව අතර බරපතල පරස්‌පරයක්‌ පවතින බැවිනි.

අලි ඇතුන්, වලසුන්, දිවියන් ඇතුළු තවත් දුර්ලභ වනජීවීන් රැසකට වාසස්‌ථාන සපයන යෝජිත බෝගහපට්‌ටිය අභය භූමියට අයත් වී ඇති මෙම වනාන්තර කලාපය මෙම ප්‍රදේශයට පමණක්‌ ආවේණික ඌව මැන්දොaර ශාකයේද නිජබිමක්‌ බව ප්‍රකට කරුණකි. එසේම මෙම ප්‍රදේශය වන අලින්ට අහිමිවීමෙන් ආශ්‍රිත ගම්මානවලට එල්ලවන වන අලි-මිනිස්‌ ගැටුම්වල බලපෑමද උග්‍රවීම නොවැළැක්‌විය හැකිය.

තවද රුපියල් මිලියන 7150 ක්‌ වියදම් කොට ඉදිකරන ලද වේලි ඔය ව්‍යාපාරයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශය විනාශ වී යැමෙන් එහි අපේක්‍ෂිත අරමුණු ඉටුකර ගැනීමටද මෙම ව්‍යාපෘතිය බාධාවක්‌ වන බවද නොකිවමනාය. මෙම වනාන්තර කලාපය හරහා වේලි ඔය, කාල්කන් ඔය හා දෙමට ආර යන දිය දහරාවන් ගලා බසින අතර එමගින් පෝෂණය වන මඩ ඉඩම් හෙක්‌ටයාර් 17000 ක්‌ද ගොඩ ඉඩම් හෙක්‌ටයාර් 21000 ක්‌ද අස්‌වද්දමින් තම දිවි පෙවෙත සරිකරගන්නා ගොවි පවුල් සංඛ්‍යාව 7000 කි. මෙම ව්‍යාපෘතිය ඉදිවීමෙන් ඔවුන්ගේ ජීවිතවලට එල්ලවන අවාසනාවන්ත ඉරණම විදේශිකයෙකුට හෝ ඔහුගේ දේශීය ඒජන්තයින් කිහිප දෙනකුට ලැබෙන ඩොලර් කුට්‌ටිවලින් සාධාරණීකරණය කළ හැකිද යන්න අපට මේ මොහොතේ විමසීමට සිදුවී ඇත.

ගෝල්ෆ් පිටියක්‌ සඳහා දිනකට ජලය ඝන මීටර් 3000 - 5000 අතර ප්‍රමාණයක්‌ අවශ්‍ය වන අතර එය කුඹුරු අක්‌කරයක්‌ අස්‌වැද්දීම සඳහා එක්‌ කන්නයකට අවශ්‍ය වන ජල ප්‍රමාණයට සමාන වේ. එසේ නම් වේලි ඔයේ ජල පෝෂකය වනසා දමා මෙම වාරි ව්‍යාපාරයට ලැබෙන ජලය ප්‍රමාණාත්මකව අඩුකිරීමට මෙම ව්‍යාපෘතිය හේතුවනවාට අමතරව කෙත් අස්‌වැද්දීමට ඇති ජලය ස්‌වල්පයද තණකොළ වවන්නට යොදා ගැනීමට සිදු නොවෙතැයි කාට නම් කිව හැකිද?

එසේම මේ සඳහා යොදා ගන්නා පොහොර සහ කෘෂි රසායන ද හේතුවෙන් මෙම ප්‍රදේශවල අසරණ ගොවි ජනතාවගේ ජීවිත වලට එල්ලවන බලපෑමද සුළුපටු නොවේ. සිදුරු 18 ක ගෝල්ෆ් පිටියක්‌ සඳහා වසරකට කිලෝ ග්රෑම් 22680 ක පමණ පොහොර සහ කෘමිනාශක ප්‍රමාණයක්‌ අවශ්‍යවන අතර එලෙස යොදන කෘමිනාශක ප්‍රමාණය පමණක්‌ කිලෝ ග්රෑම් 1500 ක්‌ පමණ වෙයි. ඒවා බොහෝමයක්‌ වකුගඩු රෝග හා පිළිකාවලට හේතු කාරක වෙයි. අධික විෂ සහිත ක්‌ලෝරොතලොනිල් 2, 4 ඩී - බෙන්සුලීඩ් - ඩැක්‌තල් (ඩී.සී.පී.ඒ.) ආදී රසායනික ද්‍රව්‍ය රාශියක්‌ ගෝල්ෆ් පිටි නඩත්තුව සඳහා යොදා ගැනෙන අතර මේවා නිසා පිළිකා සහ සමේ රෝග ඇතුළු රෝග රාශියක්‌ ඇති වේ. ගෝල්ෆ් ක්‍රීඩාව මේ වන විටත් දියුණු රටවලින් තුරන්වෙමින් යැමටද මෙම තත්ත්වය හේතු වී ඇත.

මෙවැනි තත්ත්වයක්‌ තුළ මෙරට පවත්නා නීති රීති පද්ධතියද නොසලකා හරිමින් ඇමරිකාවේ පදිංචි වාසු රාසයියා නමැත්තාට සහ ඔහුගේ දේශීය ඒජන්තයන්ට මෙරට අහිංසක දුප්පත් ගොවි ජනතාවට ගෝල්ෆ් ගසන්නට ඉඩ ලබාදීම ජාතියේ අවාසනාවකි.

මෙමගින් එල්ලවන අගතිගාමී බලපෑම නිසා වාරිමාර්ග හා වනජීවී සංරක්‍ෂණ යන දෙපාර්තමේන්තුද මීට සිය විරෝධය පළකර ඇත. මෙම ස්‌ථානය නාය යැමට ඉඩ ඇති නිසා මෙම සමස්‌ත හල්දුම්මුල්ල ප්‍රදේශයම මහා පරිමාණ ව්‍යාපෘති සඳහා සුදුසු නොවන බවට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය නිර්දේශ කොට ඇත. රජය විසින් සකසා ඇති ජාතික භෞතික සැලැස්‌මේද හල්දුම්මුල්ල අවට මෙම ස්‌ථානය මහා පරිමාණ ව්‍යාපෘති සඳහා සුදුසු නොවන බවටද නිර්දේශ කොට ඇත. මෙවැනි පසුබිමක්‌ තුළ මෙම සියලුම තත්ත්වයන් තඹ සතයකට නොසලකා හරිමින් මෙරට සැබෑ භූමි පුත්‍රයන්ගේ ජීවිතවලට ගෝල්ෆ් ගැසීමට විදේශිකයන් කටයුතු කරමින් සිටිති. නමුත් මේ සම්බන්ධයෙන් කිසිදු ජාතිමාමක, අධිරාජ්‍ය විරෝධී සංවිධානයක්‌ හඬ නොනැඟීමද විමතියට කරුණකි.

පරිසර යුක්‌ති කේන්ද්‍රයට, හල්දුම්මුල්ල ප්‍රදේශයේ ජාතික උරුමයන් හා පොදු දේපළ සුරැකීමේ සංවිධානයට, වේලිඔය ඒකාබද්ධ ගොවි සංවිධානයට, සොබාදහම් අධ්‍යයන මධ්‍යස්‌ථානයට හා පරිසර සංරක්‍ෂණ භාරයට විශේෂ ස්‌තූතිය හිමිවේ.

සුපුන් ළහිරු ප්‍රකාශ්
http://www.divaina.com/2013/10/08/feature05.html

2 comments:

රතීගේ දිනපොත said...

පරිසර විනාශය කියන මාතෘකාව නම් පනයනකම් පට්ට ගහපු එකක්. කොච්චර කීවත් වැඩක් නෑ. සංවර්ධනයත් එක්කම මේවත් විනාශ වෙලා යන එක දැන් සාමාන්‍යකරණය වෙලා. ඒකයි දැන් කොහෙන්වත් හඬක් නැගෙන් නැත්තේ...

දෙනෙත් හරින්න ! said...

ඔබත් සමඟ එකඟයි. වත්මන් සංවර්ධනයේ මහ කෙරුංකාරය වන චීනයේ ඇතැම් ප්‍රදේශවල හුස්ම ගන්නවත් බෑ. පරිසරය සුරැකුමෙන් තොරව සිඳුවන සංවර්ධනයෙන් ඵලක් නැහැ.