Pages

Sunday, October 6, 2013

ගෘහ සේවය සඳහා කාන්තාවන් මැදපෙරදිගට යෑම අඩුවෙලා

මැදපෙරදිග කලාපයේ රටවල ගෘහ සේවිකාවන් ලෙස විදේශ ගතවන පිරිස ක්‍රමයෙන් අඩුවෙමින් තිබේ. පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව මේ වසරේ අගෝස්තු මාසයේදී මැදපෙරදිග රැකියා සඳහා පුහුණුව ලබන පිරිස සියයට හැත්තෑ දෙකකින් අඩුවී තිබෙන බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී මැදපෙරදිග ගෘහ පාලිකා රැකියා සඳහා 3,798 දෙනකු පුහුණුව ලබා ඇති අතර එය මේ වසරේ අගෝස්තු මාසය වන විට 1,021 දක්වා අඩුවී ඇත. 2012 ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා කාන්තාවන් 27,197 දෙනෙක් පුහුණුව ලබා තිබෙන අතර එය මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා 19,661 තෙක් අඩුවී තිබේ. මේ අනුව ගෘහ පාලිකාවන් ලෙස කාන්තාවන් විදේශගතවීම අවම කිරීමට තමන් විසින් ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ සාර්ථක වී ඇති බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.

2012 වසරේදී විදේශ රැකියා සඳහා කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි ශ්‍රමිකයන් පුහුණුවීම පන්දහසකට ආසන්න ප්‍රමාණයකින් වර්ධනය වී ඇති බවත් ඒ අනුව පසුගිය වසරේ කාන්තාවන් 38,740ක් පුහුණුව ලබන විට පිරිමි ශ්‍රමිකයන් 43,716ක් පුහුණව ලබා ඇති බවත් එය සියයට ‍ෙදාළහක වර්ධනයක් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

මහ බැංකු වාර්තා පෙන්වා දෙන පරිදි 2012 වර්ෂයේ පළමු මාස හත සැසඳීමේදී 2013 වර්ෂයේ පළමු මාස හත තුළ විදේශ රැකියාලාභීන්ගේ ප්‍රේෂණ ඇමෙරිකන් ඩොලර් මිලියන 3763.5 දක්වා සියයට 10.1කින් වර්ධනය වී ඇති බවත් 2012 අගෝස්තු මාසයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 475ක් වූ විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ 2013 අගෝස්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 559.9 දක්වා සියයට 17ක වර්ධනයක් පෙන්වන බවත් විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඉහළ යෑමට හේතුවක් වී ඇත්තේ වෘත්තීය රැකියා සඳහා පිරිමි ශ්‍රමිකයන් විදේශගතවීම ඉහළ යෑම බවත් ගෘහ පාලිකාවන් ලබන වැටුපට වඩා ඉහළ වැටුපක් ශ්‍රමිකයන් විසින් උපයන බවත් මේ නිසා ඉදිරියේදී පිරිමි ශ්‍රමිකයන් වැඩිපුර විදේශගත කිරීමට රටවිරු සංවිධානය හරහා පුළුල් වැඩපිළිවෙළක් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය. 

තිළිණි කෞෂල්‍යා විජේසිංහ
http://www.mawbima.lk/86-2-news-list.html

0 comments: