Pages

Thursday, October 10, 2013

ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය නායිකාව - මැතිනිය

ක්‍රි. ව. 20 වෙනි සියවසේ මුල් භාගය වන විටදීත් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ කොලණියක්‌ව තිබිණි. එවක සබරගමුවේ අගනගරය රත්නපුරය විය. අධිරාජ්‍යවාදීන්ට එරෙහිව මාතෘභූමියේ ආරක්‍ෂාව උදෙසා සටන් කළ කීර්තිමත් ලෙව්කේ මහා දිසාවගේ පරපුරේ 19 වෙනි සියවසේ සුවිශේෂ චරිතය වූයේ බලංගොඩ මහවලතැන්න වලව්වේ මහවලතැන්න රටේ මහත්තයාය. ඔහුගේ ජනාදරය ලත් දියණිය මහනුවර රත්වත්තේ වලව්වේ බාන්ස්‌ රත්වත්තේ හා විවාහයෙන් පසුව මහවලතැන්න වලව්වේම පදිංචි වූහ.

නව යුවළට සිය තෙවෙනි දරු ප්‍රසූතිය 1916 අප්‍රේල් මස 17 වෙනිදා සිදු විණි. ඉතාමත් නිරෝගීමත් නිරුපද්‍රිතවත මෙලොව එළිය දුටුවේ රෝසමල් කැකුලක්‌ බඳු වු දියණියකි. මේ පරපුරට වාසනාව කැන්දා ගෙන සපැමිණි කුල කුමරිය යස ඉසුරින් පිරි ළමා කාලය ගතකරද්දී කෙමෙන් කෙමෙන් පස්‌ වෙනි වියට පා තැබුවාය.

සිරිමාවෝ දැරියගේ ළමා කාලය ගත කළ මහවලතැන්නේ වලව්ව අතිශය සම්භාවනීය ග්‍රන්ථ විශාල සංඛ්‍යාවකින් යුත් සුවිශේෂ පුස්‌තකාලයකින් ද, මල් හා පලතුරු වර්ග අති විශාල සංඛ්‍යාවකින් යුත් උද්‍යානයකින්ද සමන්විත වීම ඇය දැනුමෙන් සපිරි පරිසර හිතකාමී දැරියක්‌ බවට පත් කිරීමට බෙහෙවින් දායක විණි. 

රත්වත්තේ යුවළට සිරිමාවෝ බිළිඳිය එක්‌වීමෙන් පසුව තවත් පුතුන් සිව් දෙනෙකු හා දියණියක එක්‌වීමත් සුවිශේෂ කාරණයකි. මහවලතැන්නේ මුල්ගෙදර හෙවත් වලව්ව එංගලන්තයේ පැරණි වැඩවසම් යුගයට අයත් රදල මන්දිරය හෝ ප්‍රංශයේ සම්භාවනීය චාටියුක්‌ස්‌ මන්දිර හෝ මෙක්‌සිකෝවේ හසියෙන්ඩාස්‌ නමින් ප්‍රකට සම්භාවනීය මන්දිර ආකෘති අනුව ඉදිකෙරුණු ගොඩනැගිල්ලකි. මේ මහා තනිමහලේ මන්දිරයේ සේවක සේවිකාවන් 60 දෙනෙකු නිතිපතා සේවයේ යෙදුනු බවත් ප්‍රකට කාරණයකි.

විසිවෙනි සියවස ආරම්භ වන විට දී පවා ශ්‍රී ලාංකීය කාන්තාවන්ට අධ්‍යාපනය ලබාදීමේ වැදගත් කම දේශීය ඉහළ හා මැද පංතික සිංහල සමාජය ද අවබෝධ කරගෙන සිටීම සංකේතවත් කරමින් පුංචි සිරිමාවෝ දැරිය වයස අවුරුදු 08 සපිරෙන විටදීම ඇයව එවක ලංකාවේ පැවති ඉහළම මට්‌ටමේ කාන්තා විද්‍යාලයට වු කොළඹ ශාන්ත බ්‍රිජට්‌ කන්‍යාරාමයට ඇතුළත් කිරීමට රත්වත්තේ යුවළ කටයුතු කළහ.

1917 දී ගර්ල් ගයිඩ් ව්‍යාපාරය ලංකාවට ළඟා වුණි. බේඩන් පවල් සාමිවරයා එංගලන්තයට හඳුන්වාදීමෙන් පසුව එසේ මෙහි පැමිණීම සිදුවිය. අවුරුදු 07 සිට 21 දක්‌වා ගැහැණු දරුවන්ට එයට සම්බන්ධ වීමේ වරම ලැබීම නිසා ශාන්ත බ්‍රිජට්‌ කන්‍යාරාමයේ ගර්ල් ගයිඩ් ව්‍යාපාරයට සිරිමාවෝ දැරියත් සම්බන්ධ වූවාය. එය ඇයගේ පසුකාලීන ජීවිතයට බෙහෙවින් බලපෑ කාරණයක්‌ විය ඇය සම්බන්ධ වූයේ වයස අවුරුදු 15 දීය. මේ අතර 1934 දී බේඩන් පවල් සාමිවරයා හා එම ආර්යාව ලංකාවට සම්ප්‍රාප්ත වූහ. එම සුවිශේෂ යුවළ පිළිගැනීම සඳහා කොළඹ ගාලුමුවදොර පිටියේ දී පැවැති දැවැන්ත රැලියේ දී සිය සංගමයේ ධජය එසවීමේත්, ඒ ආකාරයටම 1933 වසරේ දී ලංකා ගර්ල් ගයිඩ් සංවිධානයේ මූලස්‌ථාන ගොඩනැගිල්ල විවෘත කිරීමේ උළෙලේදීත්, සිය සංගමයේ ධජය එසවීමේත් භාග්‍ය උදා වූයේ මේ පිංවත් කුමරියටමය. ඒ වන විට කොළඹ අරලිය ගහ මන්දිරය බ්‍රිතාන්‍යයෙන් පත් කොට සිටි මෙරට ප්‍රධාන ලේකම්වර ශ්‍රීමත් ග්‍රෙහැම් ටිරල් ගේ වාසභවන විය. එහි පැවැති උද්‍යාන සාදයකට සහභාගී වීමට ද තරුණ සිරිමාවෝට වරම ලැබිණි. පසුකාලීනව එම සුවිශේෂ මැදුර ඇයගේ රාජකාරිමය නිල නිවාසය විණි. 1948 වසරේ දී ඩී. එස්‌. සේනානායක මැතිඳුන් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වී අගමැති නිල නිවාසය වශයෙන් අරලිය ගහ මැදුර නිල වශයෙන් ප්‍රකාශයටපත් කළේය. 1934 වසර සිරිමාවෝ රත්වත්තේ දැරියගේ ශාන්ත බ්‍රිජට්‌ කන්‍යාරාම දිවිය නිමා කළ වසර බවට පත් විය. 

සිරිමාවෝ දැරිය වයස අවුරුදු 18 ට ළඟා වන විට ලංකාවේ බොහෝ ප්‍රදේශවලට මැලේරියා වසංගතය ළඟා වී තිබිණි. එම අවස්‌ථාවේ බලංගොඩ ප්‍රදේශයේ දිස්‌ත්‍රික්‌ වෛද්‍ය නිලධාරියා ද සම්බන්ධ කර ගෙන මැලේරියාවෙන් පීඩා විඳි ගැමියන්ගේ ජීවිත බේරා ගැනීමේ සමාජ සේවා කටයුතුවල ඇය දායක වූවාය. 

මුදල් සම්පාදනය කර ගැනීම උදෙසා සිරිමාවෝ තරුණිය පුරෝගාමී වෙමින් බලංගොඩ පාසල් ශාලාව තුළ සංගීත ප්‍රසංගයක්‌ පැවැත්වූවාය. සිය පියාණන් ප්‍රදානය කළ ඉඩම් කැබැල්ලක සංගම් මූලස්‌ථානය හා සෞඛ්‍ය සායන ගොඩනැගිල්ල ඉදිකිරීමට මෙම අරමුදල් රැස්‌කිරීමට ඇය කටයුතු කළාය. මෙවැනි ප්‍රසංග කිහිපයක්‌ ම සංවිධානය කරමින් අරමුදල තරකර ගෙන සිය ඉලක්‌කය සපුරා ගැනීමට ඇය සමත් වූවාය. ඒ අනුව ඇය බලංගොඩ සමාජ සේවා ලීගයේ භාණ්‌ඩාගාරික වූවාය. 

1940 වසර උදාවනුයේ මෙම පසුබිම තුළය. සියවසේ මංගල උළෙල ලෙසින් රටේ ප්‍රචලිත වූ හා පිළිගත් සුවිශේෂ මංගල්‍යය සිදු වනුයේ 1940 වසරේ දීය. බාන්ස්‌ රත්වත්තේ රටේ මහත්තයා හා එම කුමාරිහාමිගේ වැඩිමහල් දියණිය හා සොලමන් ඩයස්‌ බණ්‌ඩාරනායක මහමුදලිගේ හා එම මැතිණියගේ එම පුත්‍රරත්නය වූ සොලමන් වෙස්‌ට්‌ රිඡ්වේ ඩයස්‌ බණ්‌ඩාරනායක රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පළාත් පාලන අමාත්‍යවරයා අතරය. එහිදී තවත් විශේෂ සිදුවීමක්‌ වනුයේ මහේශාක්‍ය බණ්‌ඩාරනායක මහමුදලිතුමාගේ පුත්‍ර රත්නය සිය මංගල දිනයේ දී මංගල ඇඳුම සකසා ගන්නේ වේයන්ගොඩ අත්යන්ත්‍ර පෙහෙකම්හලක නිමැවූ රෙදි කඩකිනි. එය මහමුදලිතුමාගේ හොරගොල්ල වලව්වට එරෙහි කැරැල්ලක්‌ හෝ විප්ලවයක්‌ බඳු වූවා මෙන් ම තමාගේ ජනතාවාදීත්වය ප්‍රකට කිරීමක්‌ ද විය. එයට මහත්මා ගාන්ධි තුමාගේ දැඩි බලපෑමක්‌ වූවාට සැක නැත. 1940 ඔක්‌තෝබර් 03 දා මෙම මහා මංගල්‍යය සිදු කෙරෙන විට ඇය විසිහතර වෙනි වියේ පසු වූවාය. එවිට බණ්‌ඩාරනායකයන්ගේ වයස අවුරුදු 41 කි. එතුමා ඒ වන විටත් අමාත්‍යවරයෙකු මෙන් ම තමන්ගේම වූ පක්‍ෂයක නායකයෙකි. ආසියාවේ රන් දිව ලෙසින් ප්‍රකට වූ අතිදක්‍ෂ කථිකයකු සේම නිර්මාණාත්මක ලේඛකයකු, සමාජ සේවකයකු, මානව හිතවාදියකු ද විය. 

මේ අතර 1946 දී බණ්‌ඩාරනායක මැතිතුමා සිංහල මහ සභාව, ඩී. එස්‌. සේනානායක මැතිතුමාගේ ලංකා ජාතික සංගමයෙන් ඉවත් වූ පිරිස හා එක්‌ව එක්‌සත් ජාතික පක්‍ෂය ගොඩනැගීමට දායක විණි. 1947 දී පැවැති ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මහා මැතිවරණයේ දී විජයග්‍රහණයක්‌ ලබමින් පාර්ලිමේන්තුවේ අමාත්‍ය මණ්‌ඩලයේ පළාත් පාලන අමාත්‍ය ධුරයත්, සභානායක ධුරයත් හිමිකර ගත්තේය. 

ඒ වන විට තරුණ සිරිමාවෝ රත්වත්තේ බණ්‌ඩාරනායක මැතිණිය දියණියන් දෙදෙනෙකුගේ ආදරණීය මව්තුමිය වී තිබිණි. ඒ අනුව 1943 දී සුනේත්‍රා බණ්‌ඩාරනායක දියණියත්, 1946 දී චන්ද්‍රිකා බණ්‌ඩාරනායක දියණියත් එසේ උපත ලැබූහ. මේ අතර බණ්‌ඩාරනායක යුවළ පුල පුලා බලා සිටි තම පුත්‍ර රත්නය අනුර ප්‍රියදර්ශන නමින් 1949 දී පවුලට එක්‌ විණි. 

1951 දී එවක එජාප ආණ්‌ඩුවේ පළාත් පාලන අමාත්‍ය හා සභානායක ධුරයෙන් ඉල්ලා අස්‌ වෙමින් එජාපයෙන් ද ඉවත් වූ එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ගොඩනැගීමට පියවර ගත්තේය. 

1952 බලයට පත් ආණ්‌ඩුවට 1957 දක්‌වා පාලන බලය තිබුණ ද කෛරාටිකයන්ගේ, උපදෙස්‌ මත 1956 දී ආණ්‌ඩුව විසුරුවා මහා මැතිවරණයකට ඉදිරිපත් වූ කොතලාවල මහතා ප්‍රමුඛ එජාපය ආසන 08 කට බස්‌සවමින් බණ්‌ඩාරනායක මහතාගේ ශ්‍රීලනිපයේ ප්‍රධානත්වයෙන් නිර්මාණය කෙරුණු මහජන එක්‌සත් පෙරමුණ විශිෂ්ට ජයක්‌ අත්පත් කර ගත්තේය. ඒ අනුව සිරිමාවෝ මැතිණිය රටේ අග්‍රාමාත්‍ය තුමාගේ මැතිණිය බවට පත්විණි. 56 පෙරළිය නමින් ප්‍රකට බණ්‌ඩාරනායක පාලනය යටතේ දේශපාලනික, ආර්ථික හා සංස්‌කෘතික විප්ලවයකට රට යොමු කරමින් ධනේෂ්වර අර්ථ ක්‍රමය වෙනුවට මිශ්‍ර ආර්ථික ක්‍රමයත් රටට හඳුන්වා දුනි. සමාජයට දැඩිව බලපාන වරාය, ප්‍රවාහන වැනි ආයතන පෞද්ගලික අංශයෙන් ජනසතු කරමින් රාජ්‍ය අංශයට අත්පත් කර ගැනීම රටට හඳුන්වා දුන්නේය. එම ක්‍රියාවලිය කුඹුරු දක්‌වා විහිදී යද්දී කුපිත වූ ධනපති පන්තිය බණ්‌ඩාරනායක රජය බිඳ දැමීමට නම් අග්‍රාමාත්‍යවරයාව ඝාතනය කිරීමේ අවශ්‍යතාව අවබෝධ කරගත්හ. කුමන්ත්‍රණකාරීන් පිරිසක්‌ ඒ සඳහා ආණ්‌ඩුවට සම්බන්ධ පිරිසක්‌ ද යොදවා ගනිමින් 1959 සැප්තැම්බර් 25 දා කොළඹ රොස්‌මිඩ් පෙදෙසේ පෞද්ගලික නිවසේදී ම අග්‍රාමාත්‍ය බණ්‌ඩාරනායක මැතිඳුන්ට වෙඩි තබා ඝාතනය කිරීමට පියවර ගත්තේ මෙම පසුබිම තුළය.

ශ්‍රීලනිප පරාජයෙන් පසුව සිරිමාවෝ මැතිණිය පක්‍ෂ නායකත්වයට එක්‌ කර ගැනීමට දැරූ උත්සාහයන් අසාර්ථක වූයේ සිය දරුවන්ගේ ආරක්‍ෂාව ගැන සිය අවධානය යොමු කිරීමට බණ්‌ඩාරනායක මැතිණියට සිදු වී තිබූ පසුබිම තුළය. මේ අතර 1960 මාර්තුවේදී බලයට පත් එජාප ආණ්‌ඩුව රාජාසන කථාව සම්මත කර ගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් පරාජයට පත්ව නැවතත් මහා මැතිවරණයකට යාමට සිදු විණි. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් 1960 ජුලි මහා මැතිවරණයේ දී ශ්‍රීලනිපය තනිවම සටන් කොට ආසන 105 න් 75 ක්‌ ම ජය ගනිමින් ශක්‌තිමත් ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට සමත් වූ අතර, මැතිවරණයට තරග නොකළ සිරිමාවෝ මැතිණිය එවක පැවැති උත්තර මන්ත්‍රී මණ්‌ඩලයේ මන්ත්‍රී ධුරයක්‌ ලබා ගනිමින් ලංකාවේ පමණක්‌ නොව ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය බවට පත්වූවාය. 

1960 ජුලි මස ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ සිරිමාවෝ මැතිණිය, 1961 සැප්තැම්බර් මස යුගොස්‌ලාවියාවේ බෙල්ග්‍රේඩ් නුවර දී මාර්ෂල් ටිටෝ, ශ්‍රී නේරු, සුකර්ණෝ අබ්දුල් ගමාල් නසාර්, නිකෲමා, නේවින් බඳු ලොව පතල නායකයින් සමග එක්‌ව නොබැඳි සංවිධානයේ ප්‍රථම සමුළුව පැවැත්වීමට සම්බන්ධ වූවාය. එයට පෙර 1960 දී පැවැති පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායකයින්ගේ ලන්ඩන් සමුළුවට ද ඇය සහභාගී වූයේ බ්‍රිතාන්‍යයේ දෙවෙනි එලිසබෙත් මහ රැජිනගේ නායකත්වයෙනි. 

1965 දී එජාපය ප්‍රමුඛ හත් හවුල් රජය 1970 දක්‌වා රට පාලනය කළද හැත්තෑවේදී පැවැති මහ මැතිවරණයට සිරිමාවෝ මැතිණියගේ නායකත්වයෙන් ශ්‍රීලනිප, කොප, ලසසප එක්‌ව ගොඩනැගූ සමගි පෙරමුණ ඉදිරිපත්ව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක්‌ සහිතව ජයග්‍රහණය කරමින් මැතිණිය නැවතත් අග්‍රාමාත්‍ය ධුරයට පත් වූවාය. 

ළදරු රජයට එරෙහිව 1971 අප්‍රේල් මාසයේදී තරුණ කැරැල්ලක්‌ දියත් කිරීමට රෝහණ විඡේවීර කටයුතු කළ ද එය පරාජය කරමින් එයට සහභාගී වූ තරුණ තරුණීයන් 26000 ක්‌ අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපනය කර නැවතත් ගෙන සමාජ ගත කිරීමට එතුමිය පියවර ගත්තාය. එසේ පුනරුත්ථාපනය වූ තරුණ තරුණියන් රැසක්‌ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පිවිස අමාත්‍ය ධුරයන් ද දැරූ අතර වර්තමානයේද දරමින් සිටිති. 

1948 දී ලංකාව ලබා ගත් ඩොමීනියන් තත්ත්වය හෙවත් අර්ධ නිදහස පරිපූර්ණ දේශපාලනික නිදහසක්‌ බවට පත් කිරීමට කටයුතු කළ මැතිණිය 1972 දී දේශීය වූ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය කරමින් ලංකාව ජනරජයක්‌ බවට පත් කළාය. ලංකාවේ නිල නාමය ශ්‍රී ලංකාව බවට පත් කරමින් සිලෝන් යන ඉංග්‍රීසි නාමය ද අහෝසි කළාය. 1796 සිට රට ආක්‍රමණය කරමින් ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් අත්පත් කර ගෙන සිටි උඩරට සරුසාර භූමියේ අක්‌කර පන්ලක්‍ෂයක්‌ ජන සතු කරමින් රටේ ආර්ථික නිදහස දිනා ගැනීමේ ගමනේ තවත් පියවරක්‌ තැබුවාය. ඒ සඳහා එයට පෙර තෙල් ජනසතුව, රක්‍ෂණ ජනසතු කර, රාජ්‍ය බැංකු, වානේ කම්හල්, පිටි කම්හල් ද අරඹා තිබිණි. 1976 දී රටවල් 82 ක රාජ්‍ය නායකයින්ගේ සහභාගීවයෙන් කොළඹ බණ්‌ඩාරනායක සමුළුවේ සිව් වෙනි නොබැඳි නායක සමුළුව පවත්වමින් ලංකාවට ඉමහත් ජාත්‍යන්තර ආකර්ශනයක්‌ අත්කර දුන්නාය. අරාබිකරයේ තේ වෙළෙඳපොළේ මෙන්ම ලාංකික ශ්‍රම බලකායට එහි ශ්‍රම වෙළෙඳපොළත් විවෘත වීමට එම සුවිශේෂී සමුළුව සෘජුවම දායකවිණි. 

1994 දී තෙවෙනි වරටත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමේ භාග්‍යය ලත් සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිණීය, ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ශක්‌තිමත් කරමින් ශ්‍රීලංකාව කීර්තිමත් රාජ්‍යයක්‌ බවට ජාත්‍යන්තරයේ ඔසවා තැබීමට සමත් වූවාය. රටට අවශ්‍ය දෑ තැනීම උදෙසා කර්මාන්ත ගොඩ නගමින් නොනැවතී, 1976 දී මහවැලි බහුකාර්ය ව්‍යාපාරය අරඹමින් රටේ කෘෂිකර්මය නගා සිටුවීමටත් පියවර ගත්තාය. 1975 වන විට රටේ විදේශ ණයගැතිභාවයෙන් රට නිදහස්‌ කිරීමට පියවර ගත් ඇය, උඩරට ඉන්දියානු ජනතා ප්‍රශ්නය කච්චතිව් දූපත් ප්‍රශ්නය විසඳාලීමට සමත් වූවාය. 

ඉන්දු-චීන යුද්ධය නිමා කිරීමට පුරෝගාමීව කටයුතු කළ එතුමිය මහජන චීනයට එක්‌සත් ජාතීන්ගේ සංවිධානයෙන් සාමාජිකත්වය ලබා ගැනීමට ද පුරෝගාමී දායකත්වයක්‌ ලබා දෙමින් චීනයේ සුවිශේෂිතම මිත්‍ර රාජ්‍යයක්‌ බවට ශ්‍රී ලංකාව පත්කර ගත්තාය. පලස්‌තීන අර්බුදයේ දී අඛණ්‌ඩවම ඇමෙරිකානු, ඊශ්‍රායල් පිළිවෙතට එරෙහිව අරාබි පාර්ශවයට සහාය ලබාදීමට කටයුතු කරමින් මැදපෙරදිග හොඳහිත දිනා ගනිමින්, එහි රැකියා සඳහා වැඩි අවස්‌ථා දිනා ගැනීමේ මංපෙත් විවර කර ගත්තාය. 

මේ ආකාරයට ශ්‍රී ලංකාවට දේශීය වශයෙනුත්, ජාත්‍යන්තර වශයෙනුත් සදා නොමැකෙන සුවිශේෂ කාර්යභාරයක්‌ ඉටු කිරීමට දායක වූ මේ වීර මාතාව 2000 ඔක්‌තෝබර් මස 10 වෙනි දා පැවැති මහා මැතිවරණය උදෙසා හොරගොල්ලට ගොස්‌ සුපුරුදු අයුරින් සංඝබෝධී විද්‍යාලයීය ඡන්ද මධ්‍යස්‌ථානයට ඇතුළු වී ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි තමන් තුළ පවත්නා අචල විශ්වාසයත්, භක්‌තියත් ලොව හමුවේ කියා පාමින් ඡන්දය භාවිතා කළාය. අනතුරුව නැවත කොළඹ එන ගමනේ දී කඩවත ප්‍රදේශයේ දී හදිසියේ බරපතළ ලෙස රෝගාතුරව කඩවත පෞද්ගලික රෝහලකට ඇතුළත් කර විනාඩි කිහිපයකට පසුව, ඒ විසි වෙනි සියවසේ ලංකාවේ මහා මංගල්‍යයේ මනාලිය, ලොව ප්‍රථම අගමැතිණිය, ප්‍රායෝගික අධිරාජ්‍යවිරෝධී, ප්‍රජාතන්ත්‍රවාදයේ පහන, අපේ යුගයේ වීර මාතාව දැයෙන් සමුගත්තාය. 

එතුමියගේ 13 වෙනි අනුස්‌මරණය සමරණ මේ මොහොතේදීවත් ඇයට දැයෙන් ලැබිය යුතු නිසි ගෞරවය, පිළිගැනුම ලබා දී ජාතියේ කෘතවේදීවය ලබාදීමට කටයුතු කරන්නේ නම් කෙතරම් අගනේද? එතුමිය මාතෘභූමියට ඉටු කළ මහා මෙහෙවරේ පිනින් මේ සම්බුද්ධ ශාසනය තුළදීම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන නිර්වාන සම්පත්තිය ලබා ගැනීමට හේතු වාසනා වේවා!

අදට (10 දා) යෙදෙන සිරිමාවෝ රත්වත්තේ ඩයස්‌ බණ්‌ඩාරනායක මැතිණිය ගේ 13 වෙනි අනුස්‌මරණය වෙනුවෙනි.

ඌවතැන්නේ සුමන හිමි
http://www.divaina.com/2013/10/10/feature02.html

සබැඳි ලිපි -[අර්බුද හමුවේ නොසැලුණු ශ්‍රේෂ්ඨ රාජ්‍ය නායිකාව සිරිමාවෝhttp://denethharinna.blogspot.com/2013/04/blog-post_4206.html
]

2 comments:

Amuthu sithuwili said...

සා.බ්‍රිජට් කන්‍යාරාමයේ ඉගෙන ගැනීමට කලින් රත්නපුර ෆර්ගියුසන් බාලිකාවේ ඉගෙන ගෙනද ඇත.

KAS said...

මැතිනිය කියන්නේ තනිකරම පුහු මාන්නයත් වලව් පරම්පරාවත් ඔළුවේ තියාගෙන වැඩ කරපු කෙනෙක්. මැතිනියත්, බණ්ඩාරණායක අගමැතිත් නිසා රටට වුන පාඩුව කවදාවත් වහන්න බැහැ. අපේ රට මේ වෙනකොට ඉන්දියාවටත් වාහන ආනයනය කරන රටක තත්වයට පත්වෙන්න තිබ්බ ඉඩ නැති කළේ සිරිමාවෝ, රටේ ලක්ෂ ගාණක් මැරුණු එල් ටී ටී ඊ සංවිධානය ආරම්භ වෙන්න පාර කැපුවේ බණ්ඩාරනායකගේ සිංහල භාෂා මර උගුල. මට මතකයි කතාවක් තියෙනවා දවසක් කන්නංගර මහත්මයා ඔහුගේ නිදහස් අධ්‍යාපන පනත ගැන කියන වෙලාවේ බණ්ඩාරනායක කියලා තියෙනවා මේ කන්නංගරට පිස්සුද දන්නේ නැහැ, අපිට ගමේ ගහක ගෙඩියක් කඩා ගන්න එකෙක් නැති කරන්න තමයි යන්නේ කියලා.

අන්න එහෙමයි ඒ බොරු දේශපාලනය. දැන් ඉන්න අය හොදයි කියනවා නෙවෙයි, එහෙම කියලා වෙනසක් නැහැ.