Pages

Friday, October 11, 2013

පුහුණුව, විනය, කැපවීම හා 64 වසරක යුධ හමුදා අභිමානය

ශ්‍රී ලංකා යුධ හමුදාව සිය 64 වැනි උපන් දිනය ඊයේ (10 දා) අභිමානවත් අයුරින් සැමරුවේය.

ඒ ලොව දරුණුතම ත්‍රස්‌තවාදී සංවිධානය වූ එල්.ටී.ටී.ඊ. ය පරදවා ලබාගත් විශේෂිත යුධ විජයග්‍රහණයට හිමිකම් කියන ලොව දක්‍ෂතම වෘත්තීයමය යුධ හමුදාවක්‌ ලෙස ජාත්‍යන්තරයෙන් පැසසුම් ලැබූ යුධ හමුදාවක්‌ ලෙසිනි. 

දශක තුනක කුරිරු ත්‍රස්‌තවාදී යුධ ශාපයකින් මවුබිම බේරාගත් අති විශිෂ්ට රණවිරුවන්ගෙන් සැදි ශ්‍රී ලංකා යුධ හමුදාවට ඇත්තේ වසර 64 ක අභිමානවත් ගෞරවනීය ඉතිහාසයකි.

2009 වසරේදී සිය 60 වැනි සංවත්සරය සමරන විට ශ්‍රී ලංකා යුධ හමුදාව කිසිදා පරාජය කළ නොහැකි බවට ලොවම පිළිගෙන තිබූ මිනීමරු කොටි සංවිධානය පරදවා ලොව බලවත් මෙන්ම විශේෂිත හමුදාවක්‌ බවට පත්ව සිටියේය. එලෙස නිදහස්‌ නිවහල් ඒකීය රටක්‌ තුළ සිය 60 වැනි සංවත්සරය සැමරූ යුධ හමුදාව ඉන් සිවු වසරකට පසුව මෙවර සිය 64 වැනි සංවත්සරය සමරනුයේ නව යුධ හමුදාපතිවරයකු යටතේ වීමද විශේෂත්වයකි.

60 වැනි සංවත්සරය සමරන විට යුධ හමුදාපති ධුරය ඉසිලූ ජෙනරාල් ජගත් ජයසූරිය පශ්චාත් යුධ සමයේදී යුද හමුදාව අතින් සිදුවිය යුතු ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම පුනරුත්ථාපනය, ප්‍රතිසංස්‌කරණය, නැවත පදිංචි කරවීම, රණවිරු සුබසාධනය මෙන්ම රටේ සංවර්ධනයට දායක වීම වැනි ප්‍රධාන කාර්යයන් සාර්ථකව ඉටුකිරීම උදෙසා පුරා සිවු වසරක කාලයක්‌ යුධ හමුදාවට දක්‍ෂ නායකත්වයක්‌ ලබා දෙන ලදී.

ඔහු කරගෙන ආ වැඩකටයුතු ඉදිරියට ගෙන යැමේ සහ නව වැඩකටයුතු අරඹා ක්‍රියාත්මක කිරීමේ වගකීම ඉකුත් අගෝස්‌තු 01 වැනිදා, භාරගත් නව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක සිය ධුරය භාරගෙන ගතවූ කෙටි කාලය තුළ නව දර්ශනයකින් හා ඉදිරි දැක්‌මකින් යුතුව කරගෙන යැමට සාර්ථක ප්‍රවේශයක්‌ ලබාගෙන ඇති බව පෙනීයයි. 

දක්‍ෂ සිත්තරකු හා කලාකාමී නිර්මාණශීලීත්වයකින් හෙබි අයෙක්‌ වන ලුතිනන් ජෙනරාල් දයා රත්නායක තමා ප්‍රගුණ කළ යුධ ශිල්පය සහ යුධ අත්දැකීම් සිය නිර්මාණශීලී චින්තනයට මුසුකර රණවිරුවාගේ ආත්මගරුත්වය, චිත්ත ශක්‌තිය හා වෘත්තීය ගරුත්වය තවත් නඟාසිටුවාලමින් ඔවුන්ගේ සුබසාධනය වර්ධනය කිරීමට ඉහළ ප්‍රමුඛත්වයක්‌ දෙමින් යුධ හමුදාව නව මානයක්‌ කරා ගෙනයැමේ අභියෝගාත්මක ගමන ආරම්භ කර ඇත. යුධ හමුදාපති ධුරය හිමිකර ගැනීමට තිබූ බාධක, අභියෝග සියල්ල උපේක්‍ෂාවෙන් සහ සැහැල්ලුවෙන් විඳ දරාගෙන හමුදාපති ඉලක්‌කය කෙසේ හෝ ජයගැනීමට වාසනාවන්ත වූ ලුතිනන් ජෙනරාල් දයා රත්නායකට යුධ හමුදාපති වශයෙන් ඉටුකිරීමට තිබෙන කාර්යයන් හා වගකීම් සාර්ථකව ඉටුකිරීමට හැකිවනු නිසැකය.

64 වැනි සංවත්සරය සමරන මෙම සුබදායක අවස්‌ථාවේදී ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉතිහාසය පිළිබඳව සිහිපත් කිරීම වැදගත් වනු ඇත. 

මේ වන විට යුද හමුදාපතිවරුන් 20 දෙනකු හමුදාවට නායකත්වය සපයා ඇත. ඔවුන් පිළිවෙළින් මෙසේය. 

1 වැනි යුධ හමුදාපති බ්‍රිගේඩියර් කෙත්නස්‌ සාමි සී.බී.ඊ. ඩී.එස්‌.ඕ. 1949.10.10 දින සිට 1952.05.17 දක්‌වා 

2 වැනි යුධ හමුදාපති බ්‍රිගේඩියර් ප්‍රැන්සිස්‌ ඊ.ඩී. සී.බී.ඊ. 1952.05.28 සිට 1955.02.08 දක්‌වා.

3 වැනි යුධ හමුදාපති මේජර් ජෙනරල් ඇන්ටන් මුතුකුමරු ඕ.බී.ඊ. ඊ.ඩී. 1955.02.09 සිට 1959.12.31 දක්‌වා.

4 වැනි යුධ හමුදාපති මේජර් ජෙනරල් එච්.ඩබ්.ජී. විඡේකෝන් ඕ.බී.ඊ. ඊ.ඩී. 1960.11.10 සිට 1963.12.31 දක්‌වා.

5 වැනි යුධ හමුදාපති මේජර් ජෙනරල් ඒ. ආර්. උඩුගම 1964.01.01. සිට 1966.11.10 දක්‌වා.

6 වැනි යුධ හමුදාපති මේජර් ජෙනරල් බී. ආර්. හයින් 1966.11.11 සිට 1967.09.30 දක්‌වා.

7 වන යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් ඩී. එස්‌. ආටිගල එම්.වී.ඕ. 1967.10.01 දින සිට 1977.10.13 දක්‌වා.

8 වැනි යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් ඡේ. ඒ. ඩී. පෙරේරා වී.එස්‌.වී. 1977.10.14 සිට 1985.02.11 දක්‌වා.

9 වැනි යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් ටී. අයි. වීරතුංග වී.එස්‌.වී. 1981.10.14. සිට 1985.02.11 දක්‌වා.

10 වැනි යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් පී. ඩී. ජී. එන්. සෙනෙවිරත්න වී.එස්‌.වී. 1985.02.12 දින සිට 1988.08.15 දින දක්‌වා.

11 වැනි යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් එච්. වනසිංහ වී.එස්‌.වී. 1988.08.16 සිට 1991.11.16 දක්‌වා.

12 වැනි යුධ හමුදාපති ලුතිනන් ජනරාල් එල්.වී.සී.ඊ. වෛද්‍යරත්න වී. එස්‌. වී. 1991.11.16 සිට 1993.12.13 දින දක්‌වා.

13 වැනි යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ජී.එච්. ද සිල්වා ආර්.ඩබ්.පී. වී.එස්‌.වී. යූ.එස්‌.පී. 1994.01.01 සිට 1996.04.30 දක්‌වා.

14 වැනි යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් ආර්. ද එස්‌. දලුවත්ත ආර්. එස්‌. පී. වී.එස්‌.වී. යූ.එස්‌.පී. 1996.05.01 සිට 1998.11.15 දක්‌වා ආර්.ඩබ්.පී.

15 වැනි යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් සී. එස්‌. වීරසූරිය ආර්.ඩබ්.පී. ආර්. එස්‌.සී. අයි.ජී. 1998.12.16 සිට 2000.08.24 දක්‌වා 

16 වැනි යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් එල්. පී. බලගල්ල වී.එස්‌.වී. යූ.එස්‌.පී. එන්.ඩී.සී. අයි. ජී. 2000.08.25 සිට 2004.06.30 දක්‌වා.

17 වන යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් එස්‌.එච්.එස්‌. කෝට්‌ටේගොඩ ඩබ්.ඩබ්.වී. ආර්.ඩබ්.පී. ආර්.එස්‌.පී. යූ.එස්‌.පී. එන්.ඩී.සී. 2004.07.01 සිට 2005.12.05 දක්‌වා.

18 වන යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් ජී.එස්‌.සී. ෆොන්සේකා ආර්.ඩබ්.පී. ආර්.එස්‌.පී. වී.එස්‌.වී. යූ.එස්‌.පී. ආර්.සී.ඩී.එස්‌. පී.එස්‌.සී. 2005.12.05 දින සිට 2009.06.15 දක්‌වා.

19. වැනි යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් ජගත් ජයසූරිය යූ.එස්‌.පී. එන්.ඩී.යූ.පී. එස්‌.සී. 2009.06.15 සිට 2013.07.31 දක්‌වා. 

20 වැනි යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් ආර්. එම්. දයා රත්නායක ආර්. ඩබ්.පී. ඩබ්. ඩබ්. වී, ආර්. ඩබ්. පී, ආර්. එස්‌. පී. යූ. එස්‌. පී., එන්. ඩී. යූ., පී. එස්‌. සී. 2013.08.01 සිට මේ දක්‌වා. 

ඓතිහාසික සාක්‍ෂිවලට අනුව විවිධ වකවානුවල පැවැති ආක්‍රමණවල දී ආක්‍රමණිකයන් හා සටන් වැද දේශය බේරාගත් වීරෝදාර හමුදාවන් සිටි අප ශ්‍රී ලංකාවේ යුධ හමුදාවක්‌ නිල වශයෙන් ආරම්භ වූයේ 1949 ඔක්‌තෝබර් 10 වැනි දිනදී වුවත් නිල නොලත් දීර්ඝ ඉතිහාසයකට අප හිමිකම් කියයි. බ්‍රිතාන්‍යය මහ රැජිණගේ නියෝගයක්‌ මත පළමුවරට 1881 අප්‍රේල් මස 01 වැනිදා සිලෝන් වොලන්ටියර්ස්‌ නම් ස්‌වෙච්ඡා බලසේනාව ආරම්භ වූ අතර, එහි විවිධ ජාතීන්ට අයත් භටයන් 677 දෙනකු වූහ. එහි අශ්වාරෝහක, කාලතුවක්‌කු, ගිලන් මැසි, ඉංජිනේරු හා තූර්යවාදක යන එකක තිබූ අතර, ලුතිනන් කර්නල් ජෝන් ස්‌කොට්‌ ආම්ටේඡ් මුල්ම අණදෙන නිලධාරියා විය. මෙම හමුදාව පළමු ලෝක යුද සංග්‍රාමයේදී හා එම වකවානුවේම පැවැති දකුණු අප්‍රිකානු බ්‍රොයර් යුද්ධයට ද සම්බන්ධ වූහ.

1948 ලද නිදහසින් පසු විදේශීය සම්ප්‍රදායන්ට අනුකූලව හැඩගැසුණු, ස්‌වෙච්ඡා හමුදාව 1949 ඔක්‌තෝබර් 10 වැනිදා, 1949 අංක 17 දරණ යුධ හමුදා පනතින් ශ්‍රී ලංකා යුද හමුදාවේ නිත්‍ය යුද්ධ හමුදාව බවට පත්විය. එතෙක්‌ සිලෝන් සෙරමෝනියල් ආමි යනුවෙන් හැඳින්වූ මෙම හමුදාව 1953 හර්තාලය මැඩපවත්වමින් ද, 1954 බ්‍රිතාන්‍යය මහ රැජිණ පැමිණි අවස්‌ථාවේදී එම රාජකීය උත්සවය උත්කර්ෂවත් කරමින්ද පරිපූර්ණ හමුදාවක පෙර නිමිති සඵල කරමින් දිගු ගමනක්‌ ඇරඹීය.

මේ වන විට යුධ හමුදාව රෙජිමේන්තු 25 කින් සමන්විත වන අතර, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, කාලතුවක්‌කු හමුදාව, ඉංජිනේරු බළකාය, සංඥ බලකාය, පාබල හමුදාව, සිංහ රෙජිමේන්තුව, ගැමුණු හේවා බළකාය, ගජබා රෙජිමේන්තුව, විජයබාහු පාබල රෙජිමේන්තුව, කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බළකාය, සන්නද්ධ බුද්ධි බළකාය, ඉංජිනේරු සේවා බළකාය, සේවා බළකාය, වෛද්‍ය බළකාය, යුධෝපකරණ බළකාය, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකාය, පොලිස්‌ හේවා බළකාය, පොදු සේවා බළකාය, කාන්තා බළකාය, රයිෆල් බළකාය, ජාතික ආරක්‍ෂක බලමුළුව, පුරෝගාමී බළකාය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සහ ජනාධිපති ආරක්‍ෂක ඒකකය ඊට අයත් වේ.

යුධ හමුදාවන්ට වඩාත් වෘත්තීමය, රාජකාරියට ආවේණික පුහුණු පාඨමාලා පිරිනමන යුද හමුදා පාසල් අතර, 1968 දී ස්‌ථාපනය කරන ලද දියතලාව යුධ හමුදා විද්‍යාපීඨයට ඉන් ඉටුකරනු ලැබූ විශිෂ්ට සේවාව අගයමින් 1972 ඔක්‌තෝබර් මස 14 දින ජනාධිපති වර්ණ ප්‍රදානය කර ඇත. ශ්‍රී ලංකා යුධ හමුදාවට නිලධාරීන් බිහිකරන මෙම විද්‍යා පීඨය 2003 වසරේ සිට උපාධි පිරිනමන විද්‍යා පීඨයක්‌ දක්‌වා උසස්‌ කර ඇත. සෙසු ප්‍රධාන පුහුණු පාසල් අතර, දියතලාව යුධ හමුදා ස්‌වෙච්ඡා පුහුණු පාසල, 1984 දී බිහිකළ මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්‌ථානය, 1985 දී මාදුරුඔය ස්‌ථාපනය කළ යුධ හමුදා පුහුණු පාසල, අම්පාර පිහිටි සටන් පුහුණු පාසල, කලාඔය පිහිටි කොමිෂන් නොලත් නිලධාරි පුහුණු පාසල, 1997 දී සපුගස්‌කන්දේ ස්‌ථාපනය කරන ලද යුධ හමුදා අණ හා මාණ්‌ඩලික විද්‍යාලය, කුකුලේගඟ සාමසාධක රාජකාරි පුහුණු පාසල හා කොත්මලේ පිහිටි භාෂා පුහුණු පාසලත් විශිෂ්ඨ යුධ හමුදා පාසල් ගණයට ඇතුළත් වේ. මින් යුධ හමුදා අණ හා මාණ්‌ඩලික විද්‍යාලය 2007 වසරේදී ආරක්‍ෂක සේවා අණ සහ මාණ්‌ඩලික විද්‍යාලය බවට උසස්‌ කර රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශ යටතට පත්කර ඇති අතර, ඉන් ඉඳුරාම පශ්චාත් උපාධි පිරිනමනු ලබයි. කොත්මලේ භාෂා පුහුණු පාසල ද ඒකාබද්ධ විද්‍යාලයක්‌ බවට පත්කර ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට පත්කර ඇත. මීට අමතරව සෑම රෙජිමේන්තුවකම ඒ ඒ රෙජිමේන්තුවලට ආවේනික පුහුණු පාසල් පිහිටුවා ඇත.

වසර 62 කට අධික ශ්‍රී ලංකා යුධ හමුදා ඉතිහාසයේ වරින්වර ඇතිවුණු යුධමය තත්ත්වයන් හමුවේ රටේ භෞමික අඛණ්‌ඩතාවයත්, ස්‌වෛරීභාවයත් එක ලෙස පවත්වාගැනීමට ශ්‍රී ලංකා යුධ හමුදාව සමත්වීම සනිටුහන් කරනුයේ 1956 හර්තාල් ව්‍යාපාරය, 1959 ජාතිවාදී කෝලහලය, 1971 දකුණේ ත්‍රස්‌තවාදය, 1988 - 1989 දකුණේ ත්‍රස්‌තවාදය, 1983 - 2009 උතුර නැගෙනහිර ත්‍රස්‌තවාදය සාර්ථකව මැඩපවත්වා දේශය එක්‌සේසත් කිරීමට ශ්‍රී ලංකා හමුදාවන් සමත් විය. දශක තුනක ත්‍රස්‌තවාදය තුරන් කිරීමේ ක්‍රියාන්විතයන් ලෙස වන්නි මානුෂීය මෙහෙයුම, සත්ජය, රිවිරැස, අග්නි‚ල, කිණිහිර වැනි නැගෙනහිර හා වන්නි මානුෂීය මෙහෙයුම්වලින් ත්‍රස්‌තවාදය සහමුලින්ම විනාශකර මුළු ශ්‍රී ලංකාවම එක්‌සත් කරන්නට ශ්‍රී ලංකා යුද හමුදාවට හැකිවිය.

හසල අත්දැකීමෙන්, නිසි පුහුණුවෙන්, විනයෙන් කැපවීමෙන් හා පිරිපුන් නැණ නුවණ ඇසුරෙන් වසර 30 ක්‌ පුරා පැවැති ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදය සහමුලින්ම මුලිනුපුටා දමන්නට ශ්‍රී ලංකා යුධ හමුදාවෝ සමත් වූහ. මෙම ඓතිහාසික මානුෂීය මෙහෙයුම මනුෂ්‍යත්වයේ නාමයෙන් අනේක විධ රාජකාරීන් ඉටුකරන්නට ශ්‍රී ලංකා යුධ හමුදාවට සිදුවූ අතර, ඉන් ප්‍රධානම තැනක්‌ ගනු ලබන්නේ ත්‍රස්‌ත ග්‍රහණයෙන් මුදාගත් ලක්‍ෂ සංඛ්‍යාත වූ සිවිල් ජනතාවගේ කුස්‌ පුරවන්නටත්, රෝගීන්ගේ මාරාන්තික තුවාල සුවකරන්නටත්, ත්‍රස්‌තයන් විසින් බිලිගනු ලැබූ දෙමවුපියන්ගෙන් තනිවූ දරුවන්ගේ අසරණ බව දුරුකර මනස යලි සංතෘප්ත කරන්නටත් ශ්‍රී ලංකා යුද හමුදාව ගත් පියවරයන්ය. සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයට කිසිදු බලපෑමක්‌ ඇති නොකර ලක්‍ෂ තුනකට අධික ජනතාවක්‌ ත්‍රස්‌ත ග්‍රහණයෙන් මුදාගත් අතර, ඉන් අනතුරුව ඔවුන්ට වාසස්‌ථාන, ආහාර සපයාදීම, පදිංචිවීම සඳහා අවශ්‍ය බිම්වල බිම්බෝම්බ ඉවත්කර නැවත පදිංචිය සාර්ථකව ඉටුකරන ලදී. 

ලොව ත්‍රස්‌තවාදය නැති කිරීම පිළිබඳව, කැරලි කෝලහල මැඩලීම පිළිබඳව, ජාත්‍යන්තර සොර සතුරන් හා මංකොල්ලකරුවන් මර්ධනය කිරීම පිළිබඳව උපදෙස්‌ හා පුහුණුව නිසා ශ්‍රී ලංකා හමුදාව කෙරේ නැඹුරුවීමක්‌ ජාත්‍යන්තරය මේ වන විට සිදුවෙමින් පවතී. ඒ අනුව යුද්ධ හමුදාව මෙම විෂයට අදාළ විදෙස්‌ සම්මන්ත්‍රණ පවත්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ දැනුම සහ අත්දැකීම් ලෝකයේ වෙනත් රට රාජ්‍යයන්ට ලබාදෙයි. එමෙන්ම ජාත්‍යන්තරික වශයෙන් දේශීය මිත්‍රත්ව ප්‍රතිරූපය ගොඩනගා ගන්නටත් අද ශ්‍රී ලංකා යුධ හමුදාවෝ සමත්ව සිටිති.

කේත්නස්‌හි ආදිපාදවරයා වූ බ්‍රිගේඩියර් සින්ක්‌ලෙයාර් පළමු වැනි යුද්ධ හමුදාපති ලෙස යුද්ධ හමුදාවට නායකත්වය දෙමින් ඇරඹි යුද හමුදා නායකත්ව පරපුරේ 20 වැනි හමුදාපති ලෙස ලුතිනන් ජෙනරාල් දයා රත්නායක පවත්වන්නේ 2013 අගෝස්‌තු 01 වැනි දිනය. යුද්ධයෙන් අවතැන්ව සීසීකඩ වූ දේශය යළි එක්‌සත් කරනු පිණිස පැවරූ කාර්ය භාරය වර්තමාන යුධ හමුදාපතිවරයා ඉතා ඕනෑකමින් සිය කරට ගෙන තිබේ.

යුද හමුදා දිනය වෙනුවෙන් යුධ හමුදාපතිවරයා නිකුත් කළ පණිවිඩය මෙසේය. 

"අභිමානවත් යුද්ධ හමුදාවක කොටස්‌කරුවන් වූ අප තිස්‌ වසරක කුරිරු යුද්ධය නිමාකොට වර්තමාන මුළු මහත් ශ්‍රී ලංකා ද්වීපයම එක්‌සත් කොට සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක්‌ බිහිකිරීමෙහිලා දියත් කරනු ලබන මහා ආර්ථික සංග්‍රාමයේ කොටස්‌කරුවන් වී සිටිමු. එවන් ශ්‍රේෂ්ඨ යුද්ධ හමුදාවක 64 වසරක ඉතිහාසය සමරන මේ මොහොතේ මවුබිම හා යුද්ධ හමුදාවේ උන්නතිය උදෙසා අනේකවිධ කැපකිරීම් කර රට වෙනුවෙන් ප්‍රාණදානයෙන්, කායදානයෙන් හා සේවාදානයෙන් උපරිම කැපකිරීම් කරන ලද සියලුම නිලධාරීන්, සෙබළ සෙබළියන් මෙම මොහොතේ ගෞරව අභිමානයෙන් යුක්‌තව සිහිපත් කරන අතර විසිවන යුද්ධ හමුදාපතිවරයා වශයෙන් මෙවන් පණිවිඩයක්‌ නිකුත් කිරීමට හැකිවීම මා ජීවිතයේ ලද සුවිශේෂී අවස්‌ථාවක්‌ ලෙස සලකමි.

පැවැති යුධමය වාතාවරණයක්‌ හේතුවෙන් පසුගිය දශක තුනක කාලය තුළ අප සාමාජිකයන්ගේ මූලික අවශ්‍යතාවයන් කෙරෙහි ප්‍රමුඛත්වයක්‌ ලබාදීමට අපහසු විය. එහෙත් පසුගිය වසර කිහිපය තුළ ගරු ආරක්‍ෂක ලේකම්තුමන්ගේ සෘජු අධීක්‍ෂණය යටතේ මේ සබැඳිව වැඩි ප්‍රමුඛස්‌ථානයකින් කටයුතු කර බොහොමයක්‌ යුධ හමුදා කඳවුරුවල යටිතල පහසුකම් වැඩිදියුණු කර ඇත. ඉදිරියේදී ද එම සංවර්ධන කටයුතු තවදුරටත් ඉහළ මට්‌ටමකින් කරගෙන යැම මාගේ අපේක්‍ෂාව බව ප්‍රකාශ කර සිටිමි.

ඔබ සැමගේ මූලික අවශ්‍යතා සපුරාලන අතරම සෙබළ සුබසාධනය සඳහා වැඩි අවධානයක්‌ යොමු කරමින් විවිධ සුබසාධන ව්‍යාපෘතීන්, වැඩමුළු රැසක්‌ හඳුන්වා දී සුබ සාධනය ඉහළ නැංවීමට අතිගරු ජනාධිපතිතුමන් හා ආරක්‍ෂක ලේකම්තුමා ප්‍රමුඛ රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගයන් මා අගය කොට සලකමි. 

තවදුරටත් යුධ හමුදා සේවා වනිතා ශාඛාව මගින්ද හිසට සෙවණක්‌ නොමැති රණවිරුවන්හට නිවෙස්‌ ලබාදෙමින්, රණවිරු පවුල්වල දුවාදරුවන්ට ශිෂ්‍යත්ව ලබාදෙමින් සැත්කම් හා විවිධ රෝග වෙනුවෙන් දීමනා, පොලී රහිත ණය වැනි මූල්‍යමය ආධාර සපයමින් රණවිරුවන්ගේ සුබසාධනය සඳහා කරනු ලබන මහඟු සේවය මා අගය කොට සලකමි.

තවද යුද්ධ හමුදාවෙන් විශ්‍රාම යැමට නියමිත සෙබළුන්ටද අවශ්‍ය වෘත්තීය පාඨමාලා ලබාදී වෘත්තීය දැනුම තුළින් රටේ මෙන්ම ඔබගේ ආර්ථිකයට ශක්‌තියක්‌ වීමට ඉඩප්‍රස්‌ථා ලබාදී ඇත. එමෙන්ම අවියට දැත් හුරු සෙබළාගේ කලා හැකියාවන් ඔප්නංවමින් සිදුකරනු ලබන රණවිරු රියල් ස්‌ටාර් වැනි වැඩසටහන් තුළින්ද ඔවුන්ගේ ඇති විවිධ දක්‍ෂතාවන් රටට කියාපෑමට වර්ථමානයේ අවස්‌ථාව ලබාදී ඇත.

අවසන් වශයෙන් මාතෘභූමිය වෙනුවෙන් ලේ හැලූ, දිවි දුන් රණවිරුවන්ගේ සියලු නෑ හිතමිතුරන් සහ ආබාධිත වූ රණවිරුවන් ඇතුළු ඔවුන්ගේ සියලු ඥති හිතමිතුරන් මා හෘදයාංගමව සිහිපත් කර සිටින අතරම තුවාල ලබා මේ වන විට ප්‍රතිකාර ලබන අයවලුන් හට ඉක්‌මන් සුවය ප්‍රාර්ථනා කරමි. දැනට සේවයේ නියුතු නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්, කොනොනින් හා සෙබළුන්ද, ඔබ සැමගේ පවුල්වල සියලු දෙනාද ගෞරව බහුමානයෙන් යුතුව සිහිකර සිටිමි. 

තවද යුද්ධ හමුදාවේ විවිධ ක්‌ෂේත්‍රයන් තුළින් ඉමහත් සේවයක්‌ ඉටුකරනු ලබන සිවිල් සේවක මහත්ම මහත්මියනි, ඔබ විසින් යුද්ධ හමුදාව තුළ සිදුකරනු ලබන අමිල සේවය මා මේ අවස්‌ථාවේදී සිහිපත් කරන අතර, ඔබ සැමගේ පවුල්වල සියලු දෙනා හටද, මාගේ කෘතවේදීත්වය පුදකර සිටිමි."

ඔබ සැමට ජය ශ්‍රී!

සිරිමෙවන් කස්‌තුරිආරච්චි
http://www.divaina.com/2013/10/11/feature.html

1 comments:

Anonymous said...

Ane lokayenma itha vishishta wu yuda hamudapathi gena sandahan nokireema gena balawath aprasadaya.