Pages

Saturday, October 12, 2013

මුහුදු මට්ටම ඉහලට. දූපත් අනතුරේ

මුහුදු ජල මට්‌ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත්, දූපත්වාසී රටවලට එයින් ඉදිරි කාලයේදී දැඩි තර්ජන එල්ල විය හැකි බවත් ආසියානු කලාපීය කාලගුණ අනාවැකි හා පූර්ව අනතුරු ඇඟවීම් ක්‍රියාවලියේ ජාත්‍යන්තර ප්‍රවර්ධන විශේෂඥ පිලිපීන ජාතික රූබි රෝස්‌ පොලිකාපිඕ මහත්මිය කීවාය.

ඒ මහත්මිය එසේ පැවසුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පසුගියදා පැවති කාලගුණ අනාවැකි හා දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකදීය.

ගතවූ වසර 150 ක පමණ කාලය ඇතුළත මුහුදු ජල මට්‌ටම මිලිමීටර් 210 කින් පමණ ඉහළ ගොස්‌ ඇති බව මෙම සම්මන්ත්‍රණයේදී අනාවරණය විය.

වර්ෂ 1870 සිට 1990 දක්‌වා වසර 120 ක පමණ කාලයේදී මුහුදු ජල මට්‌ටම වාර්ෂිකව මිලි මීටර් 1.7 කින් වැඩි වී ඇති අතර 1990 සිට 2010 පමණ වූ වසර 20 ක කාලයේදී වාර්ෂිකව මිලිමීටර් 3.28 කින් වැඩි වී තිබේ.


මෙය ඉතා වේගවත් වැඩිවීමක්‌ බවත් එම තත්ත්වය ඉදිරි කාලයේදී මුළු ලෝකයටම දැඩි ලෙස බලපාන බවත්, ශ්‍රී ලංකාව ඇතුළු දූපත්වාසී රටවලට එය බරපතළ තර්ජනයක්‌ වනු ඇති බවත් මෙම සම්මන්ත්‍රණයේදී සාකච්ඡාවට බඳුන් විය.

මෙම සම්මන්ත්‍රණය පසුගිය 09 වැනිදා බදාදා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ආරම්භ වූ අතර 10 හා 11 යන දෙදින පුරා ද පැවැත්විණි.

කලාපීය රටවල් අනාගත කාලගුණ විපර්යාස හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග, අනාවැකි පළ කිරීමේදී ඇතිවිය හැකි ගැටලු, පූර්ව අනතුරු ඇඟවීම් නිසි පරිදි සිදුකිරීමේ අවශ්‍යතා එහි සෑම ක්‍ෂේත්‍රයකම සිදුවිය යුතු ප්‍රවර්ධනයන් ආදිය පිළිබඳ මෙම සම්මන්ත්‍රණයේදී දෙස්‌ විදෙස්‌ කාලගුණය හා දේශගුණය පිළිබඳ පර්යේෂකයෝ සාකච්ඡා කළහ.

තුෂාරී කළුබෝවිල
http://www.divaina.com/2013/10/12/news05.html

0 comments: