Pages

Saturday, October 12, 2013

උතුරේ ටී.එන්.ඒ. මන්ත්‍රීවරු 20 දෙනෙක්‌ දිවුරුම් දෙති: 9 දෙනෙක්‌ මගහරිති

උතුරු පළාත් සභාව සඳහා තේරී පත්වුණු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් නවදෙනකු හැර ඉතිරි මන්ත්‍රීවරු විසිදෙනා ඊයේ (11 දා) යාපනයේ වීරසිංහම් ශාලාවේදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සහ උතුරු පළාතේ ප්‍රධාන ඇමැති සී. වී. විග්නේශ්වරන් යන මහත්වරුන් ඉදිරියේදී දිවුරුම් දුන්හ.

දිවුරුම් දීමට ප්‍රථම මන්ත්‍රීවරු පිරිස යාපනය නගර මධ්‍යයේ පිහිටි එස්‌. වී. චෙල්වනායගම් පිළිරුවට මල්දම් පළඳවා පුෂ්පෝපහාර දැක්‌වූහ. අනතුරුව පෙරහැරකින් වීරසිංහම් ශාලාව වෙත පැමිණියහ. දිවුරුම්දීම පෙරවරු 9.45 ට පමණ සිදුවිය.

උතුරු පළාත් සභාවට ඊ. පී. ආර්. එල්. එෆ්. සංවිධානයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරු පස්‌දෙනෙක්‌ ද ටෙලෝ සංවිධානයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරු දෙදෙනා ද ප්ලොට්‌ සංවිධානයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරු දෙදෙනා ද දිවුරුම් දීමේ උත්සවයට නොපැමිණියහ.

මේ පිළිබඳ කළ විමසීමේදී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයට අයත් දේශපාලන පක්‍ෂ නායකයන් නම් කරන ලද මන්ත්‍රීවරුන්ට අමාත්‍යධුර නොලැබුණු නිසා මෙම දිවුරුම් දීමේ උළෙලට ඔවුන් සහභාගි නොවූ බවත් ඉතා ඉක්‌මනින් මේ පිරිස වෙනත් ස්‌ථානයකදී දිවුරුම් දෙන බවත්ය.


දිවුරුම් දීමේ උත්සවයේදී කතා කළ උතුරු පළාත් සභාවේ ප්‍රධාන ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා කියා සිටියේ දූෂණ හා වංචාවලින් තොර ශ්‍රී ලංකාවේ ආදර්ශවත් පළාත් සභාවක්‌ බවට උතුරු පළාත් සභාව පත්කරන බවයි.

උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් 4 දෙනා දිවුරුම් දුන්නේ දහවල් 12.45 ටය. එම අමාත්‍යවරුන් මෙසේය.

1. ඩී. කුරුකුලරාජා මහතා (අධ්‍යාපන)

2. පී. අයින්කරනේෂන් මහතා (පළාත් පාලන)

3. පී. ඩෙනිස්‌ටන් මහතා (කෘෂිකර්ම)

4. පී. සත්‍යලිංගම් මහතා (සෞඛ්‍ය හා දේශීය සෞඛ්‍ය කටයුතු)

විශාල පිරිසක්‌ ද මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.

දිනසේන රතුගමගේ සහ අජිත් අලහකෝන්
http://www.divaina.com/2013/10/12/news02.html


සබැඳි ලිපි - 
[
උතුරේ ඇමති ධූර - නිදහස, සංහිඳියාවෙන් ගැටළු විසඳන්නට කියන සම්බන්ධන්ගෙන් ඒකාධිපති තීරණ
http://denethharinna.blogspot.com/2013/10/blog-post_10.html
අර්බුද මැද උතුරේ ඇමැති මණ්‌ඩලය දිවුරුම් දීම 11 දා

http://denethharinna.blogspot.com/2013/10/11.html
]

0 comments: